Ads 468x60px

.

අසාධාරණයක් නොවන ආකාරයට සියලු දෙනාට 'යුක්තිය' ඉටුවිය යුතුය.


කාම අපරාධවලට විශේෂයෙන් දරුවන් ගොදුරු කර ගැනීමට එරෙහිව පොදු ජනතාව තුළ දැඩි විරෝධයක් මතුවී තිබේ. කොටදෙණියාවේ 'දැරිය'ගේ සිද්ධියෙන් සසල නොවූ සිතක් වේ නම් ඒ නරුමයකුගේ පමණි. මෙවැනි අපරාධයකට ලක්වූ ප්‍රථමයා කොටදෙණියාවේ දැරිය නොවූ අතර අන්තිමයාද ඇය වූයේ නැත. 

ඉන් අනතුරුවද දරුවන් ලිංගික අපයෝජනවලට ලක්වූ සිද්ධින් කිහිපයක් වාර්තා වූ අතර අතුරුගිරියෙන් වාර්තා වූයේ දස හැවිරිදි දරුවකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියයි.

ශ්‍රී ලංකා පොලිසිය දක්‍ෂය. පැය 48ක් ගතවීමටත් පෙර අතුරුගිරියේ සිද්ධියේ සැකකරුවා කොටු කරගැනීමට ඔවුන්ට හැකිවිය. මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරු දින කිහිපයක් ඇතුළත කොටුකරගත් අතර කොටදෙණියාවේ දැරිය ඝාතනයේ සැකකාර 'කොණ්ඩයා' මල්පෝච්චි

ගොඩක් අස්සේ සැඟවී සිටියදී අල්ලා ගනු ලැබීය. 

එහෙත් පොලිසිය කොටදෙණියාවේ සිද්ධියේදී කලබල වී අත පුච්චා ගත්තේය. ජනතාව වීදි බැස රටපුරා උද්ඝෝෂණ කරද්දී ඇතැම් මාධ්‍ය මෙන්ම පොලිසියද වගකීම් විරහිතව හැසිරුණු බව කීම වැරැදි නැත.

කොටදෙණියාවේ සිද්ධියට 'දැරියගේ' පියා දෙසට සැකය එල්ල වූයේ ඔහුට පෙර වැරැදි තිබූ නිසාය. මාධ්‍ය හා පොලිසිය කළේ ඒ සැකය තීව්‍ර වන සේ කටයුතු කිරීමය. සිය දියණියගේ වළට පස් පිඩක් දැමීමේ අවස්ථාව පවා ඒ නිසා ඒ මවුපියන්ට අහිමි විය. අනතුරුව පොලිසිය කළේ උසස් පෙළ හදාරමින් සිටි 17 හැවිරිදි අසල්වැසි ශිෂ්‍යයකු හා විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමය. 


අත්අඩංගුවට ගැනීම මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමටද පොලිසිය අනුබල දුන්නේය. අසභ්‍ය චිත්‍රපට නැරඹීමේ හා මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ චෝදනාද ශිෂ්‍යාට එල්ල වූ අතර මාධ්‍යයද ඒ චෝදනා මහ ඉහළින් වාර්තා කළේය. සැකකරුවන්ගේ නිවෙස්, මවුපියන්, ප්‍රචාරය කළ රූපවාහිනි චැනල ඒ අතර විය. 

යම්කිසි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයා සැකකරුවකු මිස 'වැරැදිකරුවා' නොවුණද පොලිසිය හා මාධ්‍ය කටයුතු කළේ අත්අඩංගුවට ගත් ශිෂ්‍යයා 'වැරැදිකරු' බවට ඒත්තු යන ආකාරයටය.

මේ සිද්ධියේදී පමණක් නොව බොහෝ සිද්ධින්වලදී 'පොලිසිය' කටයුතු කරන්නේ සැකකරු වැරැදිකරු ලෙස සලකාය. ඉකුත් දිනෙක කහටගස් දිගිලිය නගරයේදී ආබාධිතයකුට පොලිසිය පහරදෙන අයුරු මාධ්‍ය වාර්තා කර තිබිණි. 


ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ එලෙස පුද්ගලයන්ට පහරදීමේ අයිතියක් පොලිසියට නැත. එහෙත් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසිය ඇතුළේදී මරාදැමූ අවස්ථා ඕනෑ තරම් ඇත. ප්‍රශ්න කිරීම්වලදී උපක්‍රම පාවිච්චි කිරීමට පොලිසියට සිදුවුවද සෑම විටෙක, වදහිංසා කළ නොහැකිය.

ගම්පහ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ ශිෂ්‍යයාව අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව ඔහුව රක්‍ෂිත බන්ධනාගාර ගත කළේය. ශිෂ්‍යයා තවමත් රක්‍ෂිත බන්ධනාගාරයේය. 


එහෙත් පොලිසිය පසුව අල්ලාගත් 'කොණ්ඩයා' දැරිය ඝාතනය කළ බවට පාපෝච්චාරණය කර තිබේ. ඉන් පෙනී යන්නේ මේ සිද්ධියට ශිෂ්‍යයාගේ කිසිදු සම්බන්ධයක් නැති බවය. 

ප්‍රබල සාක්‍ෂි නොමැතිව 'ශිෂ්‍යයා' අත්අඩංගුවට ගත් පොලිසිය වනචාරි දිවියක් ගත කළ බව කියන 'කොණ්ඩයා'ගෙන් සහ ඔහුගේ සහෝදරයා ගෙන්ද ප්‍රශ්න කර තිබුණද අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. දැනගන්නට ඇති පරිදි 'කොණ්ඩයා' ගැන ප්‍රබල සාක්කි කිහිපයක් තිබියදී ඔහු මුදාහැර තිබීමය.

සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අයිතිය තිබේ. පාසල් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඒ බව මාධ්‍යයට හෙළි නොකළ යුතුව තිබිණි. මාධ්‍ය පිරිවරාගෙන ගොස් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අමනෝඥකමකි. 


සැකකරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමට පොලිසියට අයිතියක් නැත. සැකකරු 'වැරැදිකරුවකු' ලෙස සලකා කටයුතු කරන පොලිසිය හා ඇතැම් මාධ්‍ය මේ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරන බව කොටදෙණි යාවේ සිද්ධියේදී ඔවුන් හැසිරුණ ආකාරයෙන් පැහැදිලිය.

ගම්පහ ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරමින් සිටි 17 හැවිරිදි ශිෂ්‍යයා ඉගෙනීමට දක්‍ෂයකු බව පැවැසේ. දක්‍ෂයෙක් වේවා නොවේවා ඔහුගේ පාසල් ජීවිතය විනාශවීම 'දැරිය' ඝාතනය කිරීම තරම්ම අපරාධයකි; 


ඔහුගේ ආත්ම ගරුත්වය කෙලෙසීමකි. පොලිසිය තවමත් පවසන්නේ තමන් අතින් 'වරදක්' නොවූ බවය. ඒ නිසා 'සමාව' ඉල්ලීමක් අවශ්‍ය නැති බව පොලිසියේ අදහසය. පොලිසියට මේ 'ශිෂ්‍යයා'ගේ සිද්ධියේ බරපතළකමවත් නොවැටහෙයි. ඔවුහු දශක ගණනක් තිස්සේ 'වැඩ' කර ඇත්තේ අඩු - වැඩි වශයෙන් මෙයාකාරයට වීම ඊට හේතුවය. 

කෙසේ වුවද සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් පසු පාසලින් ඉවත් කළ ශිෂ්‍යයාව යළි පාසලට භාර ගැනීමට පාසල තීරණය කර ඇත. එපමණක් නොව ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට උදවු උපකාර කිරීමටද පාසල ඉදිරිපත්ව සිටී. එය අගය කළ යුතුය. වැරැදීම් වන්නේ මනුස්සයන් අතිනි. 

එය නිවැරැදි කර ගත යුත්තේ ද මනුස්සයන්මය. පාසල 'වරද' පිළිගත්තද පොලිසිය තවමත් පවසන්නේ වරද තමන් අත නැති බවය. නීතියෙන් 'නි‍ෙදාස්' වුවද 'සමාජය' ශිෂ්‍යයාව එක්වර නි‍ෙදාස් කර හරින්නේ නැත.

පොලිසියේ මේ හැසිරීම පිළිබඳ අවධානය යොමුකළ යුත්තේ පොලිස්පති හා පොලිසිය භාර ඇමැතිවරයාය. නොඑසේනම් පාලකයන්ය. අපරාධ මැඬලිය යුතු වුවත්, සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු වුවත්, වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතු වුවත් සියල්ල කළ යුත්තේ කිසිවකුට අසාධාරණයක් නොවන ආකාරයටය. සියලු දෙනාට 'යුක්තිය' ඉටුවිය යුතුය.
 
Related Posts with Thumbnails