Ads 468x60px

.

පිටකොටුවේ සෙල්ලම් දාපු කෙල්ලෝ 10ක්‌ කොටුවෙති

පිටකොටුව බස්‌ නැවතුම්පළේ හා පිටකොටුව ප්‍රදේශයේ සැරිසරන පිරිමි පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් සතු මුදල්, ජංගම දුරකථන හා වටිනා දෑ කොල්ල කා පලායන දස දෙනෙකුගෙන් සමන්විත කාන්තා කොල්ල කල්ලියක්‌ අත්අඩංගුවට ගැනීමට පිටකොටුව පොලිසිය සමත් විය.


අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ඒ.ජී. ටී.බී. විඡේරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකාරියන් කොටුකරගෙන ඇත.

පිටකොටුව බස්‌ නැවතුම්පළේ රාත්‍රි කාලයේ රැඳී සිටින පිරිමින් හා මාර්ගයේ ගමන් ගන්නා පිරිමින් හා මිතුරුවන මෙම කාන්තා කොල්ල කල්ලිය ඔවුන් රවටාගෙන ලැගුම් හල් වෙත කැඳවාගෙන ගොස්‌ අනතුරුව ඔහු සමග මොහොතක්‌ ගතකර එක්‌වරම "පොලිසියෙන්......පොලිසියෙන්" යෑයි කෑගසමින් එම පුද්ගලයා බියට පත්කර ඔහු සතු මුදල් පසුම්බි හා වටිනා දෑ කොල්ල කා ගෙන පලායැම සිදුකර ඇතැයි පොලිස්‌ පරීක්‌ෂණ වලින් හෙළිවී ඇත.

මෙම කල්ලියේ තවත් කීපදෙනකු මහමඟ ගමන් ගන්නා පිරිමින් හා මිතුරු වී ඔවුන් පිටකොටුවේ පාලු ස්‌ථානවලට කැඳවාගෙන ගොස්‌ මුදල් හා වටිනා දෑ කොල්ල කා ඇත.

අත්අඩංගුවට පත් කාන්තාවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුන් මොනරාගල, කුරුණෑගල, මාතර, ගාල්ල, රත්නපුර, වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.

මේ අතර මෙවැනි සංවිධානාත්මක කොල්ල කල්ලි කීපයක්‌ පිටකොටුව ප්‍රදේශයේ රාත්‍රි 11 ත් 12 ත් අතර සැරිසරන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ ගැන අවදියෙන් සිටින්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳව පිටකොටුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ඩී.කේ. ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ඒ. ජී.ටී.බී. විඡේරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන්වරුන් වන පියසේන, උපුල් ජයසිරි, යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails