Ads 468x60px

.

නවකයින්ගේ කරපිටි නැගී සංගා ගාලු පිටියට සමුදුන් හැටි - පින්තුර


රංගනගේ රංගනයෙන් ජීවය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගාලු ක්‍රීඩාංගණයේ සංගක්කාර සහභාගිවූ අවසන් ටෙස්ට් තරගය සවුදියෙන් පුරවන්නට ඊයේ සමත් වුණා.  ඒ, එම තරගයේදී ඉන්දීය කන්ඩායම ලකුණු 63 කින් පරාජය කරමින්.

ඊයේ සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය ක්‍රීඩකයින්  එක් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා ගෙන සිටියා.  කෙසේ වුවත් ආරම්භයේ සිටම
ශ්‍රී ලංකා පන්දු යවන්නන් පීඩනයක් එල්ල කරමින් පන්දු යැවීම සිදු කළේ කිසියම් සැලසුමකට අනුවයි.

යළිත් වරක් පන්දුවේ රිද්මය සොයා ගත් රංගන හේරත් ඉන්දීය කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර  වන්නට ඉඩ ලබා දුන්නේ නැහැ. කලකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පිටියේ පන්දු රැකීමද ඉතා විශිෂ්ඨ මට්ටමක පැවතියා.

මේ හේතුව නිසාම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ඉක්මන් කරන්නට පන්දු යවන්නන්ට හැකි වුණා. ඉන්දීය දෙවන ඉනිම විනාශ කර දැමූ රංගන හේරත් ලකුණු 48 කට කඩුලු 7 ක් දවා ගත්තා. ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 සීමාව ඉක්මවා ගිය 22 වන අවස්ථාව මෙයයි. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 183 ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 375 ක්. දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 367 ක් ලබා ගත්තා.  ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ අවසන් පිතිකරුවා දැවී යන විට ඉන්දීය දෙවන ඉනිම දැක්වුණේ ලකුණු 112 ක් ලෙස.  රංගනට අනගි සහයක් ලබා දුන් තරිදු කෞෂාල් කඩුලු 3 ක් බිද හෙළුවා.

තරග ජයග්‍රහනයෙන් අනතුරුව ගාල්ලේදී අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පැමිණ සිටි අතිවිශාල ප්‍රේක්ෂකයින්ට ආචාර දැක්වූයේ මෙලෙසින්. ක්‍රීඩා ලෝලීන්ද සිය අසුන්වලින් නැගිට මේ විශිෂ්ඨ ක්‍රීඩකයාට උපහාර දැක්වූවා.









 
Related Posts with Thumbnails