Ads 468x60px

.

ඇල්පිටිය පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මියගියේ ක්‍ෂණික කෝපය නිසාද...


පපුවට වෙඩි තබාගත් මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා...

ක්‍ෂණික කෝපය කෙතරම් දුරදිග යන්නේද යන්නට මෙය හොඳ සාක්‌ෂියක්‌ සපයන කතාවකි. ක්‍ෂණික කෝපය සමග ආයුධයක්‌ ද ළඟ තිබුණහොත් එය විනාශයට ඉතා ළඟ උදව්වකි.

බී. ඩී. එල්. එල්. බුදාගොඩ මහතා දක්‌ෂ පොලිස්‌ නිලධාරියෙකි. 

ඔහු නිල බලයට ධන බලයට හිස නොනැමූ නිලධාරියෙකි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔහු අනුගමනය කළේ නීතියම මිස අනෙකක්‌ නොවේ. 

ඔහු සල්ලිකාරයන්ට යට වූ නිලධාරියකු නොවේ. එය ඔහු කලක්‌ සේවය කළ බේරුවල පොලිස්‌ බල ප්‍රදේශයේ ජනතාව දනී.

ඔහුගේ අලුත් රාජකාරි ස්‌ථානය වූයේ ඇල්පිටියයි. ඔහු ඇල්පිටියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා විය. බුදාගොඩ මහතා පදිංචිව සිටියේ ඇල්පිටිය පොලිස්‌ නිවාසවලය. එදින ඔහුගේ බිරිඳ ද බිරිඳගේ මව්පියෝද දරුවෝද එම නිල නිවාසයට පැමිණ සිටියහ.

මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා එදින රෑ බෝවන තුරු සිටියේ
රාජකාරියේය. බීමත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පිළිබඳ සටහන් තැබීම අවසන් වන තෙක්‌ හේ පොලිසියේ රැඳී සිටියේය. රාජකාරි අවසන් කොට ඔහු නිල නිවස්‌නයට එන විට රාත්‍රි අටට පමණ විය.

සැමියා සහ බිරිඳ අතර වචන හුවමාරු වීම් සරල ස්‌වාභාවික සිදුවීම්ය. බිරිඳ පොලිස්‌ පරීක්‌ෂකවරයා සමග කෙටි බහින් බස්‌ වීමක්‌ සිදුවී ඇත. 

එම බහින් බස්‌ වීම නිල නිවසේ සිටි දියණියකටද ඇසී ඇත.

අඹු සැමි ජෝඩු බත් හැලිය ඉදෙන තුරු පමණකැයි කියමනක්‌ තිබේ. නමුත් මෙම බහින් බස්‌ වීම අවසන් වූයේ බත් හැලිය ඉදෙන්නටත් පෙර ඉතා ශෝචනීය විදියටය.

කෝපයට පත් මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා ක්‍ෂණිකව තම රාජකාරි ගිනි අවිය සිය පපුවට තබා වෙඩි තබා ගත්තේය. අවසාන ප්‍රතිඵලය වුණේ මරණයයි.

බහින් බස්‌ වීම කුමක්‌ දැයි අපි නොදනිමු. කෝපයද සාධාරණ විය හැක. නමුත් කෝපය යනු ස්‌වල්ප වේලාවකින් නිවීයන දෙයකි. නමුත් නැග ආ කෝපය සමග ආයුධයක්‌ද තිබුණෙන් බුදාගොඩ මහතා ක්‍ෂණයකින් වෙඩි තබා ගත්තේය.

කෝපය සිහි බුද්ධිය විකල්ප කරයි. ආයුධ ඊට තවත් උදව් සපයයි. මෙතැනදී සිදුවී ඇත්තේ එයයි. කෙතරම් කෝපයට පත්වූවද ආයුධයක්‌ ළඟ නොතිබුණා නම් මේ මරණය නොවන්නට ඉඩ තිබිණි.

අවසානයේ සිදුවී ඇත්තේ කුමක්‌ද?

දියණියන්ම තිදෙනකු අනාථ වීමය. ඔහුගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු හතකි. දෙවැනියාගේ වයස අවුරුදු පහකි. බාල දියණිය පෙර පාසල් අවධියේ පසුවන දැරියකි.

මෙහෙම තනි වූයේ බිරිඳක්‌ සහ දියණියන් තිදෙනෙකි. සැමියකු පියකු නැති පවුලක්‌ පමණක්‌ මෙහෙම තනි වූහ.

එපමණක්‌ද...? 

මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා මියගියේ රාජකාරියේදී නොවේ. එමෙන්ම එය සිය දිවි නසා ගැනීමකි. එබැවින් ඔහුට රජයෙන් විශ්‍රාම වැටුපක්‌ හෝ වන්දියක්‌ නොලැබේ. තත්ත්වය බරපතළ වන්නේ එබැවිනි.

දියණියන් තිදෙනා ගැන සලකා බලා පොලිස්‌ දෙපාර්තමේන්තුව දරු තිදෙනා වෙනුවෙන් හෝ කිසියම් සහනයක්‌ ලබාදෙන්නේ නම් මැනවි.

ක්‍ෂණික කෝපය අනාගතය දෙස නොබලයි. ක්‍ෂණික කෝපය නිසා මිනී මැරුම් සිදුකරන අවස්‌ථා බොහෝය. නමුත් ඔවුන් පසුව පසුතැවිලි වේ.

ආයුධත් සමග කෝපය ඉතා අනතුරුදායක බව යළිත් අපි කියන්නෙමු. කෝපය සමග අත ළඟම ආයුධය තිබුණු බැවින් සාධාරණව රාජකාරි කළ නිලධාරියකු රටට අහිමි වී ගියා පමණක්‌ නොව කුඩා දරුවන් තිදෙනකුට තාත්තා කෙනෙක්‌ද අහිමිව ගියේය.

මගේ මහත්තයාට වෙඩි තියාගෙන මැරෙන්න තරම් හේතුවක් තිබුනේ නෑ..

 
Related Posts with Thumbnails