Ads 468x60px

.

එකට කා බී තම සගයා මරාදමා සිරුර කෑලි හතකට කපා කැලෑවක පුච්චලා...

ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹන්නට ගාලූ මුවදොර පිටියට යන බව කියා පිටත්ව ගිය ජනක එදා රෑ කොහි ගියේද...?

'මට උඹලට සල්ලි දෙන්න බෑ..ගුණමකුවො මගෙ සල්ලි හොරකං කළාට මං පොලිසි යනව..' ජනක කෑ ගහලා...

ප්‍රදේශවාසීන් බාගෙට පිළිස්සුණ මළ සිරුරක් දැකලා...

ඥාතීන් මෙම සිරුර අතුරුදන්වූ ජනකගේ බව හඳුනාගනී...

තමන් සමග එකට කන බොන සගයා මරා දමා සිරුර කෑලි හතකට කපා කැලෑවක පුළුස්සා සගවන්නට තැත්කළ යහළුවන් පිරිසක් ගැන බිය උපදවන කතාවක් පසුගිය සතියේ කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ ආකාරයට ඝාතනයට ලක්වූයේ 30 හැවිරිදි ජනක මංජුල නමැති කටුනායක ගුවන්තොටුපළේ ඩියුටි ෆ්‍රී සාප්පුවක සේවය කරන තරුණයෙකි.

පසුගිය 9 වනදා ඉහළ බියන්විල තේවත්ත පාරේ උදෑසන ඇවිද ගිය පුද්ගලයින්ට කැබලිවී ගිය මළ සිරුරක්

පිළිස්සී තිඛෙනු දැකගන්නට ලැබුණා. මේ ගැන පොලිසියට දන්වා පොලිසිය ඔහු ගැන සොයාබලන අතර තම අතුරුදන්වූ පුත්‍රයා සොයා පවුලේ උදවිය පැමිණ මේ ජනක මංජුල බව හඳුනාගත්තා.

රාගම පොලිසිය මේ මිනීමැරුම ගැන පරීක්ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුවයි. පසුගිය 7 වනදා ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹන්නට ගාලූ මුවදොර පිටියට යන බව කියා පිටත්ව ගොස් සිටි ජනකගෙන් කිසි ආරංචියක් නොවූ බව නිවැසියන් දන්වා තිබුණා. ඔහුගේ මළ සිරුර හමුවූයේ එයින් දින දෙකකට පසුය.

පොලිසිය ජනකගේ ජංගම දුරකතන අංකය ඔස්සේ ඔහු ලබාගත් ඇමතුම් හා ඔහුගේ දුරකතනයේ සිග්නල් කලාපය ගැන වාර්තාවක් ලබාගත් අතර ඔහු කොළඹ ගාලූමුවදොර පිටියට ගොස් නැති බව සොයාගත්තා.එසේ නම් ඔහු එදා රෑ කොහි ගියේද?


දුරකතන සිග්නල් අනුව පෙනී ගියේ ඔහු එදා රෑ සිට ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ බවය. ජනකට කිරිබත්ගොඩ මිතුරන් සිටින බවද පොලිසිය සොයාගත්තා.

ජනකට සිට ඇත්තේ හොඳ මිතුරන් නොවේ. ඔවුන් සමග එදා කිසියම් පළහිලව්වක් ඇතිවූයේද යන්න පොලිසියට සැක මතු වුණා. කිරිබත්ගොඩ අවන්හලක සේවය කළ ජනකගේ මිතුරෙකු සමග ඔහු මත්පැන් පානය කරමින් එදා රෑ සිටි බවට ලැබුණ සාක්කියක් ඔස්සේ එම මිතුරාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළා. 


ඔහු කිව්වේ එදා රෑ ජනක තමා හමුවන්නට ආ බව ඇත්තක් බවයි. තම නවාතැන්පොළේදී එදා මත්පැන් සාදයක් පැවති බවත් එය නිමවී ජනක නිවසට යන බව කියා ගියත් එයින් පසු සිද්ධවූ දේ ගැන තමා නොදන්නා බවත් ඔහු කිව්වා.

කෙසේ වෙතත් මේ පුද්ගලයා සැක සිතෙන ආකාරයට පිළිතුරු දෙන බව දැනගත් පොලිසිය ඔහුව දැඩි ප්‍රශ්න කිරීම් වලට භාජනය කළ අතර ඒ අනුව ඔහු මිනීමැරුම ගැන පාපොච්චාරණය කළා.


තමන් ඥාතියෙකුගේ අවන්හලක සේවය කරන බවත් එයට යාබද දෙමහල් නිවසේ තමා නවාතැන්ගෙන සිටින බවත් ඔහු කියා සිටි අතර එහි බොහෝ දිනවල රාත්‍රියට මිතුරන් සමග මත්පැන් සාද දැමීම සිරිතක්වී තිබුණ බවත් ඔහු කිව්වා. මේවායේදී බොහෝවිට වියදම් දරන්නේ ජනක බවත් මිතුරන් අතර සිටි පෝසතා ඔහු බවත් කියා සිටියා.

එදා රෑ ජනකත් තවත් මිතුරන් තුන් දෙනෙකුත් තමා සමග මත්පැන් පානය කරන්නට ආ බව කියූ ඔහු තමාගේ මුදල් ප්‍රශ්නයකට මුදල් ඕනෑවී තමා ජනකගෙන් ඉල්ලා සිටියත් ඔහු එදා එයට කන් නොදුන් බව කියා සිටියා. ජනකගේ ගෙලෙහි බැඳි පවුම් එකහමාරේ රන් මාලය සොරගෙන මුදල් ප්‍රශ්නය විසඳන්නට හැකි බව ඔහු කල්පණා කර ඇත්තේ ඉන් පසුය. ණයට මුදල්දීමට අකමැති මිතුරාගෙන් රන් මාලය ලබාගත යුත්තේ කොල්ලකෑමෙන් බව ඔහු සිතා තිඛෙනවා.

මේ ගැන අනෙක් මිතුරන් සමගද කතා කර අධික ලෙස ජනකට මත්පැන් පොවා කොල්ලය සිදු කරන්නට ඔවුන් උත්සාහ කර ඇති අතර වෙරිමත්වූ ජනකගේ මාලයත් මුදල් පසුම්බියත් ඉහළ මාලයේදී කොල්ල කෑමෙන් පසු පසුම්බිය බලද්දී එහි එතරම් මුදල් නොතිබි නිසා බැංකු කාඩ්පත්වලින් මුදල් රැගෙන දෙන ලෙස ජනකට බලකර තිඛෙනවා. මේ අවස්ථාවේ කෝපයට පත් ජනක 'මට උඹලට සල්ලි දෙන්න බෑ..ගුණමකුවො මගෙ සල්ලි හොරකං කළාට මං පොලිසි යනව..' ආදී ලෙස කෑ ගසා තිඛෙනවා.

බීමත්ව සිටි අනෙක් මිතුරන්ටත් මේ අවස්ථාවේ කේන්ති ගොස් ඇති අතර ඔහුට පහරදෙමින් මහත් කලබගෑනියක් ඇතිව තිඛෙනවා. මේ අතරවාරයේ මුදල් හා රන් බඩු කොල්ලකෑම දුරදිග යනු ඇතැයි බියෙන් සිටි අවන්හලේ මිතුරා ක්ෂණික කෝපයෙන් නවාතැන්පොලේ කුස්සියට දිවගොස් අතට හසුවූ මස් කපන පිහිය රැගෙන විත් එය එක්වරම ජනකගේ ඉණට ඇන දමා තිඛෙනවා. කෑ ගසා ඇද වැටුණ ජනකට තවත් පහර පිට පහරදී ඔහු මිය යන තුරු කැපුම් කෙටුම් සිදු කරන ලද පිරිස එතැනින් ඉවත්ව ගොස් තිඛෙන්නේ සිරුර නවාතැන්පොලේ සගවාය.

පසුදා උදෑසන වනවිට මිනීමැරුම අසුවේය යන බිය ඇතිවූ පසු මළ සිරුර මෙතැනින් ඉවතට ගැනීම ප්‍රශ්නයක් බව කල්පනා කළ මිතුරන් හතර දෙනා එයට උපායක් ලෙස සිතා ඇත්තේ සිරුර කොටස්වලට කපා පොහොර උරවලට දමා පිටතට ගෙන යන්නටය.

එදා රෑ වනතුරු සිටි ඔවුන් පිහි තුනක් කඩෙන් මිලටගෙන සිරුර සත්කඩකට කපා පොහොර උරවලට බහා තිඛෙනවා. 'රෙන්ට් අ කාර් ස්ථානයකින් වාහනයක් තාවකාලිකව මිලට ගත් ඔවුන් එය ගොඩනැගිල්ලේ පහළ නවතා මහ රෑ එකට පමණ පොහොර උර ටික එම වාහනයේ ඩිකියට පටවා තිඛෙනවා. අනතුරුව පාළු ස්ථානයක් සොයාගෙන වාහනය පැදවූ ඔවුන්ට තේවත්ත පාරේ සොයිසා නිවාස ඉදිරිපිට පාර අයිනට පැමිණ සිරුරු කොටස් සහිත පොහොර උර ටික එතැනට දමා පෙට්‍රල් වත් කර ගිනි තබා පළාගොස් තිබුණා. මෙම සිද්ධිය වූයේ රෑ එකහමාරට පමණය.

බාගෙට පිළිස්සුණ මළ සිරුර ප්‍රදේශවාසීන් දැකගත්තේ පසුදා උදයේය. මෙම සිරුර කාගෙද යන්න ගැන සොයා එය අතුරුදන්වූ ජනකගේ බව හඳුනාගන්නට ඥාතීන් සමත්වීම නිසා මිනීමැරුමේ සුලමුල හෙළිවුණා.

අවන්හලේ තරුණයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් ප්‍රදේශයේ නමගිය මැර පිරිසක් බවද පොලිසියට තොරතුරු ලැබුණා. ගංජා හා මත්පැන් පානය නිසා ඔවුන් නිරන්තරයෙන් සමාජ විරෝධී වැඩ කරන බවත් ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ රැකවරණය නිසා කිසිදු බියක් නැතිව මේ ආකාරයේ විෂමාචාරයන්හි නිරතවන බවත් වාර්තා වුණා.

සැකකරුවන් ගැන තවදුරටත් පොලිස් පරීක්ෂන පැවැත්වෙන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails