Ads 468x60px

.

විවාහ වුණා කියලා තමන්ගේ රූපෙට තියෙන ආසාව, කැමැත්ත අයින් කරන්න එපා - විවාහක රූ රැජන ශ්‍රීමාලි

මගේ ඊළඟ බලාපොරොත්තුව විශ්ව රූ රැජන තරගයට සහභාගි වීම...

ජීවිතේ වෙනස් කළ ලොකුම සිදුවීම යි අම්මා කෙනෙක් වීම...

ඇය ශ්‍රීමාලි ෆොන්සේකා. වසර 27 කට පසු ආසියානු විවාහක රූ රැජන කිරුළ ලක්බිමට රැගෙන එන්නට පසුගියදා වාසනාව උදාකර ගත්තේ ශ්‍රී මාලියි. මීට පෙර විවාහක විශ්ව රූ රැජන ලෙස කිරුළ පැළැඳි රෝසි සේනානායකගෙන් පසුව ආසියානු විවාහක රූ රැජන කිරුළ රැගෙන එන්නට ඇයට හැකියාව උදාවුණා.



මේ තරගාවලියට යන්නට ශ්‍රීමාලිට අවස්ථාව උදා වෙන්නේ කොහොමද?
මුල් කාලයේ ඉඳලම නිරූපණයට මම ඉතාම කැමැතියි. රෝසි සේනානායක මහත්මියගෙන් පසුව මට විශාල බලාපොරොත්තුවක් තිබුණා මෙවැනි තරගයකට සහභාගි වෙන්න. එහෙම ඉන්න අතරෙදියි මට ලංකාවේ මෙවැනි තරගයක් තියෙන බවට දැනගන්න ලැබුණේ. 

ඒ අතරට අයැදුම් පතක් මම යොමුකළා. එතැනදි අයැදුම්පත් 150 ක් අතරින් අන්තිම 10 දෙනාට එන්නට මට පුළුවන් වුණා. ජුනි මාසේ 8 දා ගලදාරි හෝටලයේ පැවැති අවසන් තරගයෙන් ජයග්‍රහණය කළ පසුවයි මැලේසියාවේ ක්වාලාලම්පුර් පැවැති ආසියානු විවාහක රූ රැජන කිරුළ සඳහා සහභාගි වෙන්න ලැබුණේ.

හොඳයි මෙතැනදි ඔබට පැහැදිලිවම අභියෝගයක් තිබුණද?
ඔව්. රටවල් 12 ක තරගකාරියන් 24 දෙනෙක් සහභාගි වුණා. අන්තිම මොහොත දක්වාම සියලු දෙනාගෙම අවධානය තිබුණේ ජයග්‍රහණයට. විශේෂයෙන්ම සිංගප්පූරුවෙන් දැඩි තරගයක් තිබුණේ. ඔවුන්ට හැම පහසුකමක්ම තිබුණා. නමුත් මම එතැනදි අපේ උරුමය විදහා පාන අයුරින් කළ ඉදිරිපත් කිරීමට මට විශාල බලපෑමක් වුණා කියලා හිතෙනවා. 

විශේෂයෙන් ජාතික ඇඳුම, හාවායි ඇඳුම, ලාංකේය කුරුල්ලකු විදිහට කළ නර්තනයට ඒ අය පුදුම වුණා. ඒ වගේම අපේ ඉතිහාසය පිළිබඳව ඔවුන් දැනුවත් වුණා. ඒ සියල්ල මගේ මේ ජයග්‍රහණයට හේතු වෙන්න ඇති.

මේ ජයග්‍රහණය ගැන අද ඔබට මොකද හිතෙන්නේ.
මේ ජයග්‍රහණය මම ලබාගත්ත ජයග්‍රහණයක් කියලා හිතන්න මම කැමැති නැහැ. මේක අපේ රට ලබපු ජයග්‍රහණයක්. විශේෂයෙන් වාසනා දන්තනාරායන මහත්මිය හා R & V එන්ටර්ටේන්මන්ට්ස් ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන් නිසයි මේ ජයග්‍රහණයට යන්න අඩිතාලම උදා වුණේ. ඒ වගේම මගේ පවුලේ අය අවුරුදු අටක් වයස මගේ ‘නමලි’ දුව මට විශාල ශක්තියක් වුණා.

මේ තරගයේදී ජයග්‍රහණයට ඔබේ හැරවුම් ලක්‍ෂය වුණේ කුමක්ද කියලා මම ඇහැව්වොත්.
මම හිතන්නේ අන්තිම මොහොතේ විනිශ්චය මණ්ඩලය මගෙන් අහපු ප්‍රශ්නය වෙන්න ඕන. මොකද ලොකු තරගකාරිත්වයක් තිබුණේ. ඔවුන් මගෙන් ඇහැව්වේ ඔබේ ජීවිතේ වෙනස් කළ ලොකුම සිදුවීම කුමක්ද කියලයි. මම කිව්වේ අම්මා කෙනෙක් වීම කියලයි. ඔය වෙනකොට මගේ දුව හිටියා ප්‍රේක්‍ෂාගාරයේ. ඒ අය මගේ බබා දැක්කා. එයත් මගේ ජයග්‍රහණයට හේතු වෙන්න ඇති.

අවුරුදු 27 කට පසු ලැබූ ජයග්‍රහණයෙන් පසු ඒ අවශ්‍ය පිළිගැනීම ඔබට ලැබුණද?
ඇත්තටම ඔව්. මාධ්‍යවලින් පවා විශාල පිළිගැනීමක් ලැබුණා. මම හිතුවේ නැහැ එහෙම ලැබෙයි කියලා. කොහොම නමුත් ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙන්න ඕන.

මේ ජයග්‍රහණයත් එක්ක හෙට දවසේ මොකක්ද ඔබේ බලාපොරොත්තුව.
මම අම්මා කෙනෙක්. ඒ නිසා බොහෝ දුගී කුඩා දරුවන්ගේ සුබ සාධනයට යමක් කරන්න මගේ ලොකු ආශාවක් තියෙනවා. ඒ සමඟම මගේ ඊළඟ බලාපොරොත්තුව විශ්ව රූ රැජන තරගයට සහභාගි වීම. ඒ අතරම කලා කටයුතුවලට හැකි අයුරකින් දායක වෙන්නත් බලාපොරොත්තුක් තියෙනවා.

අනෙක් දේ මම හැම කාන්තාවකගෙන්ම ඉල්ලන්නේ විවාහ වුණා කියලා තමන්ගේ රූපෙට තියෙන ආසාව, කැමැත්ත අයින් කරන්න එපා. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ රූපය සුන්දරව තියාගන්න. එහෙම වුණොත් ඉදිරියටත් අපේ රටට මෙවන් ජයග්‍රහණ අත්කර දෙන්න අපට පුළුවන් වේවි.
 
Related Posts with Thumbnails