Ads 468x60px

.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රජයේ දැක්‌ම මීට වඩා පුළුල් එකක්‌ විය යුතු බව...


පසුගිය ඉරිදා (26 දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ඡේ. දඩල්ලගේ සමග කළ සාකච්ඡාවක්‌ පළවී තිබිණ. එය රටේ තරමක්‌ කතාබහට ලක්‌වූ සාකච්ඡාවක්‌ බවට පත්වූ බවක්‌ පෙනෙන්නට තිබුණේ ඒ ගැන විවිධ තරාතිරමේ අය අදහස්‌ පළ කරන්නට වූ නිසාය. 

එම සම්මුඛ සාකච්ඡාව සමාජයේ කතා බහට ලක්‌වූ මාතෘකාවක්‌ වන්නට හේතු කිහිපයක්‌ තිබිණ. පළමුවැන්න එය රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ යක ලේකම්වරයකු විසින් ඉදිරිපත් කරන ලද විවාද සම්පන්න මාතෘකාව
ක්‌ බවට පත්ව තිබීමය. 

දෙවැන්න ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකු එවැනි අදහස්‌ දැක්‌වීමක්‌ කරතැයි කිසිවෙකුත් විශ්වාස නොකිරීමය. තුන්වැන්න රාජ්‍ය සේවකයාට දේශපාලන මැදිහත්වීම කොතරම් නරක අන්දමට බලපා තිබේද යන්න ඒ සාකච්ඡාව මගින් ඉස්‌මතු කර තිබීමය.

එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ගොඩනැඟී තිබුණේ චෝදනා එල්ලවී ඇතැයි කියන රාජ්‍ය නිලධාරියකු පිළිබඳව විමර්ශන වාර්තාවක්‌ මැතිවරණ නිරීක්‍ෂණ ආයතනයක්‌ ඉල්ලා සිටීමත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එය ප්‍රතික්‍ෂේප කිරීමත් ගැන කරුණු පාදක කර ගනිමිනි. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ඉතා වැදගත් අදහසක්‌ ඉදිරිපත් කරන්නේය. එය සංක්‍ෂිප්තව ගතහොත් මෙසේය.

"රාජ්‍ය සේවය යනු රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එය පත්වන ඕනෑම රජයක්‌ සම්බන්ධයෙන් වලංගු කාරණයකි. එසේ බලන කල රාජ්‍ය සේවය වෙනම ද, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනම ද යනුවෙන් යමක්‌ නැත. 


රාජ්‍ය නිලධරයෙකු වැඩ කරන්නේ මේ ක්‍රියාදාමයට අනුගතවය. දැන් යම් යම් කාලවල ඒ ප්‍රතිපත්තිවල තිබුණු අඩුලුහුඬුකම් නිසා ඒ රජයන් පරාජයට පත්වෙලා තියෙනවා. සමහර රජයන් දිනලා තියෙනවා. 

මේ ප්‍රතිපත්ති හදන්නේ දේශපාලනඥයින්. මේවා ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය සේවකයන්. හැබැයි එසේ වූ පමණින් සියලු දේවල වගකීම රාජ්‍ය සේවකයා පිට පටවන්න බෑ."

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ කියන කාරණය සිහිනුවණින් අවබෝධ කරගත යුත්තකි. ඔහු මේ අදහස්‌ පළ කරන්නේ නිල් පිලක සිට නොවේ. කොළ රතු පිලක සිටද නොවේ. 


රාජ්‍ය සේවකයා පැත්තේ සිටගෙනය. නොඑසේ නම් සමස්‌ත ජනතාව පැත්තේ සිටගෙනය. රාජ්‍ය සේවකයා අර්ධ වශයෙන් නොව පූර්ණ කාලීනව දේශපාලන ක්‍රියාධරයකු බවට පත් කරන්නට 77 න් පසු එළැඹි දේශපාලනික වටපිටාව සමත්වී තිබේ. 

බොහෝවිට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නැඟෙන චෝදනා බොහොමයක "පසුබිමේ" තීන්දු තීරණ ගෙන ඇත්තේ දේශපාලනඥයන්ය. සුපුරුදු පරිදි දංගෙඩියට හිස තබන්නට සිදුවන්නේ රාජ්‍ය සේවකයාටය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලි කරන්නේ ඒ කාරණයයි.

අපේ විශ්වාසයේ හැටියට රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් සමග සබඳතා පවත්වන ක්‍රම දෙකක්‌ තිබේ. එකක්‌ ස්‌ව කැමැත්තෙනි. දෙවැන්න එසේ නොකර බැරි නිසාය. 


2015 මහ මැතිවරණය ආසන්නයේ අගෝස්‌තු හත්වැනිදා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එම තනතුරෙන් ඉවත් කරන්නට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පියවර ගනු ලැබ තිබුණේ මැතිවරණ කොමසාරිස්‌වරයා කළ ඉල්ලීමකට අනුවය. 

හේතුව වී තිබුණේ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමය. තවත් ආකාරයකට කිවහොත් රාජ්‍ය නිලධාරියකු සිය බලය අනිසි ලෙස භාවිත කිරීමය. එමෙන්ම ඒ වකවානුවේ තවත් ප්‍රබල අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙක්‌ සහ සහකාර ලේකම්වරියක්‌ද ඉවත්කර තිබුණු බව එකල වාර්තා වී තිබිණි. ප්‍රශ්නය වන්නේ මෙවැනි සිදුවීම් දේශපාලනයෙන් වියුක්‌ත වූ හුදකලා සිදුවීම්ද යන්නය.

බොහෝවිට බලයට පත්වන ආණ්‌ඩුවක සේම ඊට පෙර බලයේ සිටි ආණ්‌ඩුවක ද ප්‍රතිපත්ති (ඒවා නීති රීති වලට එකඟද නැද්ද යන කාරණාව වෙනම කරුණකි) ක්‍රියාත්මක කිරීමට සිදු වේ. 


එවැනි ප්‍රතිපත්ති නිසි ලෙස විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක්‌ නැති බවත් ඒ නිසාම ඕනෑම රජයක්‌ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවකයාට සිදුවන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැහැදිලි කරන්නේය. 

වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඒ නිසාම යම් යම් විමර්ශනයන්ට, දඬුවම්වලට මුහුණ දෙන රාජ්‍ය නිලධාරීන් නොව සමස්‌ත රජයේ සේවකයන්ම පවතින කවර හෝ ආණ්‌ඩුවක්‌ සමග කල කිරීමක්‌ ඇති කර ගැනීමය. 

මේ යහපාලනයේ ඇති දුර්වලකම් ගැනද අමාත්‍යාංශ ලේකම්වරයා කියා තිබේ. ඒ නිසාම අපට හිතෙන්නේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රජයේ දැක්‌ම මීට වඩා පුළුල් එකක්‌ විය යුතු බවය.
 
Related Posts with Thumbnails