Ads 468x60px

.

හොර පාරෙන් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක්...

ප්‍රායෝගික පරීක්ෂණ නෑ...
ලිඛිත පරීක්ෂණ නෑ...

එක ලයිසන් එකකට රුපියල් විසිපන්දහසක පමණ මුදලක් අය කරලා... 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොගොස් හොර ක්‍රම මඟින් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලක් මත එම පරීක්ෂණය සිදුවෙනවා.

රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි පුද්ගලයන් තිස් දෙනකු වෙනුවෙන් රියැදුරු බලපත් නිකුත් කිරීමේ අයැදුම්පත් ගොන්නක් වේරහැර රියැදුරු බලපත් නිකුත් කිරීමේ කාර්යාලයෙන් හසුවී තිබෙනවා.


වේරහැර කාර්යාලයට මෑතදී පැමිණි පුද්ගලයකු විසින් එම ජාවාරම කරගෙන ගොස් ඇති බව මේ වන විට හෙළිවී තිබෙනවා. රහස් පොලිසිය ඔහුගෙන් කට උත්තර ලබාගෙන තිබෙනවා. 


මේ පුද්ගලයා එම අයැදුම්පත් පිටස්තර ප්‍රාදේශීය කාර්යාලයකින් දෙපාර්තමේන්තුවට එවූ අයැදුම්පත් ලෙසට ඒවා සකස් කර ඒ සඳහා රුපියල් විසිපන්දහසක් පමණ මුදල් අය කර ගනිමින් ජාවාරම කරගෙන ගොස් තිබෙනවා.

මේ වංචාව හෙළිවීමත් සමඟ මෝටර් රථ කොමසාරිස්වරයාගේ උපදෙස් මත වේරහැර රියැදුරු බලපත් කාර්යාලය භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් එම ජාවාරම කළ නිලධාරියාගේ පරිගණක රහස් අංකය (PASS WORD) පවා ඉවත් කර තිබෙනවා.

මේ වංචාව සම්බන්ධව රහස් පොලිසියෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අමතරව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට යන එන තැරැව්කරුවන්, ඇතැම් රියදුරු පුහුණු ආයතන මේ ජාවාරමට සහයෝගය දී ඇති බව පරීක්ෂණ වලින් මේ වන විටත් හෙළි වෙමින් පවතිනවා.

ජාවාරම කරගෙන ගිය පුද්ගලයන්ගෙන් පමණක් නොව පරීක්ෂණ වලට පෙනී නොසිටි රියැදුරු බලපත් ලබාගැනීමට අතරමැදියන් හරහා ඉදිරිපත්ව සිටින පුද්ගලයන් ද රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. 


මේ වංචාව සම්බන්ධයෙන් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් හරිස්චන්ද්‍ර මහතාගෙන් විමසූ විට පැවැසුවේ රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවයි.
 
Related Posts with Thumbnails