Ads 468x60px

.

සිරි සමන්තබද්‍ර හිමි ප්‍රසිද්ධ භික්ෂූන්වහන්සේලා සිවු නමකට ප්‍රසිද්ධ විවාදයකට කල අභියෝගය

පිටිදූවේ සිරිධම්ම හිමි සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්ත්වයන්ට පත්වීමෙන් පසු උන්වහන්සේ තමන්ගේ නම සිරි සමන්තබද්‍ර ලෙස වෙනස් කරගත් බවත් ඉන් පසු ලැබෙන අලුත්ම පුවත වන්නේ උන්වහන්සේ මීට පෙර ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂූන්වහන්සේලා සිවු නමකට ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙසත් අභියෝග කළ බවයි. රන්දිව පුවත්පත සමඟ පසුගිය සතියේ පැවති සාකච්ජාවක් මඟින් උන්වහන්සේ මම කරුණු හෙළි කළා.


පිටිදූවේ ස්වාමීන් වහන්සේ නම වෙනස් කරගැනීමෙන් පසු මුලු රටම බොහෝ කලබලයට පත්වූ බවක් දක්නට ලැබුනා මේක ඔබ වහන්සේ දකින්නේ කොහොමද?


ඇත්තටම මම කලින් සතියේ සඳහන් කලා වගේ මා ලැබූ ධර්මාවබෝධයත් සමඟ මට තේරෙන දෙයක් තමයි මීට මාස ගානකට කලින් මගේ දේශනා ශෛලිය වෙනස් වෙලා බුදුදහමේ ගැඹුරු හැංගිලා තිබුන ඒවා හරියට ලිං පතුලක හැංගිලා තිබුන මැණිකක් වගේ. හරියට අර මැණික් ආකරයක තියන තිරුවානා ගල් කඩාගන කඩාගන යනකොට අන්තිමට මැණිකක් හම්බවුනා වගේ මේ සියල්ල ගැඹුරින් සියුම්ව මට අවබෝධ වෙන්න පටන් ගත්තා. 


ඒ අවබෝධ වෙනකොට මට තේරුනා මේ කියන සම්ප්‍රදායේ හුඟාක් දේවල් වැරදියි කියලා.

මම උපමාවකින් කියන්නම්. දැන් බලන්න ඔය හැම පන්සලකම අලි ඉන්නවා. ඒත් සැවැත්නුවර ජේතවනාරාමයේ, මිගාරමාතු ප්‍රාසාදයේ, වේළුවනාරාමයේ කොහේවත් අලි ඉඳලා නෑ. ඔය ඔක්කොම හාමුදුරුවරු අලි හදනවා නමුත් ඔය හාමුදුරුවරුන්ගෙන් අහන්න මිනිස්සු කී දෙනක් හදලා තියනවද කියලා. එක්කනෙක්වත් නෑ. 


අලි හදන්න ඕනේ නෑ, අලි හදාගනියි අලි අම්මලා අලි තාත්තලා නැත්නම් පරිසරවේදීන්. අපි කරන්න ඕනේ මිනිස්සුන්ට සත්‍ය සහ යන මර්ගය පෙන්නලා මිනිස්සු හදන එකයි.

දැන් බලන්න මේ ආරාමේ අපි හැදුවේ අවුරුදු තුනහමාරකට කලින්. අපි මේ ආරාමේ සල්ලි දීලා ගත්තා. ඒ සල්ලි දුන්නේ කිරම විමලජෝති හාමුදුරුවන්ට. හැබැයි උන් වහන්සේට නෙවෙයි මේ ඉඩමේ අයිතිය තිබුනේ.


මේ ඉඩම ගෑනියෙකුගේ නමට තිබුනේ. දවසක් ඒ ගෑණු කෙනා මෙහෙට ඇවිත් මට කිව්වා මේ ඉඩම මට අයිතියි කියලා, දැන් සල්ලි දීලා තියෙන්නේ අර හාමුදුරුවන්ට. එතකොට මම කෝල් එකක් අරගන ඇහුවා මෙන්න මේ ගෑණු කෙනෙක් ඇවිල්ලා ඉඩම අයිතියි කියනවා කියලා.

එතකොට තමයි මට තේරුනේ මේ හාමුදුරුවෝ ඒ කාන්තාවට මේ ඉඩම ලියලා. අදත් අපේ ඔප්පුව අරගන බලන්න මේ විස්තරේ පැහැදිලිව තියනවා. කොහොම හරි අපි ඒ හාමුදුරුවන්ට ලක්ෂ 200ක් දීලා අර කාන්තාවගෙන් ඉඩම පවරගන්නවා. දැන් එතකොට මම අහන්නේ භික්ෂුවකට අයිති දේපලක් තමන්ගේ අම්මට තාත්තට දෙන එක හරිද? වැරදියි. මේවා වැරදියි. මේවා සංශෝධනය වෙන්න ඕනේ.

දැන් බලන්න බණ කියන්න ගිහාම හාමුදුරුවරු එකිනෙකාව විවේචනය කරගන්නවා. හරියට මේ සියළු දෙය දන්න අය වගේ කතා කරනවා. හැබැයි ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න ඉස්සරහට එන්න කිව්වහම කවුරුවත් එන්නේ නෑ. 


විශේෂයෙන්ම මේක කරන්නේ බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ. එයා කිසිම දෙයක් දන්නෙ නෑ. දැන් මේ ඊයේ කියලා තිබුනා අල්පේච්ජතාව ගැන. 

එතකොට එයා කියන විදිහට මේ අල්පේච්ජතාව කියන්නේ මඟුල් ගෙදරක යනකොට බාල සාරියක් ඇඳගන යන්න ඕනේ වගේ දෙයක්. ඒක තමයි එයාගේ අල්පේච්ජතාවය. නමුත් බුදුහාමුදුරුවන්ට එහෙම අල්පේච්ජතාවයක් තිබුනේ නෑ. 

බුදුහාමුදුරුවන් ලඟින්ම හිටිය දායිකාව විශාකා මේල පළඳනාව පැලඳගන යනකොට බුදුහාමුදුරුවෝ එපා කිව්වේ නෑ. ඔය අල්පේච්ජතාව හරි නම් බුදුහාමුදුරුවෝ මේල පලඳනාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ. 

බුදුහාමුදුරුවන්ට එච්චර පිස්සුවක් නෑ. මොලේ අමාරුවක් නෑ. එතකොට මේ අල්පේච්ජතාව ගැන වැරදි අර්ථකතනයක් කරනවා. මෝඩ මිනිස්සු මේවා දිහා බලාගන ඉන්නවා. ධනවතුන් බුද්ධාගමෙන් අයින් වෙනවා. ඥානවන්තයන් බුද්ධාගමෙන් අයින් වෙනවා. මොකද බුද්ධාගමේ හිටියොත් හොඳ සාරියක් ඇඳන් යන්න බෑ.

භික්ෂු සමාජයේ මෑතකදී ප්‍රවනතාවක් තියනවා විවිධ නාලිකා ඔස්සේ සහෝදර භික්ෂූන් වහන්සේලා විවේචනය කරගැනීම. මෙතන ඔබ වහන්සේත් කරන්නේ ඒ නාලිකා ඔස්සේ භික්ෂූන් විවේචනය කරගන්න එක නේද?


පැහැදිලිවම. විවේචනය කිරීමක් නෙවෙයි. හැමෝම තමන්ගේ අඩුපාඩු වහගන්න දොස් කියනවා. ඕනේම තැනක දාර්ශනික කතා බහක් තියනවා නම් දෙපාර්ශ්වයම පැමින උත්තර දිය යුතුයි. හැබැයි ඒකපාර්ශ්වික ද්වේශසහගත කතා නොකළ යුතුයි.


ඔබවහන්සේ යම් අවස්ථාවක එවැනි පාර්ශවයකට ආරාධනා කරලා තියනවද මෙවැනි බුද්ධිමත් සංවාදයකට?


පැහැදිලිවම ආරාධනා කලා. පහුගිය දවසක දොඩම්පහල රාහුල හාමුදුරුවෝ ටීඑන්එල් රූපවාහිනියේ කිව්වා මේ කියන සමහර කාරණා වැරදියි කියලා. එතකොට ප්‍රසිද්ධ විවාදයකට මම උන්වහන්සේට කතා කළා.

ඊලඟට අමිතානන්ද හාමුදුරුවන්ට මම ලිපියක් යැව්වා. ඔබ වහන්සේ කියන ඕනෑම දෙයක් ගැන මම මම කැමතියි විවාද කරන්න එන්න කියලා. ඊට පස්සේ තවත් හාමුදුරු කෙනෙක් නෙත් එෆ් එම් නාලිකාව ඔස්සේ මාව විවේචනය කළා. මම උන් වහන්සේටත් ලියුමක් යැව්වා විවේචනය කරනවට වඩා හොඳයි නේද සාකච්චා කරලා මොකක්ද මේකේ ඇත්ත නැත්ත කියලා බලන එක. නමුත් කවුරුවත් ඉස්සරහට එන්නේ නෑ. 


නැති තැන බැනලා කෑගහලා දුවනවා. ඕක හිවල් ගතියනේ. ඒ නිසා මම කියන්නේ සාකච්චා, සම්මන්ත්‍රණ, වාද විවාද තිබිය යුතුයි. මේගොල්ලෝ එක එක්කාගේ ගුණ දොස් කිය කියා දුවනවා මිසක් ධර්මයේ ගැඹුරු තැන් සාකච්චා කරන්න කවුරුවත් නෑ. ඔක්කොම ධර්මය ගැන ඇහුවහම බිරන්තට්ටුවෙලා හැංගෙනවා. 

මම මේ දේශනාව කරන්නේ මේ සියළුම ආයුධ වලින් සන්නද්ධ වෙලා.

මේ අතර පිටිදූවේ සිරිධම්ම හිමිගේ මෙම සිද්ධීන් බොරුවක් බවත් සමාජය රැවටීමක් බවත්, මෙවැනි බොරුකාරයන් සමාජය විසින් පිළිකිල් කලයුතු බව පවසමින් පිටිදූවේ සිරිධම්ම හිමිට පිළිතුරක්ද විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා විසින් රන්දිව පුවත්පතට යොමුකර තිබෙනවා.


එම ලිපියෙන් ඔහු සඳහන් කරන්නේ පිටිදූවේ යතිවරයෝ තම අවශ්‍යතාවයක් සඳහා ප්‍රසිද්ධ වාණිජ බැංකුවකින් ණයක් ඉල්ලු අවස්ථාවේ බැංකු කලමනාකරු විසින් ණය ඉල්ලුම් (පිටිදූවේ) ගෙන්වා ණය ලබාදීමට ණය ගෙවීම සඳහා තමන්ට මුදල් ලැබෙන්නේ කෙසේදැයි විමසූ අවස්ථාවේ උන්වහන්සේ විසින් පවසා ඇත්තේ "මම එක බණක් කීවහම මට රුපියක් තිස්දහසක් හතලිස්දහසක් ලැබෙනවා ඒ ආදායමෙන් ණාය ගෙවිය හැකි" බවයි.

එම ලිපියේ ඔහු විසින් සිරිධම්ම හිමියන් ඇල්ලූ අඩව් තුනක් ගැන සඳහන් කරනවා.
පලමු අඩව්ව උන් වහන්සේගේ නමට විද්‍යාවේදී යන විශේෂණ නාමය ආභරණයක් කොටගෙන විද්‍යුත් මාද්‍යවේදීන් උන් වහන්සේ වටා රොක් වෙමින් මුදල් වලට පොලඹවා ඔවුන්ද හම්බ කරගත් බවයි.

දෙවෙනි අඩව්ව ලෙස ථේරවාදයෙන් මහායානයට මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාව නවා එයට රන් ආභරන හා ඔටුනු පැළඳවීම හෙවත් බෝධිසත්ව පූජාව පැවැත්වීමයි. මෙහිදී බෞද්ධ කාන්තාවෝ මෛත්‍රී බෝධිසත්වයන්ගෙන් නිවන් දැකීම සඳහා පූජාකරන වටිනා රන් ආභරන කොළඹ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයකට මාරු වන බවත් පවසනවා.

උන්වහන්සේගේ තුන්වන අඩව්ව වන්නේ තමන් සකෘදාගාමි තත්වයට පත්වී ඇති නිසා අනිත් ස්වාමීන් වහන්සේලා ඒ ධර්මය දන්නේ නෑ, ඔවුන් මිනිසුන්ට කියා දෙන්නෙත් නෑ, බන පොත් අටුවා පොත් කියවන්න ඕනෙත් නෑ බෞද්ධයෝ මා ලඟට එත්වා. මෛත්‍රී බෝධිසත්වයන් මා ලඟ ඉන්නවා මා මිස සකෘදාගාමී වූ වෙනත් කෙනෙක් නැති බව පැවසීමයි.


විශේෂ ස්තුතිය: රන්දිව පුවත්පත
 
Related Posts with Thumbnails