Ads 468x60px

.

එෆ්. එම්. නාලිකාවක් කල හදියක්...

ඛේදවාචකයකින් අවසන් වූ එෆ්. එම්. නාලිකාවේ රාජකීය සෙල්ලම...

වෘත්තීය ජීවිතයේ දී අප අතින් සිදුවන සමහර අත් වැරදි හැඳින්වෙන්නේ “වෘත්තීමය සියදිවි නසාගැනීම්” ලෙසයි. වෘත්තියේ දී සිදු වූ එක් අතපසු වීමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ හෙදියක පිළිබඳ දුක්බර කතාවක් පසුගියදා බ්‍රිතාන්‍ය දෙසින් වාර්තා වුනා. 

ඇයට මෙම ඛේදවාචකයට මුහුණ දීමට සිදු වූයේ වෘත්තීය ගෞරවය කෙළෙසෙන ලෙස හැසිරුණු තවත් පුද්ගලයන් දෙදෙනකුගේ ඇස් රතු වන ‘රාජකීය’ විහිළුවක් නිසාය. 

සිය කුළුඳුල් දරුවා පිළිබඳ පුවත නත්තල් දිනයේ දී ලොවට හෙළි කිරීමට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වූ කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය කේට් මිඩ්ල්ටන් බලා සිටියහ. එහෙත් අකමැත්තෙන් වුවද එම පුවත ඊට පෙර හෙළි කිරීමට සිදුවූයේ කේට් ගැබිනි සමයේ මුල් භාගයේදීම අධික වමනය හේතුවෙන් රෝහල්ගත කරනු ලැබිම නිසාය. 


අලි මදිවාට හරක් කීවාක් මෙන් රාජකීය යුවළට තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදු වූයේ කේට් ප්‍රතිකාර ලැබූ කින්ග් එඩ්වඩ් ද සෙවන්ත් (හත්වන එඩ්වඩ් රජ) රෝහ‍ලේ දී ජසින්තා සල්දන්හා නම් ඉන්දියානු ජාතික හෙදිය සියදිවි නසාගැනීම හේතුවෙනි.

මහ රැජින ඇතුළු රජ පවු‍ලේ සාමාජිකයන් ප්‍රතිකාර සඳහා යොමුවන කින්ග් එඩ්වඩ් ද සෙවන්ත් රෝහල බ්‍රිතාන්‍යයේ ඇති විශිෂ්ටතම රෝහලකි. ජසින්තා නම් 46 හැවිරිදි හෙදිය රාත්‍රී සේවයේ යෙදී සිටියදී පාන්දර 5.30ට පමණ රෝහලට දුරකතන ඇමතුමක් ලැබුණි. 


 
දුරකතන ක්‍රියාකරන්නිය රාත්‍රී සේවයේ නොයෙදෙන නිසා රාත්‍රියේ පැමිණෙන ඇමතුම්-වලට පිළිතුරු දෙන්නේ හෙදියන් විසිනි. එහෙත් ඔවුන්ට අවසරය ඇත්තේ ඇමතුමට පිළිතුරුදී පණිවුඩය ලබා ගැනීමට පමණි. ඇමතුම තවත් තැනකට සම්බන්ධ කිරීමට ඔවුන්ට බලයක් නැත. 

එහෙත් ජසින්තා පිළිතුරු දුන් මෙකී ඇමතුම ලැබුණේ බ්‍රිතාන්‍ය මහ රැජින සහ ඔටුන්න හිමි චාල්ස් කුමරුගෙනි: එනම් රෝගියාගේ සැමියාගේ ආච්චි අම්මා සහ මාමණ්ඩියගෙනි. ඔවුන්ට අවශ්‍ය වූයේ කේට්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන ගැනීමටයි. 

ඇමතුම ලැබුණේ වෙන කිසිවෙකුගෙන්වත් නොව මහ රැජින සහ ඔටුන්න හිමි කුමරාගෙනි. ඒ නිසා ජසින්තා ද සැක සංකාවකින් තොරව දුරකතන ඇමතුම කේට් සිටි වාට්ටුවට සම්බන්ධ කළා ය. එම ඇමතුම ලබා ගත් වාට්ටුවේ සිටි තවත් හෙදියක් කේට් සම්බන්ධ තොරතුරු සියල්ල දුරකතනය ඔස්සේ පැවැසුවාය.

ජසින්තාගේ සහ අනෙක් හෙදියගේ අවාසනාවට මෙම දුරකතන ඇමතුම දී තිබුණේ සැබැවින්ම මහ රැජින සහ චාල්ස් කුමරු විසින් නොවේ. මෙය ඕස්ට්‍රේලියාවේ “ටුඩේ එෆ් එම්” නම් ගුවන්විදුලි නාලිකාවක නිවේදකයකු සහ නිවේදිකාවක වන මයිකල් ක්‍රිස්ටියන් සහ මෙල් ග්‍රේග් එක් වී කළ ඇස් රතු වන විහිළුවකි. 


ඇමතුම ලබා දීමෙන් නතර නොවූ ඔවුන් එය පටිගත කර සිය නාලිකාවේ ප්‍රචාරය කරමින් මහත් විනෝදයක් ලැබූහ. පුද්ගලයන් අපහසුතාවට පත් කරන මෙවැනි දුරකතන ඇමතුම් ලබාදීම අපේ රටේ සමහර එෆ් එම් ගිරවුන් විසින් ද සිදු කරනු අප අසා ඇත. ඔවුන් කටහඬ වෙනස් කර කතා කළ ආකාරයට ජසින්තා සහ අනෙක් හෙදිය රැවටී තිබුණි. 

තමන්ගේ නොසැලකිල්ල නිසා රජ පවු‍ලේ සාමාජිකයකුගේ පෞද්ග-ලිකත්වයට හානි සිදුවීම හෙදියන් දෙදෙනාටම දරාගත නොහැකි මරු පහරක් විය. ජසින්තා මෙම ගැටලුවට පිළිතුරු සෙව්වේ ඒ සඳහා ජීවිතෙන් වන්දි ගෙවීමෙනි. සිද්ධියට සම්බන්ධ අනෙක් හෙදිය ද තවමත් කම්පනයෙන් පසුවන බව වාර්තා වේ.

මෙම වරද සම්බන්ධයෙන් හෙදියන් දෙදෙනාට එරෙහිව විනයානුකූල පියවරක් ගැනීමට රෝහල් බලධාරීන් ඒ මොහො-තේම කටයුතු නොකළ බව පැවැසේ. තත්ත්වය සන්සිඳුණු පසුව හෙදියන් දෙදෙනා සමග මේ සම්බන්ධයෙන් ‘කතා කිරීමට’ රෝහල් බලධාරීන් බලා‍පොරොත්තු වූ බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වුවත්, ඇමතුම වාට්ටුවට සම්බන්ධ කිරීමට බලයක් නොමැතිව තිබියදී එසේ කළේ ඇයිදැයි ජසින්තාගෙන් රෝහල් බලධාරීන් අසා ඇති බව වාර්තා විය. 

දුරකථන ඇමතුම සම්බන්ධයෙන් රජ පවුල විසින් අදාළ හෙදියන්ට සිය අප්‍රසාදය පළ කළේදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රජ පවු‍ලේ ප්‍රකාශකයකු කියා තිබුණේ එසේ නොකළ බවත්, සිදුවීමට සම්බන්ධ වූ හෙදියන්ට සහ රෝහල් සේවක මණ්ඩලයට රජ පවුල විසින් සිය සහය පළ කළ බවත්ය. 

කෙසේ වුවත් මෙම සිදුවීමට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබිමත් සමග ජසින්තා දැඩි කම්පනයට පත්වන්නට ඇති බව පැහැදිලිය. සියදිවි නසා ගැනීමට පෙර ජසින්තා විසින් සිය පවු‍ලේ අය වෙත ලියා ඇති ලිපියක් ද පසුව හමු වී තිබේ. 

කෙසේ වුවද ජසින්තා සියදිවි නසාගෙන ඇත්තේ කුමන ආකාරයකින්දැයි මාධ්‍යයට හෙළි වී නැති අතර මරණය සම්බන්ධයෙන් සැකයක් ඇති බව ඇගේ පවු‍ලේ අය විසින් පවසා ඇත. ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට අවසන්ව තිබුණත් මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නොතිබුණි.

මියගිය හෙදිය මීට වසර දහයකට පමණ පෙර ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණ ඇත. ඇය වසර හතරක් පමණ කින්ග් එඩ්වඩ් ද සෙවන්ත් රෝහ‍ලේ සේවය කර ඇති අතර, ඇය විශිෂ්ට හෙදියක ලෙස මෙන් ම ඉතා යහපත්, කාරුණික කාන්තාවක ලෙස ද රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම අසල්වැසියන් අතර ද ජනප්‍රිය-ත්වයක් හිමි කරගත් කාන්තාවකි. 


රෝහලක ගණකාධිකාරීවරයකු වන ඇගේ සැමියා සහ යොවුන් වියේ පසුවන දරුවන් දෙදෙනා මෙම සිදුවීමෙන් අධික කම්පනයට පත්ව ඇත. ඇගේ අවසන් කටයුතු ඉන්දියාවේ ශිර්වාහිදී පැවැත්වෙන බව සැමියා විසින් නිවේදනය කර තිබුණි.

මේ අතර, අදාළ දුරකතන ඇමතුම ලබාදුන් ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි නිවේදකයා සහ නිවේදිකාව මෙම සිදුවීමෙන් බෙහෙවින් කම්පනයට පත්ව සිටියහ. හුදෙක් විහිළුවට ලබා ගත් මෙම ඇමතුම මෙතරම් දුර දිග යතැයි ඔවුන් සිතා නැත. 


සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වූ රූපවාහිනී වැඩසටහනක දී හැඬූ කඳුළෙන් කතා කළ ඔවුන් දෙදෙනා සමාව ඉල්ලූහ. ඔවුන් දෙදෙනාට ලෝකයේ සියලුම රටවල ජනතාවගෙන් මරණ තර්ජන ද ඇතුළු විරෝධතා එල්ල වන්නට විය. 

කේට් ප්‍රතිකාර ලැබූ කින්ග් එඩ්වඩ් ද සෙවන්ත් රෝහ‍ලේ සභාපතිවරයා ද මෙම ක්‍රියාවට දැඩිව විරෝධය පළ කර තිබේ. මේ වන විට අදාළ නිවේදකයන් දෙදෙනා නිවේදන කටයුතුවලින් පමණක් නොව අන්තර්ජාලයේ මිතුරු සමාජ වබේ අඩවිවලින් පවා ඉවත් වී සැඟවී සිටින බව පැවසේ. 

මෙම සිදුවීම නිසා අදාළ ගුවන්විදුලි නාලිකාවට ලබා දෙන දැන්වීම් රැසක් ද නැවැත්වීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ. විලියම්-කේට් රාජකීය යුවළ මෙම සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබුණ ද පැමිණිල්ලක් කර නොමැති බව පැවැසේ.

වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් රහස්‍ය තොරතුරු ලබා ගැනීමේ වරදට මෙම නිවේදකයන් දෙපළ නීතිය හමුවට පැමිණවීමට හැකිද යන්න පිළිබඳ බලධාරීන් සොයා බලමින් සිටින බව වාර්තා වේ. ගුවන් විදුලි නාලිකාවේ හැසිරීම පිළිගත නොහැකි බව ඕස්ට්‍රේලියානු අගමැතිනී ජූලියා ගිලාර්ඩ් ද ප්‍රකාශ කර තිබුණි. 


මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව තුළ ද මේ වන විට පරීක්ෂණයක් අරඹනු ලැබ ඇත. ටුඩේ එෆ් එම් නාලිකාව මීට පෙර ද මාධ්‍ය සදාචාරයට පටහැනි මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් හෙළා දකිනු ලැබූ නාලිකාවකි.

කෙසේ වුවත් මෙම සිදුවීම තමන්ගේ වරදකින් සිදු වූවක් බව පිළිගැනීමට අදාළ ගුවන් විදුලි නිවේදකයා සහ නිවේදිකාව හෝ ඔවුන්ගේ ආයතන ප්‍රධානියා සූදානම් නැත. තමන් කිසිදු නීතියක් උල්ලංඝනය නොකළ බව ඔවුන්ගේ මතයයි. ඒ අනුව නිවේදක දෙපළගේ රැකියා අහිමි කිරීමට ගුවන් විදුලි ආයතනය බලා‍පොරොත්තු නොවන බව පැවැසේ. 


එහෙත් මියගිය හෙදියගේ පවුලට විශාල මුදලක් පරිත්‍යාග කිරීමට ගුවන්විදුලි නාලිකාව කටයුතු කරමින් සිටී. එසේම ඇයට ගරු කිරීමක් වශයෙන් මෙවර පැවැත්වීමට නියමිතව තිබූ නත්තල් උත්සවය ද නොපැවැත්වීමට එම නාලිකාව තීරණය කර ඇති බව පැවැසේ.
 
Related Posts with Thumbnails