Ads 468x60px

.

මගේ විවාහය කැඩිලා බිඳිලා ඉහිරිලා ගියා - උපේක්ෂා

මාව තේරුම් ගන්න, මාව අවබෝධ කර ගන්න ඔහුට පුළුවන් වුණේ නෑ....

යුග දිවි අරණේ සුවඳ වත්සුණු ජීවිතය මත ගල්වන්ට පටන් ගත්තා පමණි. ඇබින්දෙන් ඇබින්ද දේදුනු පැහැගෙන ජීවිතයේ හදවත මත ස්නේහයේ සිතුවම සිත්තම් කරන්නට පටන් ගත්තා පමණි. පේ‍්‍රමයේ පිණිබිඳ බිඳී ගියේය. 

යළිදු සැකසිය නොහැකි වීදුරු කැඩපතක් සේ ඔවුන් දෙදෙනා එක්තැන්ව තැනූ ආදරයේ මන්දිරය ඉරිතලා ගියේය.

මගේ විවාහය කැඩිලා බිඳිලා ඉහිරිලා ගියා. ඔව් එහෙම වුණා. මාව තේරුම් ගන්න, මාව අවබෝධ කර ගන්න ඔහුට පුළුවන් වුණේ නෑ.

ඒ වෙච්ච සිද්ධිය කාටවත් රහසක් වුණේ නෑ. මගේ හිටපු ස්වාමි පුරුෂයා මට පහර දුන්නා. මට අඩන්තේට්ටම් කළා හිරිහැර කළා. තව දුරටත් ඒ විවාහය රැක ගන්න මානසිකත්වයක් මට ඉතුරුවෙලා තිබුණේ නෑ. ඒ විවාහය දික්කසාදයකින් කෙළවර වෙන්න ඉඩදීලා මම හිතහදා ගත්තේ ඒකයි.

සැමියාගෙන් විඳින්නට සිදුවූ හිරිහැර අඩන්තේට්ටම් හේතුවෙන් සෑහෙන තරම් කාලයක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන්නට ඇයට සිදුවූවාය.

මගේ විවාහය අවසන් වුණා. ඒත් එසේ වූ පමණින් යළි කවරදාවත් විවාහ වෙන්නේ නෑ කියන තීරණයට මම ආවේ නෑ. මාව අවබෝධ කරගන්න පුළුවන් ආදරය විවාහය කියන දෙය වගකීමෙන් තේරුම් ගන්න කෙනෙක් හම්බ වුණොත් මම විවාහ වෙනවා. තවම නම් මට එහෙම කෙනෙක් මුණ ගැහිලා නෑ.

බිරිඳක් විදිහට මවක් විදිහට හොඳ ජීවිතයක් ගත කරන බලාපොරොත්තුව මගේ හිතෙත් තියෙනවා. මම ආසයි ඒ හීනයට.

දරුවෙකුට මම ආසයි. මටත් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුණොත් ඒක මගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක්. මම දන්නෙ නෑ. ඒත් ඒ වාසනාව මට හිමි වාසනාවක්ද කියලා.

ඒක එහෙම නොවුණොත් මම හිතාගෙන ඉන්නේ අම්මා තාත්තා නැතුව අසරණ වෙලා ඉන්න ළමා නිවාසයක දරුවන්ට උදවු වෙන්න. ඒ දරුවන්ගේ අනාගතය ගොඩනංවා ගන්න මගේ දායකත්වය ලබාදෙන්න. එය මට විශාල ආත්ම තෘප්තියක් වෙයි. 


මටම කියලා දරුවෙක් නැති වුණොත් මේ ලෝකේං හැමදරුවෙකුටම ආදරය කරන්න මට පුළුවන් කොහොමත් මම දරුවන්ට හුඟාක් ආදරෙයි. මම දිගටම දේශපාලනයේ රැඳිලා ඉන්නවද නැත්ද කියන එක මම තවම තීරණය කරලා නෑ. තව අවුරුදු දෙක තුනකින් මම ඒක තීරණය කරනවා. ඒ කොහොම වුණත් මම දිගටම ඉගෙන ගන්නවා කියලා නම් තීරණය කරලයි තියෙන්නේ.

දැන් මම නීතිය පිළිබඳව හදාරනවා. නීතිවේදී උපාධිය ලබා ගැනීම මගේ අපේක්ෂාවක්. ජීවිතයට මුහුණ දීමේදී ජීවිතය අවබෝධ කර ගැනීමේදී හොඳ අධ්‍යාපනයක් ලබා තිබීම හුඟාක් වැදගත් කියලා මම හිතනවා.

හැම ගැහැනියක් වගේම ලස්සනට අඳින්න පළඳින්න, පිළිවෙළට ජීවත්වෙන්න, හොඳ බිරිඳක් වෙන්න, අම්මා කෙනෙක් වෙන්න මමත් ආසයි. එහෙත් ජීවිතය කියන්නේ අපි අපේක්ෂා කරන අපි ඉල්ලා හිඳින හැමදේම ඒ විදිහටම ලබාදෙන දෙයක් නෙවෙයි. ජීවිතය කියන්නේ ඉල්ලූවත් නොඉල්ලූවත් අපට හිමිවෙන හැමදේමයි.

අනාගතයේදී කවර අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුවත් ශක්තිමත් මනසින් මම ඒ හැමදේටම මුහුණ දෙනවා.

උපේක්ෂා ස්වර්ණමාලි අද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක හා කලාකාරිනියක ලෙස ගෙවන ජීවිතය හෙට දවසේදී වෙනත් ඉසව්වක ලැගුම් ගන්නට පුළුවන. එහෙත් ඈ කීවා සේම ජීවිතය යනු නිශ්චයක් තුළ රඳවා තැබිය හැකි නිශ්චල වස්තුවක් නොවේ.

එය රළ නගන සංසාරය නම් දියවරේ තෙරක් නැති රළ අතර සරණ යාත‍්‍රාවකි. ඔබ මෙන්ම මා මෙන්ම ඇයද ඈට හිමි රළ අතර ඈට හිමි සයුරු දිය මත ඇගේ ජීවිතය නම් යාත‍්‍රාව පැද යන්නීය.
 
Related Posts with Thumbnails