Ads 468x60px

.

විස්‌සයි - 20 ලෝක කුසලානය කණ්‌ඩායමෙන් ගිලිහුණු හේතුව මහේල කියයි...

අපි තරගයේ 12 වැනි ඕවරය වෙන තෙක්‌ හොඳට සෙල්ලම් කළා..

ඉනිම මැදදී දැනුනු පීඩනය දරාගන්න බැරිවුණා - මහේල

අපේ සැලසුම් සියල්ල සාර්ථක වුණා - ඩැරන්

අවශ්‍යම උඩපන්දුවක්‌ ගිලිහී යැම සහ ඉනිම මැද ක්‍රියාත්මක වුණු පන්දුවාර 3 කදී ප්‍රතිවාදීන් වැඩි ලකුණු ප්‍රමාණයක්‌ රැස්‌කර ගැනීමට සමත්වීම පන්දුවාර විස්‌සයි-20 ලෝක කුසලාන තම කණ්‌ඩායමෙන් ගිලිහී යැමට ප්‍රධාන වූ බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසනවා.

ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් සිව්වැනි වරටත් පවත්වන ලද පන්දුවාර විස්‌සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී කොදෙව් කණ්‌ඩායම හමුවේ ලකුණු 36 ක පරාජයක්‌ ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමට සිදුවූ අතර එම තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස්‌ පළ කර සිටිනවා.


'මං හිතන්නේ අපි තරගයේ 12 වැනි ඕවරය වෙන තෙක්‌ හොඳට සෙල්ලම් කළා. එහිදී භාග උඩපන්දුවක්‌ අපේ අතින් ගිලිහී ගියා. ඒ වගේම ඔවුන් ඊළඟ පන්දුවාර 3 දී ගොඩක්‌ හොඳට සෙල්ලම් කළා. එතැනින් වැටිච්ච පීඩනයෙන් අපිට ගොඩ ඒමට නොහැකි වීම තමයි මං හිතන විදියට මේ තරගය පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව යනුවෙන් මහේල සඳහන් කළේය.

ඒ අවස්‌ථාවෙන් පස්‌සේ අජන්ත ඇවිල්ලා හොඳ ඕවරයක්‌ යෑව්වා. එහිදී කඩුලු 2 ක්‌ දවා ගෙන අපි නැවතත් තරගයට ආවා. නමුත් ඒ වැඩිවෙච්ච ලකුණු 20-30 තමයි මේ තරගය පරාජයට පත්වීමේ වෙනස්‌ වශයෙන් සඳහන් කරන ජයවර්ධන, කොදෙව් ඉනිම ලකුණු 110-120 ක අගයකට සීමා කර ගැනීමට අවස්‌ථාව තිබුණේ නම් හොඳ තරගයක්‌ දීමට අවස්‌ථාව තිබුණ බවද අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම තරගාවලියට පෙර ජගත් ලෝක කුසලාන තරගාවලිවල අවසන් මහ තරග අවස්‌ථා 3 කට සුදුසුකම් ලබමින් අනුශූරතාවයෙන් පමණක්‌ සෑහීමකට පත්වුවද ඒ සෑම අවසන් මහ තරගයක්‌ම පවත්වා තිබුණේ තම මව්බිමෙන් පිටතදීය. 


එහෙත් මෙවර තරගාවලියේදී සත්කාරක රට වශයෙන් හිමි සියලුම වරප්‍රසාද ශ්‍රී ලංකා කණ්‌ඩායම සතු වුවද එහිදී ද අනුශූරතාවෙන් පමණක්‌ සෑහීමට පත්වීම තරමක්‌ කනස්‌සල්ලක්‌ එක්‌ කරන්නක්‌ බවට පත්විය.

2007 වසරේදී කොදෙව් දූපත්වලදී පැවැති ලෝක කුසලාන තරගාවලිය, 2009 වසරේ එංගලන්තය සමග පැවැති විස්‌සයි-20 ලෝක කුසලාන සහ 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ මුම්බායිහි පැවැති අවසන් මහ තරග එලෙස ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටතදී පරාජයට පත් වූ තරගාවලි විය.

එකම හේතුවක්‌ කියලා කියන්න අමාරුයි. මං හිතන්නේ ඒ ගැන අපි ටිකක්‌ හිතන්න ඕන දෙයක්‌. අපි තරගාවලිය පුරාම හොඳට සෙල්ලම් කළත් අවසන් තරගයේදී අසාර්ථක වෙනවා. ඉස්‌සෙල්ල සහභාගි වුණු අවසන් මහ තරගවලදී අපි එතරම් හොඳ ආරම්භයක්‌ ලබා ගත්තෙ නැහැ. නමුත් මේ තරගයේදි ගොඩක්‌ හොඳ ආරම්භයක්‌ ලබා ගත්තා. 


පීඩනයක්‌ එල්ල වෙච්ච වෙලාවේ අපි ඒ තරම් ඒ දේවල් හොඳින් හසුරුව ගත්තෙ නැහැ. ඒ සියලු වැරැදි වුණාම අවසාන මහ තරග වගේ ලොකු තරග අප අතන් ගිලිහිලා තියෙනවා. මං හිතන්නේ ඒ දේම තමයි අපිට මේ තරගයෙදිත් සිදුවුණේ යනුවෙන් ඒ පිළිබඳ මහේල කරුණු පැහැදිළි කළේය.

පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරන ලද නුවන් කුලසේකරට සහ අකිල ධනංජයට පන්දු යෑවීම වෙනුවෙන් පන්දුවාරය බැගින් ඉතිරිව තිබුණ ද ඔවුන්ගේ සහාය ලබාගන්නවා වෙනුවට මෙවර තරගාවලියේ වැඩිම ප්‍රහාරයකට ගොදුරු වූ ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ ලසිත් මාලිංගව දිගින් දිගටම යොදා ගැනීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කළේ ඇයිද යන්න පිළිබඳවද ශ්‍රී ලංකා නායකයාගෙන් ප්‍රශ්න කරන ලදුව...

මං හිතුවේ මාලිංග හරහා කඩුල්ලක්‌ දවා ගන්න ඒ වෙලාවෙ අවස්‌ථාව තියෙයි කියලා. නුවර පැවැති තරගයේදී මාලිංගගේ පන්දු හමුවේ මාලන්(සැමුවෙල්ස්‌) එතරම් හොඳට සෙල්ලම් කළේ නැති නිසයි මම ඒ වෙලාවෙ ඔහුව පන්දු යෑවීමට යොමු කළේ. ඒ ගැනත් හිතලා තමයි ඒ වෙලාවේ මාලිංගට මම පන්දුව ලබා දුන්නේ යනුවෙන් මහේල පැවැසීය.

මෙම තරගයේදී මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 තුළදී ලකුණු 54 ක්‌ ලබා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ. අදාළ පන්දු යෑවීම මාලිංගගේ විස්‌සයි-20 තරග දිවියේ නීරසම පන්දු යෑවීම වශයෙන්ද සටහන් විය. මෙහිදී සිය පළමු පන්දුවාරය ලකුණු 4 ක්‌ පමණක්‌ ලබා දෙමින් අවසන් කිරීමට මාලිංග සමත් වුවත්, දෙවැනි (13 වැනි පන්දුවාරය), තෙවැනි (17 වැනි පන්දුවාරය සහ සිව්වැනි (19 වැනි පන්දුවාරය) පන්දුවාරවලදී පිළිවෙළින් ලකුණු 21, 19 සහ 10 වශයෙන් මාලිංගව දැඩි ප්‍රහාරයකට ලක්‌ කිරීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ.

අධි තක්‌සේරුවක්‌ කියලා මං හිතන්නේ නැහැ. මොකද අපි හොඳ මානසිකත්වයකින් මේ තරගය පටන් ගත්තේ. කලිනුත් කිව්වා වගේ පීඩනයක්‌ එල්ල වුණු මැද අවස්‌ථාවේදී අපිට ඒ දේ පාලනය කරගන්න බැරි වුණා. අපි අතරින් ලකුණු 20-30 ක්‌ විතර වැඩිපුර ගියා වශයෙන් තරග පරාජයේ මූලික වගකීම අධි තක්‌සේරුවද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී ජයවර්ධන කරුණු ගෙනහැර පෑවේය.

කොදෙව් අන්තිම පන්දුවාර 8 දී ඔවුන් ලකුණු 90 ක්‌ ලබා ගත්තා. එය ඔවුන්ට හොඳ ගැම්මක්‌ වුණා. ඔවුන්ට ඒ දේ පවත්වාගෙන යැම සඳහා විශ්වාසයක්‌ තිබුණා. අපිත් අපේ උපරිමයෙන් කළා. අපේ පන්දු යවන්නන් ඔවුන්ගේ උපරිමයෙන්ම යුතුකකම් ඉටු කළා. ඒ අංශයෙන් අපි සෑහෙන තරම් ඉදිරියෙන් සිටියා. එහෙත් ඒ වගේ දෙයක්‌ පවත්වාගෙන යන්න අපේ පිතිකරණයට නොහැකි වුණා. සමස්‌තයක්‌ හැටියට ඔවුන් මේ තරගයේදී අපි කළාට වඩා හොඳින් තරගයට ක්‍රීඩා කළා යනුවෙන් ජයවර්ධන සඳහන් කළේය.

මේ අතර තමන් විසින් සකසන ලද සියලු සැලසුම් ඒ අයුරින්ම සාර්ථක වීම මත ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති අවසන් මහ තරගය ජය ගැනීමට මූලික වූ බව විස්‌සයි-20 ලෝක කුසලාන දිනූ බටහිර ඉන්දිය කොදෙව් නායක ඩැරන් සමී සඳහන් කළේය.

මම මේ තරගය පටන් ගැනිමට කළින්ම කිව්වේ අපි මේ තරගයට එන්නේ ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ක්‍රීඩා කරපු තරගයටත් වඩා හොඳින් කියලා. අපි ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව උපරිමයෙන් කළා වගේම මේ තරගයේදී අපෙන් ලබාදිය හැකි උපරිම සේවයම කණ්‌ඩායමට ලබා දුන්නා. එය මේ වන විට යථාර්ථයක්‌ බවට පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ සැලසුම් සියල්ල ඒ අයුරින්ම සාර්ථකයි වශයෙන් සඳහන් කළේය.

ඉතාමත් විනෝදයෙන් පසුවන ක්‍රීඩකයකු ලෙස සැලකෙන ඩැරන් සමී මෙම මාධ්‍ය හමුවේදී සිය රටෙහි ජාතික ධජයද සිය ඇඟ වටා ඔතාගෙන මෙම මාධ්‍ය හමුවට පැමිණීමද විශේෂත්වයක්‌ විය.

මෙම ජයග්‍රහණය කොදෙව් ක්‍රිකට්‌ රසිකයන් බලාපොරොත්තු වූ තරග ජයග්‍රහණයක්‌ බවත් ඒ හරහා රටේ සියලුම ජනතාව මෙම ජයග්‍රහණය ජය පැන් භුක්‌ති විඳිනවාය යන්න තම විශ්වාසය බවද ඩැරන් සමී මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අවස්‌ථාව අමතක නොවන එකක්‌ වේවි කියලා මට විශ්වාසයි. මෙම ජයග්‍රහණයත් සමග අපිට යළිත් ජීවයක්‌ ඇතිවුණා වගෙයි දැනෙන්නේ. මෙය තමයි මගේ ක්‍රිකට්‌ දිවියේ වඩාත් වැදගත්ම අවස්‌ථාව. මෙම කුසලාන කැරීබියානු වැසියන් වෙනුවෙනුයි. මේ ජයග්‍රහණය ලෝකයේ විසිරී සිටින සියලුම කොදෙව් ක්‍රිකට්‌ රසිකයන් විශාල වශයෙන් බලාපොරොත්තු වුණු දෙයක්‌. මම දන්නවා මේ ජයග්‍රහණය ජැමෙයිකාවේ සිට ගයානා දක්‌වා වූ සියලුම වැසියන් සමරනු ලබන බව යනුවෙන් සමී පැවැසීය.

අදහස්‌ දක්‌වන අවස්‌ථාවේදී දිනා ගන්නා ලද ශූරතාවද තුරුලු කරගෙන හෙතෙම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස්‌ දැක්‌වීය. එහිදී ප්‍රථමයෙන් ම ප්‍රශ්නය නගන ලද මාධ්‍යවේදියාට මේ කුසලාන විශාල නිසා මට ඔබව පේන්නේ නැහැයි වශයෙන් විහිලුවකින්ම අදහස්‌ දැක්‌වීම ආරම්භ කළේය.

1975 වසරේදී සහ 1979 වසරේදී ක්‌ලයිව් ලොයිඩ් නායකත්වයෙන් පසු ගෙවී ගිය වසර 33 ක කාලයකදී ජගත් මට්‌ටමේ ජයග්‍රහණයක්‌ ලබා ගත් පළමු අවස්‌ථාව වශයෙන් කොදෙව්වන් පෙරේදා (07 දා) ලද ජයග්‍රහණය හැඳින්විය හැක. ඔවුන් ඉකුත් 2004 වසරේ එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලිය එංගලන්තය පරාජය කරමින් ජය ගැනීමට හැකි වුවත් එය ලෝක කුසලාන තරගාවලියක මට්‌ටමේ එකක්‌ නොවීම මත මෙම ජයග්‍රහණයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවනු ඇත.

විස්‌තර විචාරකයෙක්‌ට ගෙවන්නේ ඔවුන් කතා කරන නිසා. මාධ්‍යට ගෙවන්නේ ඔවුන් ලියන ලිපි නිසා. මට ගෙවන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන නිසා. ඒ නිසා විවේචන ඕනෑම අවස්‌ථාවක එන්න පුලුවන්. සමහරෙක්‌ කියන්න පුලුවන් අපේ අතින් අද තරගයේදී වැරැදි සිදුවුණා කියලා. නමුත් කොහොම හරි අපි අද තරගය ජය ගත්තා. ඒ නිසා එය මාව කනගාටුවට පත් කරන්නක්‌ වෙන්නේ නැහැ. එහිදී වඩාත්ම වැදගත්වන්නේ කණ්‌ඩායම හොඳින් තරග කරනවාද කියන එකයි යනුවෙන් තම ජයග්‍රහණය පිළිබඳව සමී අදහස්‌ දැක්‌වීය.

අපේ පුහුණුකරු කිව්වා පල්ලකැලේ ලබාගත්ත ලකුණු සංඛ්‍යාව මේ තරගයේදී (කඩුලු 5 ක්‌ දැවී ලකුණු 129 ක්‌) ලබා ගත්තොත් අපිට තරගය ජය ගත හැකි වේවි කියලා වශයෙන් සඳහන් කළ සමී ඒ අනුව අපි අපේ පන්දු යෑවීමට වඩා පන්දුවට පහර දීම බලගැන්වීමට කටයුතු කළා. අද ඩ්වයින් බ්‍රාවෝගේ උපන් දිනය. මම ඔහුට කිව්වේ අපි මේ තරගය හොඳින් කළ යුතුයි කියලා. එහිදී ඔහු කිව්වේ අපි අපේ උපරිමයම මෙම තරගයට ලබා දෙමු කියලා. අපි ඒක කළොත් මේ ලකුණු සංඛ්‍යාව සටනක්‌ දිය හැකි ලකුණු සංඛ්‍යාවක්‌ වන බව අපි දැනගෙන සිටියා යනුවෙන් වැඩි දුරටත් ඩැරන් සමී පැවැසීය.



අප පැරදුණේ  පන්දු යෑවීමේ දුර්වලතා නිසා...
 
පන්දු යෑවීමේදී ඇති වූ දුර්වලතා නිසා අපට ලබාගැනීමට හැකිව තිබූ සුවිශේෂ ජයග්‍රහණයක්‌ අහිමි වුණා යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.

ජයග්‍රහණය අහිමිවීම පිළිබඳව නායකත්වයට පමණක්‌ දොස්‌ නැගීම වැරදියි. කණ්‌ඩායම් වගකීම කණ්‌ඩායමේ හැම කෙනකුම ගත යුතුයි. අපේ ජයග්‍රහණය පෙනි පෙනිත් අපිට ඒ අවස්‌ථාව අහිමි වීම කනගාටුවට කරුණක්‌ යෑයි ද ජයසූරිය මහතා වැඩිදුරටත් පවසයි.
 
 
Related Posts with Thumbnails