Ads 468x60px

.

ලෝකය පුරා ස්වාභාවික විපත් බහුල වශයෙන් සිදුවන ග්‍රහචාරයක්...

ව්‍යසන සියල්ල නිශ්චිතව සඳහන් කිරීම මනුෂ්‍යයන් බය කිරීමක්...

එහෙත් වැදගත් වන්නේ බිය ඇති කර ගැනීම නොවේ...


උදාවන ග්‍රහචාරය අනුව ලෝක විනාශයක් හෙට (21දා) සිදු නොවන බව ස්ථිරවම කිව හැකි නමුත් ලොව පුරාම විවිධ ස්වාභාවික ව්‍යසන අඩු වැඩි වශයෙන් ඇතිවිය හැකි බව ප්‍රකට ජේ‍යාතිර්වේදියකු වන හෝමාගම ඇල්බට් සුදසිංහ මහතා පවසනවා.

පසුගිය මාස කිහිපය තුළ ලෝකය පුරා පැවැති ස්වාභාවික විපත් මෙන්ම තවත් ඉදිරියේ එවැනි විපත් බහුල වශයෙන් සිදුවන ග්‍රහචාරයක්ද නිර්මාණය වෙමින් පවතින බවට හෙතෙම අනතුරු අඟවයි.

ලෝක විනාශය සම්බන්ධයෙන් නඟන ලද ප්‍රශ්නවලට සුදසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.



මේ දිනවල අහසේ අද්භූත එළි හා වස්තු දිස්වන බව වාර්තා වුණා. මේවා ලෝක විනාශයක පෙර නිමිති විය හැකිද?
රටේ විවිධ ප්‍රදේශවල විවිධ පැහැයෙන් යුතු දීප්තිමත් අද්භූත එළි සැරිසරන බවට මේ දිනවල වාර්තා වුණා. බොහෝ දෙනා මේවා දැක තිබුණා. ආකාශයේ නොයෙක් එළි පාවෙනවා. ඒ අතර කාලගුණය වාර්තා කිරීමට යවන බැලූන් දකින්න ලැබෙනවා. උල්කාපාත හා උල්කාෂ්ම තිබෙනවා. 


ඒ වගේම දේවතා එළි නමින් හැඳින්වෙන දීප්තිමත් ආලෝකයක් විහිදෙන වස්තු තිබෙනවා. පන්සල් හා දේවාල ආශි්‍රත විශාල බෝගස් නුග ගස් හා නා ගස්වලට මේ එළි ගමන් කරන බව අප කුඩා කාලේ පවා දැක තිබෙනවා. 

රාත්‍රියේ ඇතැම්විට මේ ආලෝකය ගහෙන් ගහට ගමන් කරනවා. පැරැණි ගැමියෝ මේවා ගැන දන්නවා. වෘක්ෂ දේවතාවෝ එහෙම ගමන් ගන්නා බවට මතයක් පවතිනවා. බුද්ධ ධර්මය අනුව අපට වෘක්ෂ දේවතාවා නැහැයි කියන්න බැහැ.

බුදුන් වහන්සේගෙන් කමටහන් ගෙන වස් විසීමට සිල්වත් භික්ෂූන් වහන්සේ හිමාලය වනයට වැඩම කළා. උන්වහන්සේගේ සිල්වත් බව නිසා වනයේ සිටි වෘක්ෂ දේවතාවන්ට තමන්ගේ රුක් විමානවල ඉන්න බැරිව බිමට බහින්න සිදුවුණා. 


ඒ නිසා භික්ෂූන් වහන්සේ පන්නා ගැනීමට ඒ දේවතාවෝ බියකරු වෙස්ගෙන විවිධ බියගැන්වීම් කළා. ආපසු බුදුන් වහන්සේ කරා වැඩි එම භික්ෂූන් වහන්සේට උන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළා.

මායාවරුන්ගේ කැලැන්ඩරයේ අවසානය සඳහන් වෙන්නෙ හෙට. එනම් 2012 දෙසැම්බර් 21 වැනිදාට. එදින ලෝක විනාශයක් සිදුවන බවටත් පැතිරෙන කතා ගැන කිව හැක්කේ කුමක්ද?
ලෝකය වෙනස්වන දිනයක් හැටියට බොහෝ නැකැත්කරුවන් හෙට දිනය ගැන කියනවා. සමහර විට එය යම් කාලයක යුගයක අවසානයක් විය හැකි යැයි කියන අයත් ඉන්නවා. කුම්භ රාශියෙන් අවසන් වී චීනයේ නව යුගයක් ආරම්භ වන බවත් කියනවා.


ලෝක විනාශය ක්‍රම හතරකට සිදුවිය හැකි බව බුද්ධ දේශනාවලද සඳහන් වන පරිදි කිව හැකියි. අර්ධ ලෝක විනාශය, ලෝක විනාශය, අර්ධ කල්ප විනාශය හා කල්ප විනාශ යනුවෙන්. අර්ධ ලෝක විනාශ මේ පෘථිවිය ආරම්භයේ සිට කාලයෙන් කාලයට සිදු වී තිබෙනවා. 


උල්කාපාත, භූමිකම්පා, සුනාමි ආදියෙන් ඒවා සිදුවී තිබෙනවා. ලෝක විනාශයක් සිදුවීමට නම් සියලුම ග්‍රහයෝ පොකුරක් ලෙස මේෂ රාශියේ අංශක බිංදුවට පැමිණිය යුතුයි. එවැනි දෙයක් හෙට සිදුවන්නේ නැහැ. හෙට දවස උදාව ඇතිවන සටහන (01) බලන්න.

මේ දිනවල පවතින ග්‍රහචාරය අනුව සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ මෙන්ම කලාතුරකින් සිදුවන දෙයක් ලෙස කිව හැකි ග්‍රහයෝ එක් පෙළකට සිටීමත් සැලකිල්ලට ගත යුතුයි. එහෙත් ලොව කොහේ හෝ අපටත් දැනෙන විදියේ භූමිකම්පාවක් හෝ මහා ජල ගැලීමක් සිදුවිය හැකි ග්‍රහචාරයක් ඉදිරි දිනවල නිර්මාණය වෙමින් පවතින බව කිව හැකියි.

මායාවරුන්ගේ කැලැන්ඩරය ගැන කියන්න ඉස්සෙල්ලා ඒ ජනතාව කවුද කියා දැනගන්න ඕනෑ. මායාවරු ආකාශ වස්තු ගැන පර්යේෂණ කළ දැනුමැති පිරිසක්. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර දෙදහසකට පමණ පෙර පටන්ගත් බවයි කියන්නේ. මායා දින දර්ශනයේ 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වෙන බව ලෝකයට ප්‍රචාරය වෙලා දැනට අවුරුදු හතළිස් පහක් පමණ වෙනවා. 


එහෙත් මේ ගැන වැඩි උනන්දුවක් ඇතිවුණේ '2012' නමින් ආපු අමෙරිකානු චිත්‍රපටයත් සමඟයි. ඔවුන් බුද්ධිමත් පිරිසක් නිසා 21 වැනිදාට කැලැන්ඩරය අවසන් කළා කියමු. එහෙත් තවමත් මායාවරුන්ගෙන් පැවැත එන අය ඉන්නවා. 

ඔවුන් පාවිච්චි කරන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන දින දර්ශනයක් බව මාධ්‍යවල පළවී තිබුණා. කැලැන්ඩරය අවසන් වුණාම අලුත් එකක් පටන්ගත යුතුයි. හැබැයි එහෙම වුණා කියා ලෝකය විනාශවෙලා අලුත් ලෝකයක් හැදෙයි කියන්න සාධක ජේ‍යාතිෂයේ නැහැ.

ලෝකයේ ඉදිරියට සිදුවන දේ ගැන අනාවැකි කියූවන් අතර නෙස්ට්‍රඩාමුස් ප්‍රසිද්ධයි. ඔහුගේ අනාවැකි රාශියක් හරි ගිහින් තිබෙනවා. එහෙත් 2012 ලෝකය විනාශ වන බව ඔහු කියා නැහැ. 2001 දී නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම ගැනත් ඔහු සඳහන් කර තිබුණා. 


එහෙත් මායාවරුන්ගේ කැලැන්ඩරය අල්ලාගෙන ලෝකය පුරාම අද මහා කලබලයක් සිදුවෙනවා. ලෝකය එක් එක් කාලවකවානුවලදී විනාශවන බවට අනාවැකි කියූ අය රාශියක් සිටියත් ඒක සිදුවුණේ නැහැ. 

හෙට ගැන නොව ඉදිරියේදීත් එහෙම සිදුවන බවට කියාපු අනාවැකි තිබෙන බව ඔබ දන්නවාද?
ලෝක විනාශයක් නොවුණාට බොහෝ රටවලට දැනෙන විනාශ පසුගිය මාස කිහිපයේ පටන්ම සිදුවෙනවා. ඔක්තෝබර් මාසයේ 29 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට සැන්ඩි සුළි කුණාටුව ආවා. සිදුකළේ මහා විනාශයක්. ඒ දිනවලම අපේ රටටත් මහ වැසි ඇද වැටුණා. ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවුණා. 


බොහෝ දෙනකු අනාථ වුණා. මේවාත් යම් ප්‍රමාණයක විනාශ හැටියට ගන්න පුළුවන්. යුරෝපයේ රටවලටත් මෙවැනි ජල ගැලීම් ඇතිවුණා. ප්‍රබල භූමිකම්පා සිදුවී ජීවිත හානි රාශියක් ගෝතමාලාවේ සිදුවුණා. 

විවිධ ග්‍රහ මාරුවීම්, ග්‍රහ බලපෑම් සිදුවන විට ලෝකයට මෙවැනි ව්‍යසන ඇතිවන බව ජේ‍යාතිෂය අනුව කිව හැකියි. ඉදිරි කාලෙ සිදුවන විවිධ ග්‍රහමාරු හේතුකොටගෙන ලෝකයට විශාල බලපෑම් වෙනවා. එමඟින් ස්වභාව ධර්මයෙහි සමබර බව නැතිවෙන්න පුළුවන්. එවිට ඇතිවෙන්නේ ස්වාභාවික විපත් බව කියන්න ඕනෑ.

ලෝකයේ යුග හතරක් ගැන පැරැණි ග්‍රන්ථවල සඳහන් වෙනවා. එනම්, කෘත යුගය අවුරුදු 17,28,000යි, නේත්‍ර යුගය අවුරුදු 12,96,000යි ද්වාපර යුගය 8,64,000යි, කලියුගය වසර 4,32,000යි. දැන් පවතින්නේ කලියුගයයි. කලියුගයෙන් මේ වන විට ගෙවී ඇත්තේ අවුරුදු 5100ක් පමණයි. 


ඒ අනුවත් මෙය ලෝකයේ අවසාන යුගය යැයි කියන්න බැහැ. හින්දු මතය අනුව පවා එසේ විය නොහැකියි. හින්දු ආගම අනුව මහාබ්‍රහ්මයා කල්ප 720ක් සිටිනවා. ඒ නිසා මේවා විවිධ මත සංකලනය වීමෙන් මතුවූ විශ්වාස බව කිව හැකියි.

ලෝක විනාශ තත්ත්වයක් නොවුණත් ලෝකයටම බලපාන බොහෝ ව්‍යසනකාරී දේ සිදුවිය හැකියි. දැනට මේ සිදුවන තත්ත්වය ගැන ඉකුත් අප්‍රේල් මාසයේ මා එක්තරා සඟරාවකට ප්‍රකාශ කළා. එමෙන්ම 2004 දී සුනාමිය ගැනත් මා මුලින්ම විද්‍යුත් මාධ්‍යයකින් ප්‍රකාශ කළෙත් අප්‍රේල් මාසයේදීයි.


21 වැනිදා සිට ඉදිරියට එවැනි දේ සිදුවන ග්‍රහචාරයක් නිර්මාණය වන බව පෙනෙනවා. භූමිකම්පා ජල ගැලීම්, කාලගුණ විපර්යාස, උෂ්ණත්ව වෙනස්කම්, සුළි සුළං, ගිනිකඳු පිපිරීම්, අයිස් කඳු දියවී යෑම, භූගතව තිබෙන වායු පිටතට විත් ගිනි ගැනීම් විය හැකියි. මේ නිසා නියං හා සාගත තත්ත්ව ඇතිවිය හැකියි. ඒවා මිනිස් ජීවිතවලට බලපානවා. ලෝක ආර්ථිකයට මෙයින් පහර වදිනවා. 


අප රට ආසන්නයේ මුහුදේ මහා භූමිකම්පාවක් වුවහොත් ඇතිවන ජල ගැලීම් නිසා හානිවිය හැකි නොවේද?
2004 සුනාමි තත්ත්වය ඇතිවුණේ අප රටට බෙහෙවින් අෑත පිහිටි සුමාත්‍රා දූපත අසල මුහුදේ භූ කම්පනයකින්. 2004 දෙසැම්බර් 26 වැනිදා දවස උදා වන විට ශ්‍රී ලංකාවට උදාවී තිබුණේ ධනු ලග්නයයි. (සටහන 2) කටක නවාංශකයයි. මුවසිරස නැකතේ 04 වැනි පාදයයි. 


ඊට බෙහෙවින් සමාන වන ග්‍රහචාරයක් 2012 දෙසැම්බර් 28 වැනිදා උදේ 6.30ට උදාවෙනවා. යම් යම් වෙනස්කම් තිබුණත් එහි බොහෝ සමානකම්ද තිබෙනවා. ඒ නිසා 21 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළ රටටත් ලෝකයටත් බලපාන ස්වාභාවික ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වීට ඉඩ නැතුවා නොවේ.

දෙසැම්බර් 23 වැනිදා සිදුවන ග්‍රහමාරුව නිසා සිදුවන්නේ කුමක්ද?
මෙවැනි ග්‍රහ මාරු අවුරුදු 12කට වරක් සිදුවෙනවා. ශනි හා රාහු එක්වීම නිසා පෞද්ගලිකව ජීවිතවලට සිදුවිය හැකි අවැඩ වගේම රටට ලෝකයටද විවිධ විපත් සිදුවිය හැකියි. මා මුලින් සඳහන් කළ ප්‍රතිඵල සිදුවෙන්න පුළුවන්. 


ව්‍යසන සියල්ල නිශ්චිතව සඳහන් කිරීම මනුෂ්‍යයන් බිය ගැන්වීමක් වෙනවා. එහෙත් වැදගත් වන්නේ බිය ඇති කර ගැනීම නොව තම තමන්ගේ ආගම දහමට අනුව තමාටත් ලෝකයටත් වැඩදායක ගුණගරුක පුද්ගලයන් බවට පත්වීමට අධිෂ්ඨාන කර ගැනීමයි.

 
Related Posts with Thumbnails