Ads 468x60px

.

මනස විකෘති කරන ලෝක විනාශ භීතිකාව...

කොස්මොෆෝබියා හෙවත් විශ්වභීතිකා රෝගය ලෝකය පුරාම පැතිරිලා...

මේ වසරේ දෙසැම්බර් 21 දා සමස්ත ලෝකයම විනාශ වන බවට අන්තර්ජාලය ඔස්සේ පැතිර ගිය මතය ගැන දැන් යළිත් ජනතාවගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳව තවමත් බොහෝ දෙනා විවිධ මත පළ කරනවා

එබැවින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සමග එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව එක්තරා පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.

2012 දී ලෝක විනාශය ඇතිවන බවට අන්තර්ජාලයෙන් පළ කෙරුණු මතය ගැන දැන් යළිත් වැඩි අවධානයක් යොමු වෙලා. 


මේ ගැන ඔබේ අදහස කුමක්ද?
මේ වසරේ දෙසැම්බර් 21 දා ලෝකය මුළුමනින්ම විනාශ වන බවට පළකෙරුණු මතයම තමයි දැන් යළිත් මතුවෙලා තියෙන්නේ. ලංකාවේ වෙලාවෙන් එදින පස්වරු 4.41ට ලෝකය විනාශ වන බවට ඔවුන් මත පළ කරනවා.


මේ සමගම ඔවුන් තව අලුත් දෙයක් ප්‍රචාරය කරනවා. එනම් දෙසැම්බර් 23,24,25 දිනවල අහස මුළුමනින්ම අඳුරු වෙනවා කියන කතාව.

ඒ දින තුනෙහිම කිසිදු විදුලි බල්බයක්වත් දැල්වීමට බැරි බවත් ‍පොළව හෙලවිලා විශාල පිරිසක් මියගොස් ඉතිරිවන අයට අලුත් ලෝකයක් උදාවන බවත් ඔවුන් කියා තිබෙනවා.

එහෙත් මේ කිසිවකට බියවිය යුතු නැහැ. මොකද මේ හැම කතාවක්ම අන්තර්ජාලය හරහා පතුරුවා හරින සම්පූර්ණ අසත්‍යයන් පමණයි. මේ දේවල් වන බවට ඔප්පු කිරීමට කිසිදු විද්‍යාත්මක සාධකයක් නැහැ.


දින තුනක් එකදිගට අඳුරු වන බවට මතයක් පළ වී ඇත්තේ කුමක් පදනම් කරගෙනද?


මේ තමයි මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන්ගේ අලුත්ම බොරුව. මෙය 1600 ගණන්වල බටහිර ආගමකින් පැමිණි කතාවක් පදනම් කරගෙන ගෙතුව බොරුවක්. ඒ ආගමේ සඳහන් වන පරිදි මෙලෙස දින තුනක් අඳුරු වෙලා ‍පොළොවේ සෙලවීමකින් දුෂ්ටයෝ ටික විනාශ වනවා. 


ශුද්ධ වූ ඉටිවලින් හදපු ඉටිපන්දම් පමණයි එදිනට දල්වන්න පුළුවන්. ඒ ආගමේ සඳහන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිකුරාදා හා සෙනසුරාදා යන දින තුනකදී මෙය සිදුවන බවයි. 

එමෙන්ම  මෙම සිද්ධිය සිදුවීමට ප්‍රථම උත්තරධ්‍රැවයේ තද සීතල දවසකුත් ඕස්ට්‍රේලියාවට තද ග්‍රීෂ්මයකුත් පැමිණ ඊට පසු මෙය සිදුවීමට නියමිත බවත් එහි සඳහන් වෙනවා. එය හරියටම සිදුවන දවසක් ගැන එහි සඳහන් වන්නේ නැහැ. එහෙත් මේ කතාවත් සිදුවන බවට ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නැහැ.

විද්‍යාවට අනුව එලෙස සූර්යා ලෝකය නොලැබි කිසිම ආකාරයකින් අහස අඳුරුවීමක් විය නොහැකිද?
අහස අඳුරුවීම හෝ සූර්යා ලෝකය නොලැබි යාමට හේතු ලෙස තද කුණාටු, සුනාමි, භූමිකම්පා වගේ දේවල් ගන්න බැහැ. ඒවා කලිනුත් තිබුණා. ඒවා අලුත් දේවල් නොවෙයි.


අහස මුළුමනින්ම අඳුරු විය හැකි ක්‍රම 2ක් තියෙනවා. ඉන් එකක් වන්නේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම, න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණොත් දින කිහිපයක් අඳුරුවිය හැකියි.  එහෙත් තෙවන ලෝක යුද්ධයකට කිසිම සූදානමක් නැහැ.


අනිත් එක තමයි, කිලෝමීටර 10ක පමණ විෂ්කම්භයක් සහිත ග්‍රහකයක් ‍පොළව උඩට වැටිලා දූවිලි ඇවිස්සීමෙන් මාස ගණනාවක් මුළු අහසම දූවිල්ලෙන් වැසෙනවා. මීට වසර මිලියන 65කට පෙර මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඩයිනෝසරයන් නැතිවුණේ එමගින් බවද සඳහන් වෙනවා.


එවැනි තත්ත්වයකදී සූර්යා ලෝකය නොලැබි ගස්කොළන් මැරෙනවා. මින් සතුන් සියයට අනූපහක් පමණ වඳ වෙනවා. බුදු දහමෙත් මේ තත්ත්වය වෙනත් ආකාරයකට සඳහන් වෙලා තියෙනවා.


එවැනි ග්‍රහකයක් පෘථිවිය දෙසට එමින් තියෙනවා නම් දැනට තිබෙන පද්ධතිවලට හසුවිය යුතුයි. එහෙත් එවැන්නක් පිළිබඳව සාධක හමුවන්නේ නැහැ. දැනට සොයාගෙන ඇති පරිදි එ‍පොපිස් (Apophys) නම් ධූමකේතුවක් තිබෙනවා. 


එය මීටර 250ක පමණ විෂ්කම්භයකින් යුක්තයි. එය 2036 අප්‍රේල් 13 දා පෘථිවියේ වැදීමට නියමිතයි. නමුත් එය විනාශ කිරීමට මේ දිනවල ක්‍රම සොයාගෙන යනවා. අභ්‍යවකාශයේ අවතල දර්පණ සවිකර, එමගින් ග්‍රහකය පැත්තකට නාභිගත කිරීමට හැකි ස්වයංක්‍රීය පද්ධතියක් දැනට හදාගෙන යනවා.

2012 වසරේදී ලෝකය විනාශ වන බවට මතයක් නිර්මාණය වුණේ කොහොමද?
මායාවරුන්ගේ කැලැන්ඩරයක් පදනම් කරගෙනයි මෙම මතය පැතිරුණේ. ඒ ඇමෙරිකාවේ මධ්‍ය කොටසේ ජීවත් වූ ක්‍රි.ව. 1250 දී පමණ වඳ වී ගොස් දැනට 1500 පමණ පිරිසක් සිටින ශිෂ්ටාචාරයක්. 


මායාවරු කියන්නේ තාරකා  විද්‍යාව අතින් දියුණුවට පත්ව සිටි ජාතියක්. අනාගතයේ සිදුවන සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ආදිය පිළිබඳව නිවැරැදිව කීමට ඔවුන්ට හැකියාව තිබුණා. ඔවුන් ළඟ මීට අදාළව කාලසටහන් දින දර්ශන ආදිය තිබුණා. 

එවැනි එක් කැලැන්ඩරයක් මේ වසරේ දෙසැම්බර් 21 දා අවසන් වෙනවා. මෙය පදනම් කරගෙනයි එදිනට ලෝකය විනාශ වන බවට මතයක් පැතිරුණේ. මොවුන් නගන තර්කය වන්නේ මායාවරු සිය කැලැන්ඩරය එදිනට පසු ලියා නැත්තේ එතනින් එහාට ලෝකයේ පැවැත්මක් නැති නිසා බවයි.

මෙය බොරු තර්කයක් බව පවසන්නේ කෙසේද?
මායාවරුන්ට තිබුණ එකම කැලැන්ඩරය මෙය නොවෙයි. මිට පෙරද එක් කැලැන්ඩරයක් තිබුණා. එය ක්‍රි.පූ. 3114 අගෝස්තු 11 දා අවසන් වුණා. ඒත් එදා ලෝකය විනාශ වූ බවට කිසිදු සඳහනක් නැහැ. එදායින් පසුව ඔවුන් තව කැලැන්ඩරයක් නිර්මාණය කළා. 


ඒ තමයි ලබන දෙසැම්බර් 21 දා අවසන් වෙන්නේ. ඒත් මේකත් අපේ කැලැන්ඩරයක් වගේම තමයි. එකක් ඉවර වෙද්දී තවත් කැලැන්ඩරයක් නිර්මාණය වෙනවා. 

අනික මායාවරු කොතැනකදීවත් එවැනි අනාවැකියක් පළ කරලා නැහැ. ඔවුන්ම පවසනවා එවැනි අනාවැකියක් තමන්ගේ පරම්පරාවේ කිසිවකු ප්‍රකාශ කර නැති බව. මෙය කණ්ඩායමක් විසින් පතුරුවා හරින අසත්‍ය ප්‍රචාරයක් පමණයි.

මේ බොරුව ලෝකය පුරාම පුදුමාකාර විදිහට පැතිරිලා. අපේ රටේ පවා සමහර මිනිස්සු සිය ඉඩම් අඩු මිලට විකුණා දැමීමට කටයුතු කරනවා.
දැනටම ඇමෙරිකාවේ ව්‍යාපාරිකයන් පිරිසක් ‍පොළව යට ආරක්ෂක කුටි හදලා විකුණනවා. හෙල්මට් හදලා විකුණනවා. 


වර්තමානයේදී මින් බේරීම සඳහා සජ්ජායනා කළ හැකි යැයි පැවැසෙන මන්තරයකුත් විකිණෙනවා. LARAS හා FARA ON නම් මේ මන්තර දෙක අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට පුළුවන්. මේ දේවල් ඉතාම ඉහළ මිල ගණන්වලට විකිණෙනවා.

මේ දේවල් මිනිස්සු මේ තරම්ම විශ්වාස කිරීමට පෙළඹිලා තියෙන්නේ කිසිදු විචාර බුද්ධියකින් තොරව මේ දේවල් පිළිගැනීමට පුරුදු වෙලා සිටින නිසයි. උගත්කමක් තිබුණත් ලංකාවෙන් 60ක පමණ පිරිසක් මේ මතය විශ්වාස කරගෙන ඉන්නවා. 


මේ මතය බොරු දෙයක් කියලා ඔප්පු කළ හැකි තව කාරණයක් තියෙනවා. එනම් මේ මායාවරුන්ගේම හිටපු රජ කෙනෙක් ක්‍රිස්තු වර්ෂ 4772 ඔක්තෝබර් 21 දා සිදුවන යම් දෙයක් ගැන අනාවැකියක් කියලා තියෙනවා. ඒ කියන්නේ ලෝකය තව ඉදිරියට තියෙනවා කියන එකනේ. ඒත් කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ.

දෙසැම්බර් 21 දින ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙනවා කියන කතාව කුමක් පදනම් කරගත් දෙයක්ද?
ඒකත් මේ බොරු මතය සනාථ කිරීමට ගොතාපු කතාවක්. දෙසැම්බර් මුල සතිය වනවිට ග්‍රහලෝක 3ක් එනම් බුධ, සිකුරු, සෙනසුරු කියන ග්‍රහලෝක එකිනෙකට ආසන්න වෙනවා. ඒත් ඒවා එක දිගට පිහිටන්නේ නැහැ. ඒ විදිහට ග්‍රහලෝක එකම රේඛාවකට පැමිණි අවස්ථා බොහෝමයක් තියෙනවා. නමුත් ලෝකයට එමගින් කිසි දෙයක් වුණේ නැහැ.


මේ මතය පතුරුවන අය කියන්නේ මේ ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණි විට ගුරුත්වාකර්ෂණයට අසු වී මහද්වීප කැඩිලා ගිහින් ලෝකය විනාශ වන බවයි. එහෙත් ඒක සම්පූර්ණ අසත්‍යයක්. මේ ග්‍රහලෝකවලින් අපට කරන බලපෑම, චන්ද්‍රයාගෙන් පෘථිවියට ඇතිවන ගුරුත්වාකර්ෂණයෙන් ලක්ෂයෙන් පංගුවක්වත් නැහැ. 


එමනිසා ඒ ගැන කිසිසේත් බියවිය යුතු නැහැ. අවුරුදු ගණනාවකට වතාවක් මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙනවා. ඒත් දෙසැම්බර් 21 දාට එහෙම දෙයක් වෙන්නේ නැහැ.


මෙම මතය අන්තර්ජාලය හරහා පැතිරූ පිරිස දක්වා තිබූ අනෙක් කරුණු මොනවාද?
‘නීබෘ (Nibiru) කියල දහවෙනි ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයට ඇවිත් පෘථිවියේ වදින බව ඔවුන් කියනවා. ඔවුන් කියන පරිදි මේ ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාගෙන් භාගයක් පමණ විශාලයි. ඒත් එහෙම දෙයක් තියෙනවා නම් මේ වෙද්දී අපේ දුරේක්ෂ පද්ධතියට හසුවෙනවා. 


මේ දුරේක්ෂ පද්ධතියේ තාක්ෂණයට අනුව ග්‍රහලෝකය කළු පැහැති වුවත් හොඳින් දර්ශනය විය යුතුයි. නමුත් එහෙම දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ.

නීබෘ කතාව මුලින්ම කියැවුණේ 2003 දී. ඒ වසරේදී කාන්තාවක විසින් නවකතාවක ඇයට අධිමානසික ශක්තියක් ඇති බවත් ග්‍රහකයක් පැමිණ පෘථිවියේ වදින බවත් පිටසක්වල ජීවියෙකු විසින් තමන්ට පැවැසූ බවත්, ලියලා තිබුණා ඒ දිනවල අන්තර්ජාලයේ කටකතා පැතිරුණා. 2003 දී ලෝක විනාශය වෙනව බව. 


නමුත් මොනවත් වුණේ නැහැ. දරුණු සූර්ය කුණාටුවක් පැමිණෙනවා යන්න ඊළඟ කතාවයි. සූර්යා කුණාටුවක් යනු සූර්යා කැළඹීමකින් පිටවන ලොකු ද්‍රව්‍ය කදම්භයක්. නමුත් එය මේ වසරේ මුලත් ආවා. ලෝක විනාශ වීමක් වුණේ නැහැ. එමගින් විදුලි රැහැන් පිපිරීමක් මෙන්ම සන්නිවේදන දුර්වලතා ආදිය විය හැකියි. එපමණයි.

සූර්ය ක්‍රියාකාරීත්වය වැඩිවීම තුළින් ලෝකය විනාශ වන බව ඊළඟට ඔවුන් මතු කළ තව කාරණයක් සූර්යාගේ ක්‍රියාකාරිත්වය සෑම අවුරුදු 11කට වතාවක් වැඩිවෙනවා. එය යළි වීමට නියමිතව ඇත්තේ 2013දීයි. ඒත් වෙන අවස්ථාවලට වඩා අඩු බවක් එහි දැකිය හැකි යැයි අනාවැකි පළවෙනවා.


ඊළඟ කාරණාව වන්නේ, පෘථිවියේ උතුරු සහ දකුණු අක්ෂාංශ මාරුවෙනවා යන්නයි. මම නම් කියන්නේ ඔවුන්ගේ බොරු සංග්‍රහයේ ලොකුම බොරුව මෙයයි. ප්‍රබල භූමිකම්පාවකදී, සුනාමියකදී, අයිස් කඳු දියවීමකදී මේ අක්ෂයන් සුළු වෙනස්වීමකට ලක්විය හැකි වුවත් මෙලෙස අංශක 180 සෘජුව අක්ෂ මාරු වීමට කිසිදු හැකියාවක් නැහැ.


එහෙම නොවුවත් චුම්බක උතුරු දකුණ මාරුවෙනවා කියලා ඔවුන් කියනවා. ඒක නම් දැනටත් වෙමින් පවතිනවා. මාලිමා යන්ත්‍රයේ කටුව සෑම අවුරුදු 250000කට වතාවක් අනෙක් පැත්තට හැරෙනවා. පසුගිය අවුරුදු 750000 ඇතුළත එහෙම දෙයක් වුණේ නැහැ. 


නමුත් දැන් වෙමින් පවතිනවා. ඒක අවුරුදු 100 වතාවක් අංශක 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් තමයි අනෙක් පැත්තට හැරෙන්නේ. ඒ නිසා එය සම්පූර්ණයෙන්ම හැරීමට අවුරුදු 9000ක් වත් ගතවේවි. අනෙක එමගින් මොකුත් වෙන්නේ  නැහැ. චුම්බක බලය භාවිතයෙන් පාර සොයා ගන්නා සංචාරක කුරුල්ලන්ට නම් එමගින් ‍පොඩි බලපෑමක් විය හැකියි.

මන්දාකිණියේ මධ්‍ය ලක්ෂයත්, සූර්යාත්, පෘථිවියත් එක රේඛාවකට පැමිණෙන බව කියූ අනෙක් කාරණාවයි. එය අලුත් දෙයක් නොවෙයි. සෑම වසරකම දෙසැම්බර් 21 දා එය සිදුවෙනවා. පෘථිවියේ ඇලයත් සමග වෙන දෙයක් මෙය. සෑම වසරකදීම දෙසැම්බර් මාසයේදී සූර්යා මකර නිවර්තනයට යනවා. ඒ නිසා ඒ කාලයේදී සූර්යා පෘථිවියට සාපේක්ෂව මධ්‍ය ලක්ෂයට සෘජුවමයි පිහිටන්නේ.


මෙම අසත්‍ය ප්‍රචාරයත් සමග දැනට ඇති වී තිබෙන අනිටු ප්‍රතිඵල මොනවාද?
මේ මතය නිසා බියට පත් වූ එක් අයෙක් සියදිවි හානිකරගෙන කියලා ළඟදී කරුණු අනාවරණය වෙලා තිබුණා. ඒ වගේම මේ බිය හේතුකරගෙන ලෝකය පුරා පැතිර යන අලුත් මානසික රෝගයක් ගැනත් දැන් හඳුනාගෙන තියෙනවා. ‘කොස්මොෆෝබියා’ හෙවත්  ‘විශ්වභීතිකා’ ලෙස හැඳින්වෙන මෙම රෝගය ලෝකය පුරාම පැතිරිලා. 


අහසින් යමක් කඩාගෙන වැටිලා තමනුත්, ලෝකයත් විනාශ වේවි කියන බය තමයි මෙතනදී ඇති වෙන්නේ. ලංකාවෙනුත් මේ  තත්ත්වයට පත්වූ අයෙක් මට හමුවුණා.

මෙවැනි රෝගීන් තමන්ගේ සියලු කටයුතු අතහැරලා අන්තර්ජාලයේ සැරිසරමින් ග්‍රහක කඩාවැටේද යන්න බල බලා කාලය ගත කරනවා.
ඒ වගේම ළමයි දැන් දැන් තාරකා විද්‍යාව හැදෑරීමට යම් බියක් දක්වන බවත් පේනවා. ඒකෙන් මොනවා හරි හොයාගත්තොත් ඒක ලෝකයේ විනාශයට හේතුවන දෙයක් විය හැකි යැයි ඔවුන් පූර්ව නිගමනයකට පැමිණිලා.


ඒ නිසා මම කියන්නේ මේ මතය පළ ක රන පුද්ගලයන් එමගින් ලෝකයට වෙලා තියෙන අනර්ථය ගැන සිතන්න, ඇස් ඇර බලන්න කාලය උදාවෙලා. ඒ වගේම මේකට බයවෙලා තම ආර්ථිකය විනාශ කරගෙන මානසික රෝගීන් නොවී සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


- කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න -
 
Related Posts with Thumbnails