Ads 468x60px

.

ටොන් හයේ චන්ද්‍රිකාව මේ සතියේ සෙනසුරාදා පොලොවට - නාසා

පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අභ්‍යවකාශ ගතකළ වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් මේ සතියේදී පොලොවට කඩා වැටෙන බවත් එය කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකට දැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය පවසා තිබේ.



විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම චන්ද්‍රිකාව උතුරු අක්ෂාංශ 57 ත් දකුණු අක්ෂාංශ 57 අතර ප්‍රදේශයකට කඩා වැටෙනු ඇතැයි අනුමාන කළත් කඩා වැටෙන ස්ථානය තීරණය කර ගැනීම සඳහා නාසා විද්‍යාඥයින් සිය උපරිම උත්සාහයෙන් කටයුතු කරමින් සිටින බවයි.

මුලින් නාසා විද්‍යාඥයින් විසින් කියා තිබුණේ මෙම චන්ද්‍රිකාව ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා පොලොවට පතිතවනු ඇතැයි කියා වුවත් එය සෙනසුරාදා පතිත වනු ඇතැයි මේ වනවිට අනුමාන කර ඇත.
මේ පිළිබඳව ජනතාව බිය විය යුතු නොමැති බවත් පොලොවට පතිතවන විට චන්ද්‍රිකාව කුඩා කැබලි වලට කැඩී යන නිසා එයින් පුද්ගලයින්ට විය හැකි හානිය පුද්ගලයින් 3200 කට 1 ක් තරම් අවම බවත් සඳහන්ය.
The Upper Atmosphere Research Satellite (UARS) යනුවෙන් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්ණත්වය ගැන දත්ත ලබාගැනීම සඳහා 1991 දී අභ්‍යවකාශ ගතකර තිබේ.

මීට පෙර මෙසේ කඩා වැටුණු කිසිදු චන්ද්‍රිකාවකින් කැඩී විසිවූ කැබලි වලින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව මෙම වාර්තා වැඩිදුරටත් පවසන අතර චන්ද්‍රිකා කොටස් යැයි සැක කරන ඒවා ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට උපදෙස් ලබාදී ඇත.
 
Related Posts with Thumbnails