Ads 468x60px

.

ලෝකය විනාශ වන බව පවසමින් රැකියාවට නොගොස් සිටින මේසන් බාස්වරු...

2012-12-21 ලෝක විනාශය ගැන හරියටම දැනගන්නට තැනක්...

ඒ නාසා ආයතනයේ  www.nasa.gov වෙබ් අඩවියයි...
 
මේ වන විට ලෝකය පුරා තදින් පැතිර ගොස් ඇති ආරංචියක් වන්නේ 2012 දෙසැම්බර් මාසයේ එනම් මේ මාසයේ 21 වැනිදා හෝ ඊට ආසන්න දිනක කිනම් හෝ ස්වාභාවික ව්‍යසනයකින් පෘථිවිය විනාශ වී යන බවයි.
මායා ශිෂ්ටාචාරයට අයත් එක්තරා දින දර්ශනයක් 2012 දෙසැම්බර් 21 වැනිදායින් අවසන් වීම පදනම් කරගෙන ආරම්භ වූ මේ ලෝක විනාශ කතාව මේ වන විට බොහෝ දුර දිග ගොසිනි.

සමාජ විද්‍යාඥයන් නම් මෙසේ කලින් කලට ලෝක විනාශය පිළිබඳ ආරංචි පැතිර යාම සලකන්නේ ලෝක විනාශය නමැති සංසිද්ධියට මානවයා දක්වන භීතිය මුසු වූ ගුප්ත ආශාව නිසා සිදුවන්නක් ලෙසය. මීට පෙරද මේ ආකාරයටම ලෝක විනාශය සිදුවෙන්නේ යැයි දින නියම වූ අවස්ථා ගණනාවක්ම කිසිදු ආපදාවකින් තොරව ගෙවී ගොස් ඇති බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරයි.


කෙසේ වුවද නූතන සන්නිවේදන දියුණුවට පින්සිදුවන්නට මුළු ලෝකය පුරාම මේ සීතල දෙසැම්බරයේ සිදුවෙතැයි කියන ලෝක විනාශය පිළිබඳ කතාව

පැතිර ගොස් තිබේ. ලෝකය පුරා විවිධ රටවල ලෝක විනාශය සිදුවන බව තරයේම විශ්වාස කරන ජන කොටස් ඒ සඳහා සූදානම් වන ආකාරය විටෙක පුදුම සහගතය. 

ඇතැම් විටෙක ඉතාමත්ම විහිළු සහගතය. උදාහරණයක් ලෙස ලෝක විනාශයෙන් ආරක්ෂාවීමට ආරක්ෂිත හිස් ආවරණ විශේෂයක් පැළඳීම වැනි ක්‍රියාමාර්ගයත් අසන්නන්ගේත් දකින්නන්ගේත් මුවට මදහසක් නංවන්නේ නිරායාසයෙනි.

ලෝක විනාශය පිළිබඳ කතාව පළමු වරට ආරම්භ වූයේ බටහිර රටවලිනි. ජනමාධ්‍ය හරහා නිවැරදි තොරතුරු දැනගැනීම හේතුවෙන් ලෝක විනාශය පිළිබඳව විශ්වාස කරන්නන් බටහිර දියුණු රටවල අඩු ඇතැයි යමෙකු සිතන්නේ නම් එය මුළාවකි. 


ලෝක විනාශය පිළිබඳව තදින්ම විශ්වාස කරන්නන් ගෙන් අති බහුතරය සිටින්නේ බටහිර රටවලය. ඇමෙරිකා එක්සත් ජනපදය ගතහොත් එරට ජනතාවගෙන් 22ක්ම තම ජීවිත කාලය තුළ ලෝක විනාශය සිදුවන බව විශ්වාස කරන්නන්ය. 10ක් විශ්වාස කරන්නේ මේ වසරේ දෙසැම්බර් මාසයේ ලෝක විනාශය සිදුවන බවයි.

ලෝක විනාශය පිළිබඳව අසත්‍ය වපුරන වබේඅඩවි අතුරෙන් බහුතරයක්ම ඇමෙරිකානු සම්භවයක් ඇති ඒවාය. ලෝක විනාශය සිදුවෙතැයි විශ්වාස කරන ඇමෙරිකානුවන් ඉන් ගැලවීමට යොදන උපක්‍රමද විවිධාකාරය. ඇතැම්හු ‍ජ්‍යොතිෂ්‍යයේ සහ විවිධ මන්ත්‍රකරුවන්ගේ පිහිට පතා යති. තවත් පුද්ගලයන් භූගත උමං මාර්ග තනාගෙන තිබේ. 


ලෝක විනාශය ව්‍යසනයෙන් ගැලවීසිටීමට හැකි භූගත බංකර්, උමං මාර්ග සහ අධි ආරක්ෂිත ජීව පිරමීඩ තනාදෙන ආයතන කිහිපයක්ම ඇමෙරිකාවේ බිහිව ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙයි.
එංගලන්තය ගත් විට එහි ජනතාවගෙන් 8ක් පමණ ලෝක විනාශය පිළිබඳව තරයේ විශ්වාස කරන්නන්ය. බෙල්ජියමේ එම අගය 7කි. තුර්කිය වැනි රටවල 20තරම් ඉහළ ප්‍රතිශතයක් ලෝක විනාශය විශ්වාස කරති.


ලෝක විනාශයකදී ජීවිතය ගලවා ගැනීමට හැකි උපදෙස් අන්තර්ගත යැයි පැවසෙන ‍පොත්පත්, පත්‍රිකා සහ ප්‍රථමාධාර කට්ටල ආදිය අන්තර්ජාලය ඔස්සේ එංගලන්තය තුළ වේගයෙන් අලෙවි වෙමින් පවතින බව පැවසේ. එමෙන්ම එංගලන්තය තුළද මන්ත්‍රාචාර්යවරුන්, යක්දෙස්සන් ආදීන්ට ඉහළ ඉල්ලුමක් ඇතිව තිබේ. 


ලෝක විනාශය පිළිබඳ කතාවන් සමගම පැතිර ගිය අතුරුකතාවක් වූයේ ලෝක විනාශයෙන් කිසිදු ආපදාවකට ලක් නොවී ඉතිරි වන එකම ස්ථානය ප්‍රංශයේ පිහිටි Bugarach  නම් ගම්මානය සහ dyrenee නම් කඳු ගැටය වෙයි. 

මේ නිසා ලෝක විනාශය සිදුවෙතැයි අදහන්නන් අදාළ කාල සීමාව තුළ මෙම ප්‍රදේශයට රැස්වී ප්‍රදේශයේ පරිසරයට හානි වීම සහ සාමාන්‍ය ජන ජීවිතයට බාධා ඇති වීම වළක්වා ගැනීමට ලෝක විනාශය සිදුවෙතැයි සඳහන් දින කිහිපය තුළ එම කන්දට සහ ගම් ප්‍රදේශයට පිටස්තරයන් ඇතුළු වීම වළක්වාලීමට ප්‍රදේශයේ බලධාරීන් කටයුතු කර තිබේ. මේ වන විට එම ප්‍රදේශයට ‍පොලිස් සහ ගිනි නිවන හමුදා රැකවල් යොදා ඇත.

බටහිර රටවල වුවද ලෝක විනාශය විශ්වාස කරන පිරිසෙන් බහුතරය වයස්ගත වූවන් සහ නව යොවුන් තරුණ තරුණියන් බව සමීක්ෂණ වාර්තා මගින් හෙළිකරගෙන තිබේ. කෙසේ වුවත් ඉතාලිය, ජර්මනිය, ස්පාඤ්ඤය ආදී රටවල ලෝක විනාශය පිළිබඳ සැලකීමක් නොමැති තරම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


ආසියාතික රටවල ජනතාව ලෝක විනාශය පිළිබඳව කියැවෙන කතාව දැනසිටියද එය විශ්වාස කරන පිරිස ඉතාම අඩුය. ඉන්දියාව හා චීනය වැනි රටවල කලාතුරකින් “ලෝක විනාශයෙන් ගැලවීමේ සමාජ” ආදිය පිහිටුවාගෙන ඇති බව අසන්නට ලැබුණද ඒ කිසිවක් සක්‍රිය ක්‍රියාකාරීත්වයක් දක්වන ඒවා නොවේ. ඊට අමතරව අනෙක් ආසියාතික රටවලින් නම්, ලෝක විනාශයට සූදානම් වන පිරිස් ගැන අසන්නට ලැබෙන්නේම නැත.


ලෝක විනාශයකදී ප්‍රයෝජනවත් වන, ශක්තිජනක පාන වර්ග, සුවිශේෂී උපක්‍රම යොදා ලෝක විනාශය වෙනුවෙන්ම තැනූ බව පැවසෙන ඇඳුම්, අත්වැසුම්, හිස් ආවරණ, විදුලි පන්දම්, ආදිය අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් අලෙවි වෙමින් පවතින බව සඳහන් වෙයි. ඊට අමතරව ලෝක විනාශය සිදුවන අවස්ථාවේ ගායනා කිරීමට සකසන ලද ගීතිකා විශේෂයකටද මේ වන විට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ.


අපේ රට ශ්‍රී ලංකාව සැලකූ විට ලෝක විනාශය වෙනුවෙන් යම් යම් කටයුතු කරන්නන් ඇත්තේම නැති තරම්ය. නමුත් දෙසැම්බර් මාසයේ ලෝකය විනාශ වන බව පවසමින් රැකියාවටද නොගොස් සිටින මේසන් බාස්වරුන් පිරිසක් පිළිබඳව නම් පසුගිය දිනක මහියංගනය ආශ්‍රිත පෙදෙසකින් වාර්තා වී තිබුණි.


ඊට අමතරව අප රටේ පැතිරයන අසත්‍ය කතාවක් වන්නේ දෙසැම්බර් මාසයේ දින තුනක් හිරු නොපායන බව සහ හිරු දෙස බැලූ විට සූර්යයා වෙනස්ව ඇති ආකාරය දැක ගැනීමට හැකි බවයි. මේ නිසා ජංගම දුරකතනවල ඩිජිටල් කැමරාවලට හානි කරගත් කිහිප දෙනෙකු පිළිබඳව නම් අසන්නට ලැබුණි. 


ඒ සූර්යයාගේ ඡායාරූප ගැනීමට ජංගම දුරකතනවල කැමරාවක් හිරු වෙත එල්ල කිරීම නිසාය. පියවි ඇසෙන් සූර්යයා දෙස බැලීමෙන් ඔබේ ඇස අන්ධ වීමට පවා ඉඩ ඇත. ලෝක විනාශ පිළිබඳව හෝ නිඕරු නම් ග්‍රහලෝකයක් කඩා වැටීම පිළිබඳව හෝ හිරු නොපායා පැවැතීම පිළිබඳව පැතිර යන වාර්තා සියල්ල නාසා ආයතනය එකහඩින් ප්‍රතික්ෂේප කර සිටී.

නාසා ආයතනය යනු අභ්‍යවකාශ ගවේෂණය සඳහා ලෝකයේ ප්‍රධානතම ආයතනයයි. එබැවින් ලෝක විනාශය පිළිබඳව සැක සංකා ඇති ඕනෑම අයෙකුට නාසා ආයතනයේ වබේ අඩවියෙන් සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට ඉඩ සලසා තිබේ. කළ යුතු වන්නේ www.nasa.gov නම් වෙබ් ලිපිනයෙන් නාසා වබේ අඩවියට පිවිසීම පමණි.

 
Related Posts with Thumbnails