Ads 468x60px

.

පවර්සෙට් එකේ විදුලි වේගෙට නැරඹුම් මැදිරිය පුපුරල ගියා

 අලව්ව දුම්රිය අනතුර
මං කොළඹ සිට නුවර යන්න නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට ගොඩ වුණා. එය අලව්ව දක්වා හොඳින් ධාවනය වුණා. අලව්වේ දී මඳකට නැවතුණා. ඊට හේතුව මා දන්නේ නෑ. වැඩි වේලාවක් යන්නට පෙර අප ගේ මාර්ගයේ ම විදුලි වේගයෙන් පැමිණි දුම්රියක් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ නැරඹුම් මැදිරියත් කඩාගෙන ඉදිරියට ඇදුණා.
නැරඹුම් මැදිරියේ හුඟ දෙනකු ඉස්සරහ මැදිරිවලට දිව්වා. තවත් අය හිර වුණා. බෝම්බයක් පුපුරනවා වගේ විශාල ශබ්දයක් ඇසුණා. මං කෝච්චිය ඇතුළෙ වැටුණා.


පෙරේදා පස්වරුවේ අලව්වේ සිදු වූ දුම්රිය අනතුරට මුහුණ දුන් මහනුවර එම්. දුෂ්‍යන්ති මහත්මිය සිය සජීවී අත්දැකීම් එසේ දිනමිණට ප්‍රකාශ කළා ය.


තිදෙනෙකුට මරු කැඳවා තවත් මගීන් තිහකට පමණ තුවාල සිදුකරමින් අලව්ව දුම්රිය ස්ථානයේ දී පෙරේදා (17) සවස වූ අනතුරට හේතුව පාලක මැදිරිය හා සංඥා පද්ධතියේ දුර්වලතාවයක් ද යන්න සොයා බැලීම සඳහා විශේෂ පරීක්‍ෂණයක් අරඹා තිබේ.

කොළඹ සිට පොල්ගහවෙල දක්වා වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියක් මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ පිටුපස නැරඹුම් මැදිරියේ ගැටී මේ අනතුර සිදුව ඇත. පොල්ගහවෙල දක්වා ගමන් ගත් බලවේග කට්ටල දුම්රියේ රියදුරු හා සහායක ද සිද්ධිය වූ ස්ථානයේ දීම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. නැරඹුම් මැදිරියේ සිටි ප්‍රංශ ජාතිකයෙක් ද මිය ගොස් ඇත. තුවාල ලැබූ මියන්මාර ජාතික භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු දුම්රිය මගීන් 17 ක් මේ වන විට රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ සංචාරකයකු වූ ප්‍රංස ජාතික රෙමි ක්ලවුඩ් (51) හා පොල්ගහවෙල බලා ධාවනය වී නැරඹුම් මැදිරියේ ගැටුණු ජම්රියේ රියදුරු වේයන්ගොඩ එෆ්. ඒ. කලුආරච්චි (52) හා එහි සහායක පයාගල යූ. ඒ. ඩී. නිහාල් (49) යන අය වෙති.

එදින සවස 5.05 ට පමණ අනතුර සිදුව තිබේ. ගාල්ල සිට රඹුක්කන බලා ධාවනය වූ 152 ඇන්ජිම සහිත දුම්රිය අලව්ව දුම්රිය ස්ථානය අසල දී අක්‍රීය වීම නිසා එහි දුම්රිය මැදිරි මහනුවර බලා ධාවනය වූ 29 එන්ජිම සහිත නගරාන්තර දුම්රියට යාකර තිබේ. එසේ අලව්ව දුම්රිය ස්ථානයේ දී යා කළ මැදිරි රැගත් දුම්රිය මහනුවර බලා පිටත්ව යාමට සූදානම් වනවාත් සමඟ කොළඹ සිට පොල්ගහවෙල දක්වා ධාවනය කෙරුණු 162 බලවේග කට්ටලය මහනුවර දුම්රියේ පිටුපස නැරඹුම් මැදිරියේ හැපී තිබෙන බව පොලිසිය පවසයි. එකිනෙක බද්ධ වූ නැරඹුම් මැදිරිය හා දුම්රිය එන්ජිම ඉවත් කර ගැනීමට පොලිසිය හා රැස්ව සිටි පිරිසට පැයකට අධික කාලයක් ගත කිරීමට සිදු විය. දුම්රිය දෙක වෙන් කළ විට ඒ තුළ මිය ගොස් සිටි දුම්රිය රියදුරු හා සහායකයාගේ මෘත ශරීර සොයා ගත හැකි විය. සිද්ධිය සැළවීමෙන් පසු එම ස්ථානයට පැමිණි අති විශාල ජනකාය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම සදහා යුද හමුදාවේ ද සහාය ලබා ගැනීමට සිදු විය.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරියේ ගමන් ගත් මහනුවර පදිංචි එම්. දුෂ්‍යන්ති මහත්මිය මෙසේ පැවසුවා ය.

මම කොළඹ සිට නුවර යන්න ආවේ. අලව්වේ දී දුම්රිය නවතුනා. පිටු පසින් පැමිණි දුම්රිය වේගයෙන් නැරඹුම් මැදිරිය වෙත එනවා දුටුවා. පිරිස කෑගහගෙන දිව්වා. බෝම්බයක් ගැහුවා වගේ ඇහුනා. මාව බිම වැටුණා. ශ්‍යාමලී පි‍්‍රයංගිකා - කිරිවානාපොළ - “මම අග්බෝවෙන් නැගල අලව්වට ආවේ බලවේග කට්ටලයේ’ හැප්පුන ගමන් අප සියලු දෙනා විසි වී වැටුණා.

රියදුරන්ගේ අතපසුවීමක් සිදුවී ද යන්නත් දුම්රිය ස්ථානාධිපතිවරයා ගේ ක්‍රියාදාමය පිළිබඳත් සොයා බලන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පිටුපසින් පැමිණ හැපුණු දුම්රියේ තිරිග අක්‍රීය වීමක් සිදු වූයේ ද යන්න පිළිබඳ ද මෙහිදී සොයා බලයි.

සිද්ධිය වූ ස්ථානයට එදින සවස ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම හා නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහත්වරු ගොස් නිරීක්‍ෂණයේ යෙදුණහ.දුම්රිය දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර තිබේ. අලව්ව පොලිසිය ද සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.
අනතුර සිදුවූ ආකාරය හා ඊට හේතුව මෙතෙක් හෙළිවී නැත. අනතුරට වැරදි පාර්ශවය බවට පෙනී යන නොනවත්වා ධාවනය වූ දුම්රියේ රියදුරු හා සහායක මියගොස් ඇති බැවින් අනතුර ඇති වීමට හේතුව පැහැදිලිව හඳුනා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පත්කළ කමිටුව කරන ඉදිරි පරීක්‍ෂණවලින් පසු අනතුරට හේතුව හෙළිකර ගැනීමට හැකි වෙතැයි ඔව්හු පෙන්වා දෙති.

මිය ගිය විදෙස් ජාතිකයාගේ හා දුම්රිය රියදුරු සහ සහායකගේ සිරුරු කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකිරීමෙන් පසු සිරුරු ඥාතීන් වෙත බාරදීමට පියවර ගන්නා බව අලව්ව පොලිසිය සඳහන් කළේ ය.
 
Related Posts with Thumbnails