Ads 468x60px

.

කොල්ලුපිටිය හෝටලයකදී බිරිඳ මරා දැමූ සැමියා පාපොච්චාරණය කරයි

විවාහයෙන් පස්‌සේ එංගලන්තයේ පදිංචියට යමු කියලා සුදර්ශනී නිතරම කරදර කරන්න ගත්තා. මගේ ව්‍යාපාර අතහැරලා දාලා මට ලංකාවෙන් යන්න විදිහක්‌ තිබුණේ නැහැ. 

සුදර්ශනීගෙන් බේරෙන්නම බැරි තැන මම එයාගෙ මුහුණ කොට්‌ටයකින් හිර කරලා බෙල්ල කපලා මරලා දැම්මා යෑයි කොල්ලුපිටියේදී සිය බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැමියා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර සිටියේය. 

මධුසමය ගත කිරීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි මනාලිය ගෙල කපා කෲර අන්දමින් ඝාතන කර පළා ගිය මනාලයා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ ඊයේ (01 වැනිදා) පෙරවරුවේදීය.


අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා බිරිඳ ඝාතනය කළ බව පිළිගනිමින් මෙසේ පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි. කොල්ලුපිටිය පොලිස්‌-ස්‌ථානාධිපති මංගල දෙහිදෙණිය මහතාට ලැබුණු තොරතුරක්‌ ඔස්‌සේ ඊයේ (1 දා) පෙරවරුවේදී කළ වැටලීමකදී මෙම සැකකරු කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක්‌ අසල සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැකකරුගේ මුල් විවාහයේ බිරිඳ සහ දරුවන් තිදෙනාද ඉන්දියාවේ චෙන්නායි නගරයේදී හදිසි අනතුරකින් මරුමුවට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද මොහු පිළිබඳව සැකයක්‌ මතුවී ඇති බව පොලිසිය පවසයි. මොහුගේ මුල් කසාදයේ බිරිඳ සහ දරුවන් තිදෙනා මරුමුවට පත්ව ඇත්තේ නිවසේ තිබූ ගෑස්‌ ටැංකිය හදිසියේම පිපිරී යැම නිසා බව හෙළි වී තිබිණ.

එහෙත් එම සිද්ධිය මොහුගේ අනුදැනුම මත සිදු වූවක්‌ බවට විශාල සැකයක්‌ මතුවී ඇති බව පවසන කොල්ලුපිටිය පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වන බව කියා සිටියේය.

ඝාතනයට ලක්‌ වූ 47 හැවිරිදි සුදර්ශනී ශකිලා කනකසබේ මහත්මිය සැකකරු සමග විවාහ වී ඇත්තේ ඉකුත් 19 වැනිදාය. මෙය සුදර්ශනීගේ ද දෙවැනි විවාහය වන අතර මුල් විවාහයේ දරුවන් දෙදෙනා අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් එංගලන්තයේ පදිංචිව සිටින බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

කාලයක්‌ තිස්‌සේ සැකකරු සහ සුදර්ශනී දැන හඳුනාගෙන සිටි අතර ඇය එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මොහු සමග විවාහ වීම සඳහාය. ඉකුත් පෙබරවාරි මස 14 වැනිදා, ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිය මවද සමඟ ය. විවාහවීමෙන් පසු සුදර්ශනීගේ මව නැවත එංගලන්තයට ගොස්‌ ඇති අතර ඇය සිය සැමියා ද සමග මධුසමය ගත කිරීමට කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට ගොස්‌ තිබේ.

ශ්‍රී ලංකාවේ පදිංචිව සිටීමට සුදර්ශනී දැඩි ලෙස අකැමැත්ත පළ කළ අතර ඇය නැවත එංගලන්තයට යැමට අවශ්‍ය බව පවසා ඇත. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකාර සැමියා ව්‍යාපාර කීපයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති පුද්ගලයෙකි.බිරිඳගෙන් ගැලවීමක්‌ නොමැති බව දැනගත් සැකකරු ඇය මරා දැමීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඉකුත් 26 වැනිදා ඔහු සිය බිරිඳ සමඟ මත්පැන් පානය කර ඇත.

අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා සුදර්ශනී නින්දට වැටී ඇති අතර ඒ අවස්‌ථාවේ සැකකාර සැමියා ඇගේ මුහුණ කොට්‌ටයකින් වසා දමා පිහියකින් ගෙල කපා තිබේ. බිරිඳ මිය ගිය පසු ඇගේ සිරුර ඇඳ ඇතිරිල්ලකින් ඔතා දැමූ සැකකාර සැමියා හොර රහසේම පළා ගොස්‌ තිබිණි.

සැකකාර සැමියාගේ හැඳුනුම්පතේ තිබූ ලිපිනය සොයාගත් කොල්ලුපිටිය පොලිසිය ඒ ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා ඔහුගේ ඥතීන් කීපදෙනකුගේම නිවාස පරීක්‍ෂා කළහ. කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මංගල දෙහිදෙණිය මහතාට ලැබුණු තොරතුරක්‌ ඔස්‌සේ ඊයේ පෙරවරුවේදී පෞද්ගලික රෝහලක්‌ අසල කළ වැටලීමකදී මෙම සැකකරු කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.

සැකකරු ඉකුත් 26 වැනිදා සිය බිරිඳ මරා දැමූ අතර පසුව ඔහු හෝටලයෙන් පළා ගියේය. හෝටල් සේවකයන් විසින් මෙම යුවළ නැවතී සිටි කාමරය ඉකුත් 28 වැනිදා පරීක්‍ෂා කිරීමේදී දුගඳක්‌ පිටවී ඇත.

ඒ අනුව සොයා බලද්දී හෝටල් කාමරයේ මෙම කාන්තාව ඝාතනය කර තිබියදී සොයාගැනීමට හැකි විය. සිරුර සොයා ගන්නා අවස්‌ථාව වනවිට එය තරමක්‌ විකෘති තත්ත්වයක තිබූ බවද පොලිසිය පවසයි.

මෙම කාන්තාව සතුව තිබූ රන් ආභරණ හෝ මුදල් කිසිවක්‌ සැකකරු රැගෙන ගොස්‌ නොතිබිණි. සැකකාර සැමියා අධිකරණය වෙත ඊයේ (1 දා) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.


 
Related Posts with Thumbnails