Ads 468x60px

.

බන්දුයි මමයි එකටගන්න ලොකු මුදලක් ඕනේ - ටෙනිසන්

ටෙනිසන් කුරේ ගේ පළමුවැනි සිනමා අධ්‍යක්ෂණය ‘තෑන්ක් යූ බර්ටි’ චිත්‍රපටය මේ දිනවල සිනමාහල් රැසක ප්‍රදර්ශනය වෙනවා. හාස්‍යයෙන් ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් තුළට ඉතා ඉක්මනින් ඇතුළු වූ ටෙනිසන් කුරේ නළුකමින් බැහැරව අධ්‍යක්ෂණ කාර්යයට අතගැසීම ඔහු ලැබූ අලුත් අත්දැකීමක් වන්නට ඇති. පසුගිය දිනක හමු වූ මොහොතක ඔහුගේ නවතම චිත්‍රපටය පිළිබඳ කළ කතාබහකි මේ.



ටෙනිසන් කුරේ අපි මෙපමණ කලක් හඳුනාගෙන හිටියේ නළුවෙක් හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියටයි. දැන් ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙලා. අලුත් අත්දැකීම් කොයි වගේද?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක අලුත් අත්දැකීමක් වුණාට සිනමාව කියන මාධ්‍යය මට ඉතාම හුරු පුරුදු දෙයක්. මීට ඉස්සර චිත්‍රපට රැසක තිරකතා රචකයකු වශයෙන් මට ලැබුණු අත්දැකීම් බොහොමයි. චිත්‍රපටයක තිර කතාවක් ලියනව කියන්නෙත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා හා සමානයි. ඒ වගේම 1975 – 80 කාලෙදි මම කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒ නිසා මේ මාධ්‍යය මට නුහුරු දෙයක් නොවෙයි.නමුත් චිත්‍රපට අධ්‍යක්ෂණයට ආවයින් පස්සේ වෙනදා නොවිඳි අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකෙන් මට තේරුණා මම හිතන තරම් අධ්‍යක්ෂණ කාර්යය සුන්දර නෑ කියලා.


ඔබ මුලින්ම අධ්‍යක්ෂණය කළ වාර්තා චිත්‍රපටය ගැනත් කිව්වොත්?
ඒකේ නම ‘හද ඇඳි සිත්තම්’. මගේ සිනමා ගමන් මඟේ ආරම්භක අවදියේ ඊට ප්‍රවිෂ්ටයක් විදියටයි මේක කළේ. සෝනියා දිසා, දොන් සිරිසේන, රෝහිණී ජයකොඩි වැනි නළු නිළියන් තමයි මේ චිත්‍රපටයේ රඟපෑවේ.

ඔබේ ප්‍රථම අධ්‍යක්ෂණය ‘තෑන්ක් යූ බර්ටි’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රේක්ෂකයෝ ඉතාම ආදරෙන් මගේ චිත්‍රපටය බාර අරගෙන තිබෙනවා. මට ලැබෙන ලියුම්, දුරකථන පණිවුඩ දැක්කම ඒ ප්‍රතිචාර කොච්චරද කියල හිතෙනවා. ඇත්තටම ඒ වගේ ප්‍රතිචාර දකිනකොට, අහනකොට නම් පුදුම තරමේ සතුටක් තමයි හිතට දැනෙන්නේ. නමුත් සිනමා ක්‍ෂේත්‍රයේ ඉන්න සමහර පිරිසකගෙන් මට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නෙවෙයි.

මේ චිත්‍රපටය නිර්මාණය කරලත් වසර දෙකක් විතර ගියාට පස්සෙ තමයි ප්‍රදර්ශනයට ගත්තේ. මම දන්නේ නෑ මොන හේතුවකට ඒක පරක්කු වුණාද කියන්න. හැමදාමත් පස්සට දදා තිබුණා. යාන්තමින් ප්‍රදර්ශනයට දාගත්ත විතරයි දාන දවසෙම ගලවන දවසත් තීන්දු කරලා හමාරයි. ඒවා මොනව වුණත් පේ‍්‍රක්ෂකයෝ දන්නවා මම ඔවුන්ට දෙන්නේ කොයි වගේ දෙයක් ද කියන එක. ඒ නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාවෙන් මම සතුටට පත්වෙලා ඉන්නේ.

අනිත් පැත්තෙන් අධ්‍යක්ෂණය කිරීමට නළුකම මට ලොකු අත්වැලක් වුණා. පුරා වසර ගණනාවක් නළුවෙක් වශයෙන් ලබපු ඒ අත්දැකීම් හැම දෙයක්ම මේ සඳහා උපකාරී වුණා.’තෑන්ක් යූ බර්ටි’ කරද්දී මට මෙහෙයවන්න ලැබුණේ ලංකාවේ ඉන්න ඉතාම ජනප්‍රිය, ප්‍රවීණ නළු නිළියන් රැසක්. ඒ හැම දෙනකුගෙන්ම මට විශාල සහයෝගයක් ලැබුණා. රඟපෑම ගැන මට අවබෝධයක් තිබෙන නිසා නළු නිළියන් හැම දෙනකුගේ රංගනයන් තුළින් මට අවශ්‍ය දේ මම ලබාගත්තා. ඒ අයත් නිහතමානීව මගේ ප්‍රයත්නයට උදව් වුණා.මහේන්ද්‍ර, දිල්හානි, අනූෂා වගේම බන්දුත් අනෙක් සියලු නළු නිළියනුත් මට ලොකු ශක්තියක් වුණා.


බොහෝ දෙනෙක් ඔබේ චිත්‍රපටය විවේචනයට ලක්කරනවා කියලා අපට ආරංචියි.
විවේචනය කිරීමේ අයිතිය ඕන කෙනකුට තිබෙනවා. නමුත් මගේ සිනමා නිර්මාණය ජනතාව වැළඳගෙන තිබෙනවා නම්, මගේ නිෂ්පාදක තුමා අදටත් මා ගැන සතුටුයි නම් තවත් මොනවද? විවේචනවලින් කවදත් මම පස්සට ගිය කෙනෙක් නොවෙයි. විවේචනය කරන්න කරන්න මම ධෛර්යවත් වුණා. එක කාලයක් මගේ නාට්‍යවලට පුළුවන් තරම් බනින්න පටන් ගත්තා. එහෙම බනින්න බනින්න මගේ නාට්‍ය හොඳට දිව්වා.

ඔබ බන්දු සමරසිංහ සමඟ කලකට පසු මේ චිත්‍රපටයේ රඟපානවා. කාලයක් බන්දුත් සමඟ රඟපාන්නේ නැතුව හිටියා නේද?
අපි දෙන්නා රඟනොපා හිටියේ නෑ. බන්දු එදත් අදත් මගේ මිත්‍රයා. පසුගිය කාලේ අපි දෙන්නා එකට දැක්කේ නැත්තේ චිත්‍රපටයකට අපි දෙන්නවම ගන්න ලොකු මුදලක් අවශ්‍යයි. ඒ නිසා පසුගිය කාලේ බොහෝ නිෂ්පාදකවරු අපි දෙන්නගෙන් එක් කෙනෙක් තමයි චිත්‍රපටවලට ගත්තේ.

අවුරුදු 5ට පස්සේ බන්දු මේ චිත්‍රපටයට එක්වුණේ මගේ බලවත් ඉල්ලීමට.

පසුගිය දිනෙක ප්‍රවීණ ග්‍රන්ථ කර්තෘ ටෙනිසන් පෙරේරාගේ පොත් දොරට වැඩුමක් පිළිබඳ පුවත් පතක පළවූ ලිපියක ටෙනිසන් පෙරේරා වෙනුවට ඔබේ නම යෙදී තිබුණා ඔබ දුටුවාද?ඒක නම් මම දුටුවේ නෑ. හැබැයි ඉතින් මගේ නම දැක්කම මගේ රසිකයිනුත් මම පොතක් ලියලා කියලා හිතලා ඒ පොත ගනිවි. මමත් ඉදිරියේදී මගේ කලා ජීවිතේ අත්දැකීම් අළලා පොතක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


එක කාලයක් ඔබ හාස්‍යජනක වේදිකා නාට්‍ය රැල්ලක් නිර්මාණය කළා. දැන් ඒ ඉල්ලුම අඩු වෙලාද?
තවමත් ඒ ඉල්ලුම තිබෙනවා. අදටත් මගේ ‘අයි ඈම් ශ්‍රී ලංකා’ නාට්‍යය වේදිකා ගතවෙනවා. ඉදිරි අප්‍රේල් මාසය වනතුරු මේ නාටකය සඳහා දැනට දර්ශන වෙන්කරගෙන තිබෙනවා. මගේ නිර්මාණවල එකම අභිප්‍රාය හාස්‍යය ඉපදවීම. ඒ තුළින් ප්‍රේක්ෂකයින්ගේ ලේ පිරිසුදු වීම ඉන් සෞඛ්‍ය සම්පන්න බව ඇතිවීම. මගේ නිර්මාණවලින් මහා ලොකු බැරෑරුම් දේවල් දෙන්නේ නෑ. සරල වින්දනයක් විතරයි දෙන්න උත්සාහ කරන්නේ. ඒකෙන් කියන්නේ නෑ මහා පරිමාණයේ සම්භාව්‍ය නිර්මාණ බිහිකරන්න එපා කියලා. මම තෝරාගෙන තිබෙන මගේ මාවත ගැනයි මම කිව්වේ.


ඉදිරි නිර්මාණ කටයුතු කොයි වගේද?
චිත්‍රපටයක් නැවත කරනවද නැද්ද කියලා තාම මම තීරණය කරලා නෑ. මගේ නාට්‍ය ටික නම් දිගටම කරගෙන යනවා. මේ නාට්‍ය කරන ගමන්ම එයින් ලැබෙන ආදායමින් විවිධ සුබසාධන කටයුතුත් මම කරගෙන ගියා. ඉදිරියටත් ඒක කරගෙන යනවා. දැනට එංගලන්තයෙ පදිංචිව ඉන්න මැණික් මාලියද්ද මේ වගේ සුබසාධන වැඩ රැසක් කරන කෙනෙක් ඉදිරියේදී සුබසාධන කටයුත්තක් සඳහා එංගලන්තයේදී කරන ප්‍රසංගයක ආරාධිත අමුත්තෙක් විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව එළඹිලා තිබෙනවා.
 
Related Posts with Thumbnails