Ads 468x60px

.

කෝටියක හෙරොයින් සමඟ කුඩු රැජින කොටුවෙයි

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘බ්‍රවුන් ෂුගර්’ වර්ගයේ හෙරොයින් කිලෝ එකහමාරක් ළඟ තබාගෙන සිටි කාන්තාවක හා තවත් පුද්ගලයන් තිදෙනෙකු තලෙයිමන්නාරම ඌරුමලේදී අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පෙරේදා (25) සවස සැකකරුවන් අත්අඩංගුවට ගත්තේය.


මේ හෙරොයින් තොගයෙන් කිලෝවක පමණ ප්‍රමාණයක් තිබුණේ කාන්තාවගේ නිවසේ බව පොලිසිය පැවසීය.මේ සැකකාර කාන්තාවගේ නිවසේ සිට ගමන්ගත් ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනා ළඟ තිබී අනෙක් හෙරොයින් තොගය සොයාගෙන තිබේ. මේ අනුව සැකකාරිය සතුව හෙරායින් ග්‍රෑම් 1350 මිලිග්‍රෑම් 440 ක් ද අනෙක් සැකකරුවන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 57 මිලිග්‍රෑම් 340 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාව ඌරුමලේ පදිංචිකාරියක වේ. සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අය බව හෙළිවී ඇත.
මුහුදු මාර්ගයෙන් හොර රහසේ ප්‍රවාහනය කෙරෙන හෙරොයින් තොග තලෙයිමන්නාරමේදී සුළු ව්‍යාපාරිකයන් වෙත බෙදා හරින ප්‍රධානියා මේ කාන්තාව බව ප්‍රශ්න කිරීමේදී හෙළි කර ඇත.
කාන්තාව සමග හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිවූ තොරතුරු මත ත්‍රිරෝද රථයේ රැගෙන යමින් තිබූ හෙරොයින් තොගය පේසාල පොලිස් මුරපොළ මගින් හදිසියේ යෙදූ මාර්ග බාධකයක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩු ලෝලීන් වෙත පැකට් කර විකිණීමේදී මේ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව අනාවරණය වී තිබේ.සැකකරුවන් හා හෙරොයින් තොගය තලෙයිමන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.හෙරොයින් පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවීමට පියවර ගෙන තිබේ.මන්නාරම වැඩබලන නියෝජ්‍ය පොලිස්පති මැක්සි ෆොක්ටර් මහතාගේ උපදෙස් මත තලෙයි මන්නාරම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජමිල් හා පොලිස් පරීක්ෂක රත්නායක මහත්වරු ඇතුළු නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.
.
 
Related Posts with Thumbnails