Ads 468x60px

.

ඔබ සංවේදී නම් මෙම ලිපිය කියවීමෙන් වළකින්න!

පණ තියෙන නයෙක්‌ ගිලීම, නාග මාපිලෙක්‌ කටින් දා නහයෙන් ගැනීම

බුබුළු දමමින් පැහෙන තෙල් බැරලයට බැස නෑම...

තද රතුපාට වෙන තුරු රත්කරපු යකඩ කූරක්‌ ගිලීම...

සී. පී. සුනිල් ශාන්ත. උපන් ගම හොරණ. දැන් පදිංචිවෙලා ඉන්නේ පැල්මඩුල්ලේ. ඉස්‌සර හොඳ මැරතන් ධාවකයෙක්‌. බුදු දහම ගැන ලොකු උනන්දුවක්‌ ඒ කාලේ ඉඳලම තිබිල තියෙනවා... 

අභිධර්මය පිළිබඳ පතපොත නිතර කියවල, ඒ පිළිබඳ හදාරල ලබාගත් හොඳ දැනුමක්‌ තිබෙන බව කතාබහ කරද්දී අපිට දැනෙනවා. මතුගම කලුගල ආරණ්‍ය සේනාසනයේ කාලයක්‌ භාවනා කරල තියෙනවා. ඊට පස්‌සෙ යෝගී ක්‍රම පිළිබඳවත් හොඳින් හදාරල තිබෙන බවයි සුනිල් කියන්නේ.

එයා කියන්නේ යෝගී තුළින් ලබාගත් අධ්‍යාත්මික ශක්‌තිය නිසා එයාට ගොඩාක්‌ දේවල් කරන්න පුළුවන් කියලයි.

පණ තියෙන නයෙක්‌ ගිලීම, නාග මාපිලෙක්‌ කටින් දා නහයෙන් ගැනීම, බුබුළු දමමින් පැහෙන තෙල් බැරලයට බැස නෑම, තද රතුපාට වෙන තුරු රත්කරපු යකඩ කූරක්‌ ගිලීම, ගිනි දළු මැදින් ඇවිදයාම. පිටේ යකඩ කොකු ගසා ටොන් 2 1/2 ක්‌ බර වාහනයක්‌

කිලෝමීටර් 2 1/2 ක්‌ ඇදගෙන යැම, මුහුණේ කොකුගසා ඔන්චිල්ලාවක්‌ බැඳ දරුවකු ඔන්චිලි පැද්දවීම ඇතුළු අති දුෂ්කර මෙන්ම භයානක දේවල් ගණනාවක්‌ සුනිල් ශාන්තගේ හැකියාවන් වලට ඇතුළත්.

මම කියන්නම් මම දැකපු දේවල් ගැන.

සුනිල් ශාන්ත සංදර්ශනයකට සූදානම් වෙලා හිටියේ. දිගු කලිසමක්‌ හැඳ පාවහන් පැළඳ සිටියත් උඩුකය නිරුවත්ව තමයි සුනිල් ශාන්ත සංදර්ශන ඉදිරිපත් කරන්නේ....

මුලින්ම නයෙක්‌ ගිලින්නයි සූදානම. ලොකු පෙට්‌ටියක හිටපු නයාගෙ කඳ මැද්දෙන් අල්ලල උඩට ඉස්‌සුවා. උගෙ තිබුණේ නපුරු පෙනුමක්‌. එක පාරටම නයාගෙ පෙනේ හරියෙන් අල්ලල නයාගෙ ඔලුව කට ඇතුළට දැම්මා. වැඩි වෙලාවක්‌ ගියේ නෑ. නයා ගිල්ලා... (සුනිල් කියන්නේ නයාගෙ ඔලුව උගුරටම දාන්න ඕනෙ කියලයි). නයාගෙ වල්ගෙ කෙලවර කොටස අල්ලගෙනයි නයා ගිල්ලේ.....

නිරුවත් උඩුකය නිසා නයා බඩ ඇතුලෙ යන හැටි එළියට පේනවා... නයා ආමාශයට ගිහින් ආපසු හැරිල එන කොට තමයි උගෙ වල්ගෙ අත හරින්නේ....

හැබැයි මේ දර්ශනය දකින්න නම් හොඳ මානසික ශක්‌තියක්‌ තියෙන්නම ඕනේ... දරාගැනීමේ ශක්‌තිය අඩු අය මේ දර්ශන බැලීමෙන් වළකින්න කියල සුනිල්ගේ බැනර්වලත් ලියල තියෙනවා.

(මේ දර්ශනය ඡායාරූප ගන්න ගිය මගේ මිත්‍රයා මේ දර්ශනය ඉවරවෙන කම් ඉඳල තියෙන්නේ අහක බලාගෙන).

ඊළඟ දර්ශනය නාග මාපිලා, කටින් දාල නහයෙන් ගන්න එක... එකත් මුල් දර්ශනයට දෙවැනි නැහැ....

ඊළඟට මම දැක්‌කේ මුහුණේ කොකු 4 ක්‌ ගහල ඒ කොකුවල ඔන්චිල්ලාවක්‌ බැඳලා දරුවකු ඔන්චිලි පද්දන දර්ශනයක්‌... ඒක ඊට ඉස්‌සර සුනිල් ශාන්ත කවමදාවත් කරල නැහැ. දර්ශනය ඉවරවෙලා, මුහුණේ ගහපු යකඩ කොකු ගලවලා ඒ තැන්වල ගෑවේ වියළි මිරිස්‌ කුඩු... මට දැනුණේ ඒකත් එක අංගයක්‌ වගේ....

මේ සියලු දර්ශනයන් නිමවුණාට පස්‌සෙ සුනිල් ශාන්තගේ මුහුණෙන් එකදු ලේ බිඳුවක්‌ වත් පිටවුනේ නැහැ. ඒ වගේම කිසිදු වෙහෙසකර බවක්‌ තිබුණේත් නැහැ.

සිනාමුසු මුහුණින් ඉන්න සුනිල් ශාන්ත සමඟ මම කතා කළා. නයා ගැන.

"මහත්තයෝ... නයා කියන්නේ හලාහල විෂ තියෙන අහිංසක සතෙක්‌. නයා හැපුවට විෂ නෑ. දෂ්ඨකොළොත් තමයි විෂ.

නයාට හිස කොටස උඩට උස්‌සන්න පුළුවන් වුණොත් තමයි පෙනේ පුප්පන්න පුළුවන් වන්නේ. පෙනේ පිප්පුවොත් විතරයි දළ එළියට එන්නේ. දළ එළියට ආවොත් තමයි විෂ ගලා එන ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙලා දළ මුලින් විෂ ගලා ගෙන එන්නේ. ඒ වගේම නයා නිතර හැව අරින හොඳ පිරිසිදු සතෙක්‌.

නයා ගිලින්න ඉස්‌සෙල්ලා මම සොයා ගත්ත මේ දේවල් ගැන හොඳ අවබෝධයෙන් තමයි මම නයා ගිලින්නේ. මම කරන්නෙ නයාට ඔලුව උඩට උස්‌සන්න නොදී කෙලින්ම උගුරටම උගේ ඔලුව දාගන්න එක... ඌ බඩට ගිහින් ආපහු හැරිල එනව මට දැනෙන කොටයි මම වල්ගෙ අත හරින්නේ".

"මම කවදාවත් එක පාරක්‌ ගිලපු නයෙක්‌ නැවත වරක්‌ ගිලින්නේ නැහැ. ඒ පළවැනි පාර නයා බයටම ආපසු ආවත් දෙවැනි පාර මොනව කරයිද කියලා විශ්වාස නැති නිසා", සුනිල් ශාන්ත එහෙමත් කිව්වා.

සුනිල් ශාන්ත නයි සහ අනෙකුත් සර්පයන් පිළිබඳ ලබා ඇත්තේ ඉතා පළල් දැනුමක්‌. එසේ නොවන්නට මෙවැනි ඇඟ හිරිවැටෙන කර්තව්‍යයක්‌ කිසිසේත් කළ නොහැකියි. ඊට අමතරව කැත, බය සහ හිරිකිත ඉවත හල සුනිල් ශාන්තගේ අනෙකුත් දස්‌කම්ද විශ්මිතයි.

එක්‌තරා රූපවාහිණී නාළිකාවක ශ්‍රී ලංකාවේ දක්‌ෂයින් තේරීමේ තරගයකට සුනිල් ශාන්ත ඉදිරිපත්වී ඇතත් මෙම අංගයන්වල ඇති භයානක බව නිසාම එම තරගයෙන් ඉදිරියට යැමේ අවස්‌ථාව සුනිල්ට අහිමිවී ඇත.

මේ මොනදේ කළත් සුනිල් ශාන්ත කිසිම මුදලක්‌ තමන්ගේ සංදර්ශන තුළින් හොයාගෙන නැහැ. මීට පෙරදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් යම් මුදලක්‌ ඔහු වෙතට දුන් බවද හෙතෙම ස්‌තුති පූර්වකව සිහිකළා. 


මේ සියලු දේ කරන්නේ තමන්ගේ හැකියාවන් රටට ලෝකයට පෙන්වා අනාගතයේදී හෝ තම හැකියාවට සාධාරණයක්‌ ඉටුකර ගැනීමේ වුවමනාවෙන් බවත්ල මෙවැනි දස්‌කම් කිරම සඳහා අනුග්‍රාහක භවතකු නැතිකම තමන්ට තිබෙන විශාල ප්‍රශ්ණයක්‌ බවත් සුනිල් ශාන්ත පවසනවා...

විවාහකයකු වන සුනිල් ශාන්තගේ ආදරණීය බිරිඳ යමුනා ශ්‍රියානි මුණසිංහ සහ සුපුන් ශාන්ත, ධනංජය ශාන්ත යන පුතුන් දෙදෙනාත් හිරන්ති හංසිකා, ගිම්හානී සත්සරණී යන දියණියන් දෙදෙනාද තමන්ගේ ගමනට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් මා සමඟ පැවැසීය.

ඔහුගේ හැකියාවට ගෞරවයක්‌ ලෙස සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ප්‍රධාන සංඝයා වහන්සේලාගේ සහයෝගයෙන් "සබරගමු වංශාභිමානී ශිල්ප ශූරී" නම් ගෞරව නාමය සුනිල් ශාන්තට ලබාදී ඇත.

"මගේ හිතට එන ඕනම දෙයක්‌ මම කරනවා. මෙතෙක්‌ කළාට වඩා වෙනස්‌ දෙයක්‌ මම ඉදිරි දිනකදී කරන්න පුළුවන්... මම ගිනි දළු මතින් ඇවිද යාමත් එවැනි වෙනස්‌ දෙයක්‌... 


තව දින කිහිපයකින් විදෙස්‌ රටක සංදර්ශන කිහිපයක්‌ පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. එහිදී ඒ රටට ගැළපෙන අලුත් දෙයක්‌ කරන්නත් මම බලාපොරොත්තු වෙනවා..." සුනිල් ශාන්ත තමන්ගේ ඉදිරි බලාපොරොත්තුවන් පිළිබඳ යම් ඉඟියක්‌ පළ කළේ එලෙසය.

තමන් මෙතෙක්‌ ආ ගමන වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාටද, ක්‍රීඩා අමාත්‍යාංශයටද, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියටද, අගමැති කාර්ය මණ්‌ඩලයටද, එහි සම්බන්ධීකරණ ලේකම් අමිල සුදේශ් පියසිංහ මහතාටද, ත්‍රිකුණාමලය භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේ ගුණවර්ධන මහතාටද, සුසන්ත පුංචිනිළමේ අමාත්‍යවරයාටද, කලුගල ආරණ්‍ය සේනාසනයටද බෙහෙවින්ම ස්‌තූතිවන්ත වන බවද සුනිල් ශාන්ත මහතා පැවැසීය.

සමහරවිට මෙතෙක්‌ ඔහු කර ඇති විවිධ දස්‌කම් කළ වෙනත් අයකු ලොවේ කිසිම රටක නැති වන්නට පුළුවන. කරන කාර්ය කුමක්‌ වුවත් අවධානමට අභියෝග කරන මේ දක්‍ෂ නිර්භය මිනිසා අනාගතයේ දවසක ඔහුගේ හපන් කම් ලොවටම පෙන්වණු ඇතැයි අපද විශ්වාස කරන්නෙමු. එදිනට සුනිල් ශාන්තල අපේ රටේ අපේම කෙනෙකුවීම අපටද ආඩම්බර විය හැකි කාරණාවක්‌වණු ඇත.


 
 
Related Posts with Thumbnails