Ads 468x60px

.

ක්‍රිකට්‌ පරාජය ගැන ශෝකයෙන් හැටන් තරුණයා කාමරේ බාල්කයේ එල්ලුනේ මෙහෙමයි...

ක්‍රිකට්‌ තරගය රූපවාහිනියෙන් නරඹා නිවසට ඇවිත් දොරඅගුළු දාගත්තා...  

පස්‌සේ ගිහින් බලනකොට පුතා සාරියකින් බාල්කයක එල්ලිලා ඉන්නවා දැක්‌කා...මව කියයි

පෙරේදා අවසන් වූ 20/20 ලෝක කුසලාන අවසන් ක්‍රිකට්‌ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පරාජය දරාගත නොහැකිව හැටන් කුඩාඔය ප්‍රදේශයේ විසිහය හැවිරිදි අවිවාහක තරුණයෙක්‌ පෙරේදා (7 දා) රාත්‍රි සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස්‌ තිබුනා.

මෙසේ මියගොස්‌ ඇත්තේ හැටන් කුඩාඔය වත්තේ මහෙන්ද්‍රන් සුරේන්ද්‍රන්
නම් අවිවාහක තරුණයෙකු වන අතර. ඔහුගේ මව වන රත්නම් රාඡේෂ්වරී මෙසේ කියා සිටිනවා.


මියගොස්‌ සිටින මගේ පුතා අවිවාහකයි. ඔහු කුඩාඔය ගල් වළේ වැඩ කරනවා. සිද්ධියවූ දවසේ උදේ 8.00 ට ගල් වළේ වැඩට ගිහින් 1.00 ට ගෙදරට ආවා. කෑම කාලා 2.00 විතර ආයෙත් වැඩට ගියා. වැඩ අවසන් කර හවස 5.00 ට විතර නැවත ගෙදර ආවා. 


මොහු අසල ගෙදරක රූපවාහිනියකින් ක්‍රිකට්‌ තරගය නැරඹුවා. එදා රෑ 11.30 ට විතර ගෙදර ආවා. එවිට පුතා මත්පැන් බීලයි හිටියේ. එයා මගේ සැමියයි, දුවයි, මාවයි ගෙදරින් එළියට පිටත් කරලා දොරවල් වහලා ලොක්‌ කර ගත්තා. පැය භාගයකට විතර පස්‌සේ ළඟ ගෙදරක ඉඳලා ගෙදර ළඟට ඇවිත් දොරට ගැහුවත් ඇරියේ නෑ. 

පස්‌සේ අපි පිටිපස්‌සෙන් ජනේලය ගලවලා ගේ ඇතුළට ගිහින් බලන කොට පුතා සාරියකින් නිදන කාමරේ බාල්කයක එල්ලිලා ඉන්නවා දැක්‌කා. දුව කෑගහල පිහියෙන් සාරිය කපලා වත්තේ කීප දෙනෙක්‌ සමග ත්‍රීවීල් එකකින් දික්‌ඔය දිසා රෝහලට ගෙන ගියා. 

රෝහලට යන විටත් පුතා මියගිහින් හිටියේ. පුතා හරිම නිමිච්ච අයෙක්‌. කාටවත් කරදරයක්‌ නෑ. ක්‍රිකට්‌ තරග නැරඹීම එයාගේ විනෝදාංශයක්‌ වුණා. මේ මරණය ගැන සැකයක්‌ නෑ.

මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් කුඩාඔය තේවත්තේ පදිංචිකරුවන් කියා සිටියේ මොහු දැඩි ක්‍රිකට්‌ ලෝලියෙක්‌ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට දැඩි ලෙස ගෞරවයක්‌ හා ආදරයක්‌ දැක්‌වූ අයෙක්‌ බවත්ය.
 
Related Posts with Thumbnails