Ads 468x60px

.

සභාපති කිව්වට ළිංවලට බදු පනවන්නේ නෑ - ඇමති දිනේෂ් කියයි

අපේම ගම්වැසියන් හදාගන්න ළිංවලට බදු පනවන්න අපි ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ නෑ...

නිලධාරීන්ගේ මෙවැනි උපක්‍රම පරාජය කිරීමට මම කැපවී සිටිනවා...

ජල ළිංවලට බද්දක් පනවන බවට ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා විසින් කරනු ලැබ ඇති ප්‍රකාශය ආණ්ඩුවේ නිළ මතය නොවන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අඩි 12 කට වැඩි විෂ්කම්භයකින් යුත් ජල ළිංවලට රුපියල් 7500 සිට 15,000 දක්වා වාර්ෂික බද්දක් පනවන බව සභාපතිවරයා 'ඩේලි මිරර්' පත්‍රයට පවසා තිබුනා.


ජල සම්පත් මණ්ඩලය තම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් නොවන නමුත්, එසේ බදු අයකිරීම ශ්‍රී ලංකාවේ මහජනතාව දැඩි අපහසුකාරී තත්ත්වයකට ඇද දමන්නක් බව ඇමතිවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

භූගත ජලය සහ වන සම්පත ආරක්ෂා කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍ය බව පිළිගන්නා ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, කෙසේ නමුත් එවැනි වැඩ පිළිවෙලකින් තොරව ජලය සඳහා බද්දක් පැනවීම ශ්‍රී ලංකාව වැනි ග්‍රාමීය ජන කොටසක් වෙසෙන රටකට කිසි ලෙසකින් වත් යෝග්‍ය නොවන බවද සඳහන් කළේය.

දැනට විදේශගතව සිටින විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවා සභාපතිවරයා ගේ ප්‍රකාශය පිළිබඳව පුදුමය පළ කළ බවත්, එය නිවැරදි කරන මෙන් සභාපතිවරයාට උපදෙස් දුන්නේ යයි තමන්ට දැනුම් දුන් බවත් අමාත්‍ය ගුණවර්ධන සඳහන් කළේය.

"ලෝක බැංකුව විවිධ අවස්ථාවල විවිධ යෝජනා කරලා තිබෙනවා. රජයක් හැටියට අපි ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ නෑ අප වැනි ග්‍රාමීය, කෘෂිකාර්මික රටවල් හැටියට භූගත ජලය, අපේම ගම්වැසියන් හදාගන්න ළිංවලට බදු පනවන්න," බව ද ඇමතිවරයා කියා සිටියේය.

"ජනතාවාදී රජයක් ලෙසින්" නිලධාරීන්ගේ මෙවැනි උපක්‍රම පරාජය කිරීමට තමන් කැපවී සිටින බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
 
Related Posts with Thumbnails