Ads 468x60px

.

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව...


ඇඹිලිපිටිය ඒ. එස්‌. පී සහ ඕ. අයි. සී ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න යෑයි ඇඹිලිපිටිය අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. 

ඊයේ (28දා) සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේද එයයි. ඇඹිලිපිටිය සිදුවීම රටේම අවධානයට ලක්‌ව තිබුණු ආන්දොලනාත්මක සිදුවීමක්‌ වී තිබීම ඊට හේතුවිය. කොහොමත් පොලිසිය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රවෘත්ති ගැන රටේ ජනතාව මේ දිනවල බොහෝ සෙයින් උනන්දුය.

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව පෙනේ. මේ නා ගැනීමේ නොව පොලිසිය තුළම කැත කිරීමේ

අසමඡ්ජාතිකම බොහෝ දුර අතීතයක සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වූවකි.

එහෙත් ආසන්නතම මතක ඇති සිදුවීම් අතර මෙහිදී කොරළවැල්ල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම හිමිවූ පොලිස්‌ නිලධාරීන් පිරිසගේ සිද්ධිය රටම හෙල්ලූ වග කිව යුතුය. 


පොලිසියේ උදවිය එම සිදුවීමෙන් හෝ පාඩමක්‌ ඉගෙන ගෙන නැති බව කිව යුතුය. පොලිසියේම සමහර උදවිය මෙවැනි නසරානි අන්දමට මිනිසුන්ට චණ්‌ඩිකම් පෙන්වන්නේ ඇයිදැයි යන්න නිවැරදිව තෝරාබේරා ගැනීමට හැකියාවක්‌ නැත. 

දුටුතැන පොලිසියට පහර දෙන්නට වුව රටේ ජනතාව පෙළඹී සිටින්නේ පොලිසියම හත්පොලේ ගාගෙන ඇති නිසාය.

ඊයේ තවත් සිදුවීමක්‌ වාර්තා වී තිබිණි. ඒ, නවුත්තුඩුව කටුගහහේන ප්‍රදේශයේ පෙරේදා (26දා) සවස රිය අනතුරක්‌ සිදුකර පලා යමින් සිටි පොලිස්‌ නිලධාරියකු ගම්වාසීන් විසින් අල්ලා මතුගම පොලිසියට බාරදීමය. 


වයස අවුරුදු 79 ක වයෝවෘද්ධ කාන්තාවක එම පොලිස්‌ නිලධාරියාගේ යතුරු පැදියේ ගැටී ඇති අතර, ඔහු එය නොසලකා හරිමින් පලා යද්දී ගම්වාසීන් විසින් එම කොස්‌තාපල්වරයා ලුහුබැඳ අල්ලාගෙන තිබිණි. 

එම පොලිස්‌ නිලධාරියා ඒ අවස්‌ථාවේ හිඳ ඇත්තේ බීමතිනි. මේ නීතිය හා සාමය රකින, ආසන්නතම සිදුවීම්වලින් හෝ පාඩම් ඉගෙනගන්නේ නැති පොලිසියේ රාලහාමිලාගේ තරමය.

දැන් දැන් ලංකාවේ පොලිසිය හින්දි චිත්‍රපටවල පොලිස්‌ කතන්දර තරමටම නරක තැනකට පැමිණ තිබේ. හින්දි චිත්‍රපටවල වීරයා සමඟ සටනට එන "දුෂ්ටයාට" සපෝට්‌ කරන්නේ පොලිසියයි. ලංකාවේ පොලිසිය දුෂ්ටයාට සපෝට්‌ කරන අතරේම දුෂ්ටයාට අඳිති. 


එහෙත් දුෂ්ටයාට අඳින පොලිසිය සිතා සිටින්නේ තමන් වීරයන් බවය. මේ කාඩ්බෝඩ් වීරයන්ට රටේ ජනතාව පෙනෙන්නේ දුෂ්ටයන් හැටියටය. පසුගිය ආණ්‌ඩු සමයේ මිලිටරි රාජ්‍යයකට බියවී සිටි බොහෝ දෙනෙක්‌ මේ පොලිස්‌ රාජ්‍ය ගැන කිසිවක්‌ නොකියති. 

කාකි නිල ඇඳුම යනු රැස්‌විහිදුවන ගෞරව සම්ප්‍රයුක්‌ත එකක්‌ බවට පත්ව තිබූ යුගය අහෝසි කරන්නට පෙරමුණ ගෙන සිටින්නේ කාකි නිල ඇඳුම අඳින පිරිසක්‌ම වීම කනගාටුවට කරුණකි. පොලිසියේ සමහර නිලදරුවන් එක හොඳ වැඩක්‌ කර පොලිසිය පොලිෂ් කරන විට කාකි ඇඳුම අඳින අශිෂ්ටයන් පිරිසක්‌ එක්‌ව අශූචි බාල්දියක්‌ ගෙන ඒ මත තවරා හොඳ නම කැත කරති. 

ඒ නිසා නමගිය අපරාධකරුවන්, කොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්‌ත්‍රී දූෂකයන් තොග පිටින් අත්අඩංගුවට ගත්තත් ඇඹිලිපිටිය වැනි සිද්ධි ඒ සියල්ලට වඩා නරක අන්දමින් ඉස්‌මතු වී පෙනේ. හොඳම උදාහරණය කොටදෙනියාවේ දැරියගේ ඝාතනයයි. 

අපරාධකරුවා අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරුවන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඉන් දෙදෙනකුට "බඩකට පුරා" සලකා තිබිණි. ඒ දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නිර්ණායක ලෙස සලකා තිබුණේ අසල්වැසි නිවෙස්‌වල පදිංචිව සිටීම, ලැප්ටොප් පරිගණක භාවිත කිරීම, අවමංගල්‍යයට සහභාගි නොවීම වැනි කාරණාය.

ඊයේ වාර්තා වී තිබෙන ආකාරයට කොටදෙණියාවේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මාරුකර යවා තිබේ. පොලිසියේ සමහරු රාජකාරි කරන්නේ එහෙමය.

පොලිසිය යනු ලොවම පිළිගත් සංකල්පයකි. පුරාතනයේ ශ්‍රී ලංකාවේ "නගර ගුත්තික" යනුවෙන් නිලයක්‌ තිබී ඇත. ඊට අයත්ව තිබී ඇත්තේද පොලිස්‌ රාජකාරියට අයත් ඇතැම් වපසරියන්ය. ලන්දේසි යුගයේ එනම් 1602 සිට 1796 දක්‌වා කාලයේ මෙරට පොලිස්‌ ක්‍රමවේදයක්‌ තිබී නැත. 


1796 - 1948 කාලයේ ඉංග්‍රීසි යුගයේදී ක්‍රමවත්ව පොලිස්‌ සේවය ස්‌ථාපිත කර ඇත. 1865 අංක 16 දරන ආඥපනත මගින් පොලිස්‌ දෙපාර්තමේන්තුව 1866 දී ආරම්භ කර තිබේ. පොලිස්‌ ඉතිහාසය එබඳුය. 

ඒ කාලය තුළ කීර්තිමත් පොලිස්‌ ඉතිහාසයක්‌ සනිටුහන් කර ඇති බවද අපි අමතක නොකරමු. එහෙත් අප විශ්වාස කරන්නේ මේ වනවිට පොලිසිය, ඒ ඉතිහාසය ඉක්‌මවමින් ශිෂ්ටාචාරය නොදියුණු යුගයේ පැවැති වනචාරී තත්ත්වයක්‌ දක්‌වා දිවගොස්‌ ඇති බවය. 

දැන් අපට නැවතත් ඒ තත්ත්වයෙන් මිදුණු පොලිසිය සොයා ගැනීමට වුවමනා වී තිබේ.
 
Related Posts with Thumbnails