Ads 468x60px

.

මම බලාපොරොත්තු වෙන්නේ මට හුඟක් ආදරය කරන මගෙ ලඟින්ම ඉන්න කෙනෙක් - විනූ උදානි

මගේ විවාහය අවුරුදු 22 ත් 26 ත් අතර කාලය තුළ සිද්ද වේවි ...

2012 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලිය අවසන් වූයේ සුමුදු ප්‍රසාදිනී හා විනූ උදානි සිරිවර්ධනට සම කිරුළු හිමිකරදෙමිනි. 

එසේ ජයග්‍රහණය හිමිකරගත් විනූ උදානි සිරිවර්ධන මිස් ශ්‍රී ලංකා තරගාවලියේ දී මිස් ටැලන්ට් හා සන්ඩේ ඔබ්සවර් මිස් පොපියුලර් යන අනු කිරුළු හිමිකරගැනීමට ද සමත්විය. . .


*මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමත් සමග මුළු රටක් ඔබට හඳුනාගත්තා. ඔබ ලබපු ඒ ජනප්‍රියත්වය ඔබට දැනෙන්නේ කොහොමද?
මිස් ශ්‍රී ලංකා තරගාවලිය තුළින් තමයි මම ජනතාව අතරට ආවේ. ඉතින් මට ජනතාවගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි.

*ඒ ජයග්‍රහණයත් එක්ක ඔබේ ඉදිරි ගමන සකස්වෙන්නේ කොහොමද?
දැනට මම අධ්‍යාපන කටයුතු තවම අවසන් කර නෑ. අධ්‍යාපන කටයුතු හදාරමින් නිරූපණය ඇතුළු ඉදිරි කටයුතු කරගෙන යාමයි මගේ බලාපො‍රොත්තුව. 

*ඔබේ ඒ අධ්‍යාපන කටයුතු ගැනත් කතාකළොත්?
මම උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. මම දැන් විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉදිරියේ දී දිගටම අධ්‍යාපන කටයුතු හදාරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය විවිධ ක්ෂේත්‍ර හරහා වැඩිදියුණු කරගන්නත් බලාපොරොත්තු වෙනවා.

*කලා ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්න අදහසක් නැද්ද?
මට රංගන ක්ෂේත්‍රය සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා දායකවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

*මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමෙන් පසු ඔබ යම් සමාජ සේවා කටයුතුවලට සම්බන්ධව කටයුතු කරනවාද?
මම දැනටමත් දෙහිවල, කරගම්පිටිය ප්‍රදේශයේ ධර්මරාජ විහාරස්ථානයේ ළදරු පාසලක ළමුන්ගේ අධ්‍යාපනය හා පෝෂණය පිළිබඳව කටයුතු කරනවා. මිස් ශ්‍රී ලංකා තරගයට පෙර සිටම මම ඒ කටයුතු සඳහා සම්බන්ධ වෙලා හිටියා. කිරුළ හිමිකරගැනීමත් සමග මම බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු වඩාත් පුළුල් අන්දමින් කරගෙන යන්න. 

*ඔබ මිස් ශ්‍රී ලංකා තරගාවලියට ඉදිරිපත් වෙන්න තීරණය කළේ?
මගේ පොඩි කාලේ ඉඳන් තිබුණු බලාපොරොත්තුවක් තමයි රට නියෝජනය කිරීම. දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලිය මගේ ඒ බලාපොරොත්තුව ඉටුකර ගත හැකි එක්තරා අවස්ථාවක්. ඒ තරගය හරහා මට එම භාග්‍යයත් ලබාගෙන ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙලා උපරිම ජයග්‍රහණ මගේ මව්බිමට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මම මිස් ශ්‍රී ලංකා තරගාවලියට ඉදිරිපත් වුණේ. 

*මිස් ශ්‍රී ලංකා තරගාවලියට ඉදිරිපත් වුණු තරගකාරියන් අතරින් ඔබ සමග වඩා සමීපව කටයුතු කළ තරගකාරියන් කවුද?
තරගාවලිය තුළ අනෙක් තරගකාරියන් 11 දෙනාම මාත් එක්ක හුඟක් සහයෝගයෙන් හිටියා. ඒ අතරින් නම් වශයෙන් මතක් කරන්න කැමතියි ‍ජොආනා මයන්ති, ලසෝදා සිරිවර්ධන, වරුණි සහ ගනේෂා කියන තරගකාරියන් මාත් එක්ක ගොඩක් සමීපව සිටියා. ඊට අමතරව සියලුම තරගකාරියන් සහයෝගයෙන් කටයුතු කළා.   

*නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව වැඩිදුර හෑදෑරීමක් කරන්න ඔබේ බලාපොරොත්තුවක් තියෙනවද?
මම බලාපොරොත්තු වෙනවා නිරූපණ ක්ෂේත්‍රය හරහාත් උපාධියක් හදාරන්න.

*විනූ, මේ දක්වා ඔබ පැමිණි ගමන තුළ සහ ඉදිරියේ දී ක්ෂේත්‍රය තුළ ඔබ යාමට බලාපොරොත්තු වන ගමන තුළ ඔබ විසින් පනවාගත් යම් සීමා මායිම්, කොන්දේසි තිබෙනවාද?
අනිවාර්යයෙන්ම එහෙම සීමා පනවගෙන තිබෙනවා. මම ලබාගත් ජයග්‍රහණයත් එක්ක සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය සඳහා ආරාධනා විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ සඳහා දායකවෙද්දි මගේ සීමාවක් විදිහට මම පනවගෙන තිබෙනවා මම දායකවෙන්නේ කිසියම් ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් සඳහා පමණයි. ඒ වගේම බෞද්ධ චරිතයකට දායකත්වය දීමයි මගේ බලාපොරොත්තුව. එවැනි ආරාධනාවක් මම සතුටින් භාරගන්න කැමතියි. 

*ඔබ දක්ෂතා දක්වන්නේ මොනවගේ ක්ෂේත්‍රවලටද? 
මට නර්තනය සම්බන්ධ විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ඊට අමතරව චිත්‍ර, ක්‍රීඩා වැනි සෑම ක්ෂේත්‍රයක් තුළම මම දක්ෂතා දක්වලා තියෙනවා.   

*ඔබේ පවු‍ලේ සාමාජිකයින් ගැනත් මතක්‍කළොත්?
පවුලේ අම්මායි, තාත්තායි, අයියායි, නංගියි, මමයි.

*යොවුන්වියේ සිටින තරුණියක් විදිහට ආදරය සහ විවාහය ඔබ දකින්නේ කොහොමද?
ආදරයක් කියන්නේ විඳිය යුතු දෙයක්. විඳවන්න නෙමෙයි ආදරය තියෙන්නේ විඳින්න. එවැනි සුන්දර ආදරයක් අනාගතයේ දී විවාහයක් බවට පත්වෙන්න පුළුවන්.

*මේ වෙද්දි ඔබ ඒ ආදරයේ සුන්දරත්වය විඳිනවාද?
දැනට නම් මට ඒ ආදරය සම්බන්ධව අත්දැකීම් නෑ.

*ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද?
මගේ අදහස අනුව විවාහය අවුරුදු 22 ත් 26 ත් අතර කාලය තුළ සිදුවෙනවා නම් හොඳයි. මම බලාපොරොත්තු වෙන්නේ මාව හොඳින් විශ්වාස කරන, මාව හොඳින් තේරුම්ගත්, මට හුඟක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම මම සම්බන්ධ වෙන ක්ෂේත්‍රය පිළිබඳව වැටහීමක් තිබිය යුතුයි. ඒ වගේම ඔහුත් සමාජයේ හොඳ තැනක ඉන්න කෙනෙක් විය යුතුයි. එවැනි පුද්ගලයෙකු තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

*මිස් ශ්‍රී ලංකා තරගාවලිය හරහා ඔබ ලබාගත් ජනප්‍රියත්වයත් එක්ක ගොඩනැගුණු ඔබේ රසිකයින්ගෙන් ආදර යෝජනා ලැබිලා නැද්ද? 

දැනට නම් නැහැ.

*ඔබ කොහොමද ඔබේ විවේකය විනෝදයෙන් ගතකරන්නේ?
විවේකයක් ලැබුණම ගොඩක් වෙලාවට පවුලේ අයත් එක්ක එළියට යනවා. කොහෙහරි නිදහස් තැනක එකතුවෙනවා. නැත්නම් චිත්‍රපටයක් බලන්න යනවා. එහෙමත් නැත්නම් දුර පළාතකට යනවා. ඒ වගේ සතුටින් විවේකය ගතකරන්න තමයි ගොඩක් කැමති. දැනට නම් විවේකී අවස්ථාවන් ලැබෙනවා බොහොම අඩුයි. විවේකයක් ලැබුණත් මම ඒ කාලය ළදරු පාසලේ දරුවන් වෙනුවෙන් යොදාගන්නවා.

*මේ දක්වා ඔබ ඔබේ ජීවිතය තුළ දුටු සෑම සිහිනයක්ම සැබෑ කරගන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවද?
අද වනවිට මම දැකපු බොහොමයක් හීන සාර්ථක වෙලා තියෙනවා.

*ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියවට කරගෙන යන්න. අධ්‍යාපන කටයුතු සමග රංගනය හා නිරූපණ ක්ෂේත්‍රයටත් මගේ දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

*වඩාත් සාර්ථක ආදර විවාහයද? යෝජිත විවාහයද?
ආදර විවාහය.

*ඔබ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට ක්ෂේත්‍රයේ කිසියම් කෙනෙකුගෙන් ආදර යෝජනාවක් ලැබුණු අවස්ථාවක් තියෙනවාද?
නැහැ.

*එකවර කිහිපදෙනෙකුට ආදරය කළ හැකිද?
බැහැ.

*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ඔබ ජ්‍යොතිෂයට මුල් තැනක් දෙනවද?
නැහැ.

*ඉහළ මුදලකට කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුත්තක් වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට සම්බන්ධවෙන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?
ඔව්.

*ඔබ කිසියම් තරුණයෙකු පිළිබඳව තබා සිටි බලාපොරොත්තු බිඳවැටුණු අවස්ථාවක් තියෙනවාද?
නැහැ.


*සම්පූර්ණ නම
විනූ උදානි සිරිවර්ධන

*උපන්දිනය
1992. 03. 10

*ලග්නය
සිංහ

*උස
අඩි 05 අඟල් 05

*පදිංචිය
දෙහිවල

*ප්‍රියතම විලාසිතාව

ගවුම
 

 
Related Posts with Thumbnails