Ads 468x60px

.

ආදරය දැනට සුන්දරයි. තවම ආදරයක් පටන්ගෙන නෑ - ඉමල්ෂා මධුෂානි...

මම තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්...
දැනට ආදරය ගැන හිතල නෑ...

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තුන්වන අදියරේ අවසන් මහා තරගය පසුගියදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේ දී පැවැත්විණි. 

එම තරගයේ සුපිරි නර්තන තරුව වෙනුවෙන් තරගකරුවන් සිව්දෙනෙකු තරග වැදුණු අතර ප්‍රේක්ෂක මනාපය අනුව මෙම සුපිරි නර්තන තරුව තෝරාගැනීම සිදුකෙරුණි. 


එහිදී වැඩිම ප්‍රේක්ෂක මනාප ප්‍රමාණයක් හිමිකරගනිමින් සුපිරි නර්තන තරුව ලෙස ජයග්‍රණය ලබාගැනීමට ඉමල්ෂා මධුෂානි සමත්විය.



ඉමල්ෂා, ඔබ මේ වනවිට සුපිරි නර්තන තරුවක්. ඔබ ලැබූ එම ජයග්‍රහණයත් සමග කොහොමද ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දුරකථන ඇමතුම් බොහොමයක් ලැබෙනවා. ජනතාවගේ ප්‍රතිචාර ගොඩක් හොඳයි. හැමෝගෙම බලාපොරොත්තුව වුණේ මේ ජයග්‍රහණයයි. ඉතින් එය සාර්ථක වුණා. ගොඩක් සතුටුයි.

ඔබ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් පළමු අදියරේ තරගය සඳහාත් ඔබ ඉදිරිපත් වුණා. එහිදී ජයග්‍රහණය ඔබේ අතින් ගිලිහී ගියා. මෙවර ඔබ සුපිරි තරු කිරුළ හිමිකරගත්තා. එදා සහ අද දැනෙන හැඟීම මොනවගේද?
පළමු අදියරේ දී මට ඉදිරියට යන්න බැරිවුණා. නමුත් මම නර්තනය නැවැත්තුවේ නෑ. ඉදිරියටම හැදෑරීම් කළා. ඉතින් මම හිතනවා ඒ උපරිම කැපවීම නිසයි මම අද මේ ඉන්න තත්ත්වයට ඇවිත් ඉන්නේ.

වෘත්තීය වශයෙන් නර්තන ශිල්පිණියක් විදිහට දීර්ඝකාලීනව කටයුතු කරන්න ඔබ බලාපොරොත්තු වෙනවද?
ඔව්, වෘත්තීය රංගන ශිල්පිණියක් විදිහට කටයුතු කිරීමයි මගේ බලාපොරොත්තුව.

නර්තන ක්ෂේත්‍රය පැත්තෙන් මොනවද ඔබේ ඉදිරි සැලසුම්? 
මම මේ දවස්වල නර්තනය හදාරමින් සිටිනවා. ඉදිරියේ දී මම නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

රංගන ක්ෂේත්‍රයට පිවිසීමේ අදහසක් නැද්ද? 
රංගන ක්ෂේත්‍රයට පිවිසීමේ අදහසක් තියෙනවා. ඒ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. දැනට ටෙලි නාට්‍ය සඳහා තමයි ආරාධනා ලැබිලා තියෙන්නේ. ඉදිරියේ දී එම නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

නර්තන ක්ෂේත්‍රයට අමතරව ඔබ මේ වෙද්දි වෙනත් ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙලා ඉන්නවද? 
නැහැ, නමුත් නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. පාසලේදී නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙනවා.

ඔබ නර්තන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
පාසලේ දී නර්තන කටයුතුවල යෙදුණා. නමුත් වැඩි දායකත්වයක් දුන්නේ නෑ. වයස අවුරුදු 07 ඉඳන් අවුරුදු 13 ක් මම චන්න උපුලී රංගායතනයේ නර්තනය හැදෑරුවා. අ. පො. ස සාමාන්‍ය පෙළටත් මම නර්තනය හැදෑරුවා. ඉන්පසුව මට චන්න උපුලි රංගායතනයේ නර්තනය හදාරන්න බැරිවුණා. මේ වනවිට මම ලතින් අමෙරිකානු නර්තනය හදාරමින් සිටිනවා.

මේ දක්වා ක්ෂේත්‍රයේ ඔබ පැමිණි ගමන තුළ යම් යම් සිත් රිදවීම්වලට මුහුණදෙන්න සිද්ධවුණු අවස්ථා නැද්ද?
මුහුණදීලා තියෙනවා. දැන් ඒවා ගැන ඒ තරම් හිතන්නේ නෑ. මාත් එක්ක නම් කාටවත් එහෙම ලොකු හිත් රිදවීම් ඇතිවෙලා නෑ. හැමෝම සතුටින් ඉන්නවා මං එක්ක ඉන්න කොට. මම තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්.

වර්තමානයේ නර්තන ශිල්පීන්ට හිමිවන තැන ගැන සෑහීමට පත්වෙනවද?
මහන්සි වෙන විදිහට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. ඒ සාධාරණය ඉෂ්ටවීම අවශ්‍යයි.

මුලින්ම ඔබේ පවුලේ සාමාජිකයින් ගැන මතක්කළොත්?
පවුලේ අම්මායි, තාත්තායි, මල්ලියි, මමයි. පවුලේ කිසිකෙනෙක් කලා කටයුතුවලට සම්බන්ධ නෑ. මගේ නර්තන කටයුතුවලට අම්මාගෙන් තමයි ලොකු අත්වැලක් ලැබෙන්නේ. එයා නිසා තමයි මම මෙතෙක් දුරට ආවේ.

ඔබේ පාසල් අධ්‍යාපන කටයුතු ගැනත් සඳහනක් කළොත්?
මම පාසල් ගියේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයට. අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන්නා. දැනට නර්තන කටයුතු හදාරනවා.

ආදරය සහ විවාහය ගැන ඔබ මොනවගේ අදහසක් ද දරන්නේ?
ආදරය සුන්දරයි. මව්පියන්ගේ ආදරය, සහෝදර සහෝදරියන්ගේ ආදරය, හැමදෙයක්ම සුන්දරයි.

ආදරය සම්බන්ධ ඔබට තියෙන්නේ සුන්දර මතකයක්ද අසුන්දර මතකයක්ද කියලා ඇහුවොත්?
ආදරය දැනට සුන්දරයි. තවම ආදරයක් පටන්ගෙන නෑ. දැනට ආදරය ගැන හිතලත් නෑ.

සාමාන්‍ය ජීවිතයේ දී ඉමල්ෂා මධුෂාණි කියන්නේ මොනවගේ කෙනෙක්ද?
ගොඩක් තැන්පත් කෙනෙක්. නර්තනයේ දී ඒ සඳහා අවශ්‍ය විදිහට නර්තනයේ යෙදෙනවා. එතනින් එහාට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නේ.

මේ දක්වා ඔබේ ජීවිතය දිහා ආපහු හැරිලා බැලුවොත් තියෙන්නේ ජයග්‍රාහී හැඟීමක්ද? පසුතැවීමක්ද?
ජයග්‍රාහී හැඟීමක් තියෙනවා. මම හිතපු නැති විදිහට තමයි මේ ජයග්‍රහණයත් ලැබුණේ. ඉතින් හැමදෙයම සාර්ථකයි. දුකට පත්වුණු අවස්ථා තියෙනවා. කටුක අත්දැකීම්වලට මුහුණදුන් අවස්ථා තියෙනවා. නමුත් ඒ තුළින් පසුබෑමට ලක්වුණේ නෑ. මම ඉදිරියටම ගියා.

නර්තන ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?
මම ගුවන් සේවිකාවක් වෙයි. දැන් ඒ බලාපොරොත්තුව නෑ. දැන් මම නර්තනයට ආසයි. මම නර්තනය ජීවිතයට අත්වැලක් කරගන්නවා.

හදිසියේ හෝ නර්තන ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න සිදුවුණොත්?
එහෙමවුණොත් වෙනත් රැකියාවක නිරතවෙනවා.
 
Related Posts with Thumbnails