Ads 468x60px

.

වෙබ් අඩවි තහනම් කළ හේතුව, පළකරන දේට පිළිතුරු දීමට අයිතිය රජයට නොමැති නිසා - කෙහෙළිය

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි කිහිපයක් තහනම් කෙරුවේ එම වෙබ් අඩවි විසින් පළකරන දේ සම්බන්ධව කරුණු දැක්වීමට හෙවත් පිළිතුරු දීමට අයිතිය රජයට නොමැති නිසා බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මේ බව පැවසීය.මේ වනවිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවත් එවැනි ලියාපදිංචි කිරීමක් කළ පසුව අදාළ වෙබ් අඩවි ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද යනවග රජය දන්නා නිසා ඒවායේ කුණුහරුප, චරිත ඝාතන හෝ සමාජයට අහිතකර දේ පළවන්නේ නම් රජයට පිළිතුරු ලබාදීමට හැකියාවක් තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

නමුත්, එසේ වෙබ් අඩවියක් ලියාපදිංචි නොවන්නේ නම් ඒවා කවුරුන් විසින් පවත්වාගෙන යනවාදැයි නොදන්නා නිසා ඒවා වෙනුවෙන් පිළිතුරු ලබාදීමට රජයට අවස්ථාව නොමැති බවත් අදාළ පිළිතුරු දීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ වෙබ් අඩවි ලංකාව තුළ තහනම් කළ බවත් අමාත්‍යවරයා කීය.
කෙසේවෙතත්, මෙහිදී මාධ්‍යවේදියෙකු පෙන්වා දුන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවුණා කියා වෙබ් අඩවියක් ලියාපදිංචි කර තිබෙන්නේ කවුරුන්ද කියා දැනගැනීම එතරම් අපහසු නොවන බවයි.

එම අදහස අමාත්‍යවරයා විසින් බැහැර කළ අතර තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදාය තිබෙන රටවලද වෙබ් අඩවි දුසිම් ගණන් තහනම් කර තිබෙන බව කීය.ඇමරිකාව විසින් විකිලීක්ස් ඇතුළු වෙබ් අඩවි 05 ක් තහනම් කළ බවත් චීනය විසින් වෙබ් අඩවි 15,000 ක් පමණද තායිලන්තය විසින් මෙවැනි වෙබ් අඩවි 48,000 ක් පමණද තහනම් කර තිබෙන බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.
 
Related Posts with Thumbnails