Ads 468x60px

.

කෙරවළපිටිය හා නොරොච්චෝල ක්‍රියාත්මකයි

කිසිදු ගැටලූවකින් තොරව රටටම විදුලිය ලබා දෙනවා
ඇමැති පාඨලි චම්පික රණවක


 
කෙරවළපිටිය සහ නොරොච්චෝල විදුලි බලාගාරවලින් නිපදවන විදුලිය මේ වන විට විදුලි පද්ධතියට එක්‌කර තිබෙන නිසා කිසිදු ගැටලුවකින් තොරව මුළු රටටම අඛන්ඩව විදුලිබලය ලබාදෙන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මේ වන විටත් යම්කිසි ප්‍රදේශයක විදුලි බිඳ වැටීම් සිදු වන්නේ නම් එය වන්නේ විදුලි නඩත්තු කටයුතු සහ ප්‍රධාන විදුලි රැහැන්වලට ගස්‌ කඩා වැටීම වැනි සාමාන්‍ය සිද්ධීන් මුල්කරගෙන යෑයි ඊයේ (12 වැනිදා) ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ කැඳවමින් ඇමැතිවරයා කියා සිටියේය. විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

පසුගිය පාලන සමයන්හිදි මෙලෙස විදුලි බලාගාරවල හා කාලගුණික තත්ත්වයක්‌ තිබුණේ නම් අනිවාර්යයෙන්ම පැය දහයක්‌වත් දිනකට විදුලිය කපා හැරීමට සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය සතියේ ඇතැම් ප්‍රදේශවල වූ විදුලි බිඳ වැටීම්වලට ප්‍රධානම හේතුව ප්‍රධාන විදුලි බලාගාර කිහිපයක ඇති වූ තාක්‍ෂණික ප්‍රශ්න සහ කෙරවළපිටිය හා නොරොච්චෝල බලාගාර දෙකේ හදිසියේ ඇති වූ තාක්‍ෂණික ප්‍රශ්නය යෑයිද ඇමැතිවරයා කීවේය.

මෙම බලාගාර දෙකෙන් පමණක්‌ මෙරට විදුලි නිෂ්පාදනයෙන් සියයට 40 ක්‌ 45 ක පමණ ප්‍රතිශතයක්‌ ලබාදෙන බව කී ඇමැතිවරයා මෙම බලාගාර දෙකම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ඉදිකළ බලාගාර බවද සිහි කළේය.

2002 සිට 2004 කාලයේ දී කිසිදු විදුලි බලාගාරයක්‌ ඉදිනොකර අනවශ්‍ය යන්ත්‍රොaපකරණ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට අපටත් අවශ්‍ය බව කී ඇමැතිවරයා විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන්නේ නම් පාර්ලිමේන්තුවේදී මේ සියල්ල හෙළිදරව් කිරීමට හැකි යෑයිද ඇමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් මේ වන විට ජල විදුලි බලාගාර වලින් දිනකට නිපදවන විදුලිබලය ගෙගාවොට්‌ පැය විසිපහේ පමණ සිට ගෙගාවොට්‌ පැය අටක්‌ පමණ දක්‌වා අඩුවී තිබෙන නිසා රාත්‍රි කාලයේදී විශේෂයෙන්ම සවස 6.30 සිට රාත්‍රි 9.30 පමණ වන තෙක්‌ විදුලිය ලබාදීම සඳහා ඩීසල් බලාගාර හා නොරොච්චෝල හා කෙළවරපිටියේ නිපදවන විදුලිය යොදා ගැනීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

විදුලි ඒකකයක්‌ රුපියල් 18.64 පමණ පුද්ගලික බලාගාරවලින් මිලට ගෙන පාරිභෝගිකයන්ට විදුලි ඒකකයක්‌ රුපියල් 13.00 ට පමණ විකිණීම නිසා ලබන වසරේ විදුලිබල මණ්‌ඩලය ලබන අලාභය රුපියල් බිලියන 16 ක්‌ වෙතැයි ගණන් බලා තිබුණද වර්තමානයේ පවතින ජලාශවල විදුලි නිෂ්පාදනයේ බිඳ වැටීම නිසා මෙම අලාභය අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වූවාට වඩා වැඩිවනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

විදුලිබල මණ්‌ඩලයේ පරමාර්ථය ලාභ ලැබීම නොව පාරිභෝගිකයන්ට විදුලි සැපයීම යෑයි කී ඇමැතිවරයා ඉදිරි කාලයේදී වැසි නොලැබුණත් අඛණ්‌ඩව විදුලි බලය පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා විකල්ප බලශක්‌ති උත්පාදන හා මිලදී ගැනීම් කෙරෙහි අවධානය යොමුකර ඇතැයි පැවසීය. ඒ සඳහා දෛනිකව රැස්‌වන බලශක්‌ති කමිටුවක්‌ද පත්ව ඇත.

විදුලිබල මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරි නිහාල් වික්‍රමසූරිය, විදුලිබල මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ
 
Related Posts with Thumbnails