Ads 468x60px

.

සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන කියන කතාව...


මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීමෙන් පසු මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඈඳාගෙන ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව එම රෝහලේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

උන් වහන්සේගේ හදවත් සැත්කම කරනු ලැබුවේ කොළඹ වෙනත් පුද්ගලික රෝහලකදී බව පැවසූ ඒ මහතා සැත්කමෙන් පසු උන් වහන්සේ තම රෝහලට ඇතුළත් කරන ලද්දේ විවේක ගැනීමට යෑයිද සඳහන් කළේය.

වසර 30ක සිට උන් වහන්සේගේ දායකයකු වන තමා කළ ආරාධනාවක ට අනුව සෝභිත හිමියන් එසේ තම රෝහලට ඇතුළත් කළද එහිදී ද උන් වහන්සේට ප්‍රතිකාර කරන ලද්දේ සැත්කම කරන ලද වෛද්‍යවරුන්ගේ

නිර්දේශ මත යෑයිද ඒ මහතා කීවේය.

අපවත්වී වදාළ සෝභිත හිමියන් අප රෝහලේ නැවතී සිටීම අසාමාන්‍ය දෙයක්‌ නොවූ අතර උන් වහන්සේගේ හදවත් සැත්කම කරන ලද පුද්ගලික රෝහල විසින් ශල්‍ය කර්මයෙන් පසු සැලසුම් කරන ලද රෝගී තත්ත්ව විමර්ශනයකට එම සැත්කම කළ රෝහලට උන් වහන්සේ පිටත් කර යෑවූ බවත් එම අවස්‌ථාවේ උන් වහන්සේගේ ශරීර සෞඛ්‍ය හොඳ තත්ත්වයක පසු වූ බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ, අපවත්වී වදාළ සෝභිත හිමියන් විවේක ගැනීම සඳහා තම රෝහලේ නැවතී සිටීම පිළිබඳව රෝහලේ ප්‍රතිරූපයට හානි කිරීමේ අරමුණින් විවිධ පාර්ශ්වයන් විසින් සිදු කරන ලද අසත්‍ය ප්‍රචාර සහ අදහස්‌ පිළිබඳව ඇතිව තිබෙන අනවබෝධයන් නිවැරදි කිරීමේ අරමුණෙන් එම රෝහලේදී ඊයේ (17වැනිදා) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාá අපවත්වී වදාළ සෝභිත හිමියන් අප රෝහලේදී කිසිම ශල්‍ය කර්මයකට ලක්‌ කෙරුණේ නැහැ. අපගේ රෝහල විසින් උන් වහන්සේගේ කිසිදු රෝග විනිශ්චය කිරීමේ (diagnostic) හෝ චිකිත්සීය (therapeutic) හෝ ශරීර අභ්‍යන්තර (invasive) ක්‍රියාවලියකට ලක්‌ කෙරුණෙ නෑ. 


අප රෝහලේ උන් වහන්සේ නැවතී සිටියදී උන් වහන්සේට කිසිදු ආකාරයකින් හෝ රුධිරය හෝ රුධිර සංඝටක ලබාදීමක්‌ සිදු කෙරුණේ නැහැ. කිසිදු කෘතීම ශ්වසන හෝ ප්‍රබෝධ ක්‍රියාවලියකට අප රෝහල විසින් උන් වහන්සේ ලක්‌ නොකළ අතර එවැන්නක්‌ සිදු කිරීමේ අවශ්‍යතාවක්‌ද තිබුණේ නෑ.

එසේම අපගේ රෝහලේ සිට අපවත්වී වදාළ සෝභිත හිමියන් සිංගප්පූරුව දක්‌වා ගුවන් මගින් පිටත් නොකරන ලදී. උන් වහන්සේ නොවැම්බර් මස 03 වැනිදා උදෑසන ගුවන් මගින් සිංගප්පූරුව බලා පිටත් කර යවන ලද්දේ හදවත් සැත්කම කළ රෝහලේ සිට බව අපට දැන ගන්නට ලැබුණා. 


ශල්‍ය කර්මයෙන් පසු සැලසුම් කරන ලද රෝගී තත්ත්ව විමර්ශනයකට අපවත්වී වදාළ සෝභිත හිමියන් අපගේ රෝහලෙන් නික්‌ම යන අවස්‌ථාවේදී උන් වහන්සේට නියුමෝනියා හෝ වෙනත් කිසිදු ආසාදනයක්‌ හෝ වෙනත් සංකූලතාවක්‌ නොතිබිණි.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වසර 30කට වඩා වැඩි කාලයක්‌ තිස්‌සේ මා හඳුනන සමීපතම හිතවත් ස්‌වාමීන් වහන්සේ නමක්‌. පසුගිය වසරවලදී උන්වහන්සේ අසනීප වූ විටදී ද අපේ රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාගත් අතර එය උන් වහන්සේගේ කැමැත්ත පරිදි සිදු කෙරිණි.

අපවත්වී වදාළ සෝභිත හිමියන් අපගේ රෝහලේ නැවතී සිටියදී උන් වහන්සේ රැක බලා ගනු ලැබුවේ වසර 15ක්‌ තිස්‌සේ උන් වහන්සේගේ විශේෂඥ කායික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ අප රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ කායික වෛද්‍යවරයෙක්‌ විසිනි. සෑම අවස්‌ථාවකදීම ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තර පරීක්‍ෂාවකට ලක්‌ කරනු ලැබුවා.

අපවත්වී වදාළ සෝභිත හිමියන් අප රෝහලට ඇතුළත් කරනු ලැබූ අවස්‌ථාවේදී උන් වහන්සේගේ ශරීර බර කිලෝ 79ක්‌ වූ අතර නැවත රෝහලෙන් නික්‌ම යන අවස්‌ථාවේදී ද උන්වහන්සේගේ බර එම ප්‍රමාණයම විය. උන් වහන්සේ අප රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර හෝ නික්‌ම යන අවස්‌ථාවේ කිසිදු විජලන තත්ත්වයක ලක්‍ෂණ නොවූ බව මෙමගින් පැහැදිලි වෙනවා.

එමෙන්ම උන් වහන්සේ අප රෝහලේ නතරවී සිටි කාලයේ උන් වහන්සේට හෝ වෙනත් කිසිදු රෝගියකුට කිසිදු ආසාදන තත්ත්වයක්‌ ඇති නොවූ බව රෝහල් වාර්තා මගින් පැහැදිලි වෙනවා. 


අපවත් වී වදාළ සෝභිත හිමියන් අප රෝහලේ නැවතී සිටි කාලයේ උන් වහන්සේගේ සුව දුක්‌ බැලීමට පැමිණි අය සඳහා අවස්‌ථාව ලබා දුන්නේ උන් වහන්සේගෙන් විමසා අවසර ලබා ගැනීමෙන් පසුවයි.
 
Related Posts with Thumbnails