Ads 468x60px

.

හැම දවසක්ම සතුටින් ගත කරන්නයි මං කැමති - "මෙහි කුණු දැමීම තහනම්" හි ලක්මාලි කියයි...

මගේ ජීවිතේට වටිනාම දේ. ලොකුම දේ ලැබුණා...

දිගම කොණ්ඩේ තියෙන නිළිය කියලා ඇහුවොත් එක පාරටම මතකයට එන්නේ දිල්හානි ලක්මාලි. දිග කොණ්ඩය දිලිනිගේ රූප සම්පත්තිය වැඩි කරන ආභරණයක්.

ආරංචියේ හැටියට ඇය මේ දවස්වල කාලය ගත කරන්නෙ හුඟක් සතුටින්ලු. "මෙහි කුණු දැමීම තහනම්" ටෙලි නාට්‍යයේ සමාරා විදිහට මේ දවස්වල ජනප්‍රිය ඇය තව ටික දවසකින් "පුර කලණි" ටෙලි නාට්‍යයේ සඳරේණු විදිහටත් වෙස් මාරු කරගන්නවාලු.

මේ ඇයත් සමඟ කල කතා බහක්...

කොහොමද දිලිනි ඔයාට මේ අලුත් අවුරුද්ද?
ඉතා හොඳයි. හුඟක් සතුටින් ඉන්නවා. ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටකින් මම ඉන්නෙ.

ඔය තරම් සතුටක් මොනව හින්දද?
මගේ ජීවිතේට වටිනාම දේ. ලොකුම දේ ලැබුණා.

ඒ කිව්වෙ?
ආදරේ. අපේ ආදරේට මවුපියන්ගෙ කැමැත්ත, ආශීර්වාදය ලැබුණා.

ඒ කියන්නෙ පහුගිය අවුරුද්ද ඔයාට වාසිදායක වුණා?
ඔව්. අපේ ආදරේට මුලින් මවුපියන්ගෙ පොඩි පොඩි අකැමැතිකම් තිබුණා. ඒත් පහුගිය අවුරුද්දෙ ඒ හැම දෙයක්ම ජයගන්න අපිට පුළුවන් වුණා. මවුපියන්ගෙ කැමැත්ත ආශීර්වාදය ඉහළින්ම අපිට ලැබුණා. ඒ හින්දා මේ අවුරුද්ද මං පටන් ගත්තෙ හිතේ සැහැල්ලුවෙන් ආදරෙන්.ශෂිරංග වික්‍රමසේකර. එයා ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙක්. රංගන ශිල්පියෙක්.

කෙහොමද ඔයාට ශෂිරංග හමු වුණේ.
ජාතික රූපවාහිනියෙන් විකාශය වෙච්ච ටෙලි නාට්‍යයේ මගේ අයියා විදිහට රඟපෑවෙ ශෂිරංග. මාස 10ක විතර කාලයක් එක දිගට රූගත කිරීම්වලට සහභාගි වෙනකොටයි අපි හමුවුණේ. ඒ දැන හඳුනා ගැනීම් එක්ක පෞද්ගලිකවම මම එයාගෙ ගතිගුණවලට කැමැති වුණා. ඒත් යෝජනාව ගෙනාවෙ එයා. අපේ සම්බන්ධයට දැන් අවුරුදු තුනක් විතර වෙනවා.

ආදරවන්තියක් හින්දා මේ දවස්වල ඔයාට ආදරේ දැනෙන්නෙ මොන විදිහටද?
බොහොම සුන්දරව ආදරේ දැනෙනවා. ඒ ආදරයත් එක්කම මට රැකවරණයත් ලැබිලා තියෙනවා. ආදරය ජීවිතය ජීවත් කරනවා කියන එක ඇත්තම ඇත්ත.

පහුගිය අවුරුද්දෙ ආදරයට මවුපියන්ගෙ ආශීර්වාදය ලබාගත්තා වාගේ මේ අවුරුද්දෙ විවාහයත් සිදු වෙනවාද?
අපේ කේන්දරවල හැටියට සුබ නැකැත් දවස් තිබුණොත් සමහරවිට වෙඩින් එක මේ අවුරුද්දෙ ගන්න ඉඩ තියෙනවා. මගෙ ලොකුම බලාපොරොත්තුව හොඳ විවාහ ජීවිතයක් ගත කරන එක. ආදරණීය බිරියක් වෙන එක. ඇත්තටම ජීවිතේ හැම දවසක්ම සංතෝෂයෙන් ගත කරන්නයි මං කැමති.

නිළියක් හැටියට දිලිනිව වැඩිපුර දකින්න ලැබෙන්නෙ ගැමි චරිතවලින් නේද?
ඔව්. එහෙම දෙයකුත් තියෙනවා. මං හිතන්නෙ මගෙ පෙනුමටත්, කොණ්ඩේ දිග හින්දත් වෙන්න ඇති එහෙම වෙන්නෙ. ඒත් මං වෙනස් චරිත රඟපාන්න හරිම ආසාවකින් ඉන්නෙ. අන්ධ ගැහැනු ළමයකුගෙ නැත්නම් ශ්‍රව්‍යාබාධිත ගැහැනු ළමයකුගෙ චරිතයකට මං හරිම ආසයි. මේ අවුරුද්දෙ ඒ ආසාවත් ඉටු වෙනවා නම් කියලා හිතෙනවා.

නිළියක් හැටියට ඔයාට මේ කාලය තුළ මොනවගේ අත්දැකීම්ද තියෙන්නෙ.
හැම ටෙලි නාට්‍යයක්ම මට ලොකු අත්දැකීමක්. ඉස්සර රූපවාහිනියෙන් දැකපු මං ආදරය කරපු නළු නිළියොත් එක්ක එකට රඟපාන්න මට ලැබිලා. ඉතින් ඒ අත්දැකීමම මට ලොකු දෙයක්. ඇත්තටම මේ මම හීනෙකින්වත් හිතපු දේවල් නෙවෙයි.

අවුරුදු කුමරිය වීමත් හීනෙකින්වත් නොහිතපු දෙයක්ද?
අනේ ඔව්. ඒකත් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි. අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒක අදත් මට අදහා ගන්න බෑ. මම අම්මත් එක්ක මහරගමට ආවෙ වෙනත් වැඩකට.

එදා මහරගම යූත් සෙන්ටර් එකේ ධ්ඊව් අවුරුදු කුමරිය පළමු වටයේ තරගය පැවැත්වුණා. අම්මා කිව්ව ගිහින් බලමු කියලා. ඇප්ලිකේෂන් එකක්වත් දාලා තිබුණෙ නැති හින්දා මං අදිමදි කළත් අම්මාගෙ උනන්දුව හින්දා මමත් ගියා. අනෙක් තරගකාරියො හැමෝම රෙදි හැට්ට ඇඳලා හිටියෙ. මමත් ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම තරගයට ඉදිරිපත් වුණා. අන්තිම 15 දෙනා අතරටත් තේරුණා. 


අවසන් වටයේදී පළමුවැනියා හැටියට අංක 4 කියලා ඊට පස්සෙ මගේ නම ප්‍රකාශ වෙනකොට මිනිස්සු අත්පුඩි ගහන්න පටන් ගත්තා. ඒත් මොනවත්ම හිතා ගන්න බැරුව මම ඔහේ හිටියා. මට එහා පැත්තෙ හිටපු ගැහැනු ළමයා කිව්වා ඔයාටයි කතා කරන්නෙ කියලා. ඇත්තටම ඒ හැම දෙයක්ම තාමත් මට හීනයක් වගේ.

එතකොට නිළියක් වුණේ කොහොමද?
අවුරුදු කුමරිය විදිහට තේරුණාට පස්සෙ දෙරණ නාළිකාවෙන් විකාශය වෙච්ච ජානක සිරිවර්ධනගෙ පිනි බින්දු ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා. මම රඟපෑවෙ මින්කි කියලා ගැහැනු ළමයකුගෙ චරිතයක්. සුනිල් චන්ද්‍රසිරිගෙ "සිහිනවලට පාට දෙන්න" වේදිකා නාට්‍යයෙන් වේදිකා නාට්‍ය රංගනයටත් සම්බන්ධ වුණා. 


2010 රාජ්‍ය නාට්‍ය උළෙලේදි "සිහිනවලට පාට දෙන්න" නාට්‍යයේ මම රඟපෑ චරිතය හින්දා හොඳම සහාය නිළිය හැටියටත් මගේ නම නිර්දේශ වුණා. කපිල සූරියආරච්චිගේ "ප්‍රතිරූ" චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වෙන්නත් පුළුවන් වුණා.

මේ දවස්වල "මෙහි කුණු දැමීම තහනම්" ටෙලි නාට්‍යයේ සමාරාත් ජනප්‍රියයි නේද?
සමාරාත් හුඟක් ජනප්‍රියයි. ප්‍රවීණ නළු නිළියන් රැසක් එක්ක රඟපෑමේ අවස්ථාව මට ඒ ටෙලි නාට්‍යයෙනුත් ලැබුණා. ලැබෙන ජනප්‍රියත්වය වගේම ප්‍රවීණයන් එක්ක වැඩ කරන කොට ලැබෙන තෘප්තියටත් මං කැමැතියි.

ඉදිරියේදි ඔයාව දකින්න ලැබෙන්නෙ කවුරු හැටියටද?
ප්‍රසන්න ඉත්තෑපාන අධ්‍යක්‍ෂණය කරන "පුර කලණි" ටෙලි නාට්‍යයේ සඳ රේණු විදිහට මාව දකින්න පුළුවනි. නමින් සඳරේණු වුණාට ඇයට කතා කරන්නෙ පුණ්ණා කියලා. ඇය ගැමි නාගරික චරිතයක්. ගැහැනු ළමයකුගෙ ජීවිතයේ අපූරු පැතිකඩක් ඇය තුළින් ගෙන එන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.
 
Related Posts with Thumbnails