Ads 468x60px

.

උදාරි මිය ගියේ මොළයේ ඔඩු දිවූ රෝගයකින්ද.? රෝහලේ වරදින්ද.?

ඔළුව කැක්කුමකින් උදාරි පෙළෙන්නට වුණා...

බලා සිටියදී දියණිය මලානික වී, ඇගේ දෙතොල් වියළී ගියා...

උදාරිව බේර ගන්න බැරි තරමට රෝහලේ මිනිසුන් උදාර වූයේ නැත්තේ ඇයි?' පෙරේදා (16දා) රාත්‍රි රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයේ උදාරි පිළිබඳ කතාව බොහෝ අයගේ කන වැකුණේ එසේය.

බොහෝ මවුවරුන්ගේ හදවත් කම්පාවෙන් පිරවූ අනුකම්පාවෙන් බර කළ එකී කතාන්දරය රූපවාහිනියේ පෙළ ගැසෙද්දී බොහෝ ප්‍රවෘත්ති ප්‍රේක්‍ෂකයන් තම හදවතේ නැඟි අනුකම්පාවෙන් ඒ දෙස බලා සිටින්නට ඇත.

ජනවාරි පහළොස්වැනිදා කැලණිය ගුරුකුල විද්‍යාලයට දැඩි ශෝකාකූල දිනයකි. සිය පාසලේ සහෝදරියක මිය ගිය පුවතින් 'ගුරුකුලයම' කම්පාවෙන් ඇලළී ගොස් තිබිණි. විදුහල්පති, ගුරුවරු, සිසු සිසුවියෝ, උදාරිගේ යහළු යෙහෙළියන් සහ මුළු පාසලම සිටියේ කැලඹීමෙනි. හිස කැක්කුමක් ආ උදාරි මිය ගියේ කෙසේද? 


පෙර දිනයේ ඉතා හොඳින් කල් යැවූ ඇය මිය ගිය පුවත ඇදහිය නොහැකිව ඇගේ මිතුරියෝ කඳුළු සලන්නට වූහ. මරණයේ අපේක්‍ෂිත බවේ වේදනාව මේ සියල්ලන්ට වඩා හොඳින් දැනුණේ උදාරිගේ මවටය. ඇය මාලා ශ්‍රියානිය.

තමන් පදිංචිව සිටි වැලිවේරිය ඉඹුල්ගොඩ පිහිටි තම නිවෙසේ දින කීපයකට පෙරත් සුවෙන් සිටි දියණියගේ මිය යෑමෙන් අෑ වික්‍ෂිප්තව සිටියාය. කෝපයෙනුත්, වේදනාවෙනුත් ඇගේ දෑස් තෙමී ඉදිමී තිබිණි. රෝහලේ සෑම අයකුම පාහේ මාලා මහත්මියට පෙනෙන්නට වූයේ තම දියණිය බිලිගත් නරුමයන් මෙන්ය. 


එහෙයින්ම, තවමත් මාලා මහත්මිය තම දියණියගේ මරණයට වගකිව යුත්තේ රෝහල් බලධාරීන් බව චෝදනා කරන්නීය. නමුත්, රෝහල් බලධාරීහු එය ප්‍රතික්‍ෂේප කරති. වරද වූයේ කොතැනද? උදාරි මිය ගියේ හිස කැක්කුම උස්සන්න වී ඒ හා සම්බන්ධ රෝගයකින්ද? නැතිනම් රෝහල් බලධාරීන්ගේ වරදින්ද? ඇත්ත කුමක් වුවද මෙකී අනපේක්‍ෂිත සිදුවීම විමසා බැලීමට ඕනෑම අයකු එකඟ වනු ඇත.

උදාරි ඉරේෂිකා වීරරත්න වයස අවුරුදු දහ අටක් සපිරුවා පමණි. උදාරි වයස දහ අටක යෞවනියක වනතුරු කිසිදු ශරීරාබාධයකින් තොරව උස් මහත් වූ තරුණියකි. ජීවිතයේ විවිධ කඩඉම් පසු කරමින් යෞවනයට පය තැබූ උදාරි ඉරේෂිකා තවත් එක්තරා කඩඉමකට සාර්ථකව මුහුණ දී ජය ගැනීමේ වුවමනාවෙන් නිබඳ පසු වූවාය.


කැලණිය ගුරුකුලයේ ඇය උසස් පෙළට උගන්නා ශිෂ්‍යාවකි. උසස් පෙළ සිහිනය ජය ගනු වස් ඇය සාමාන්‍ය පරිදි ජීවිතයට මුහුණ දෙමින් අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් සිටියාය. කිසිදු අසාමාන්‍යතාවකින් තොරව නිරෝගී යෞවනියක ලෙස ඇය දිවි ගෙව්වාය. දහ හතරවැනිදා දිනයද උදාරි නිමා කිරීමට සිතන්නේ සාමාන්‍ය පරිදි වුවද අසාමාන්‍ය දෙයක් සිදුවන්නේ නිවෙසේ අයවලුන්ද නොසිතූ පරිදිය.

හිටිවනම කොහේදෝ සිට ආ හිස කැක්කුමකින් උදාරි පෙළෙන්නට වූ බවත් එයින් ඇය බොහෝ පීඩාවට ලක්වූ බවත් උදාරිගේ මව මාලා ශ්‍රියානි මහත්මිය කියන්නීය. හිස කැක්කුම උත්සන්න කරමින් උදාරි වමනය කිරීමට පටන් ගත් බවත් එම රාත්‍රියේදීම උදාරි රැගෙන ගම්පහ මූලික රෝහලට තමන් කඩිනමින් ගිය බවත් මාලා මහත්මිය පවසන්නීය.


ඇයට තම දියණියගේ මරණය මහත් වේදනාවක් වන්නේ දියණිය විඳි වේදනාව තමන් දුටු නිසාත් තම ඇස් ඉදිරියේ උදාරි එම වේදනාවෙන්ම මෙලොව අතහැර ගිය නිසාත්ය. ගහට පොත්ත මෙන් සිටින මවත්, දියණියත් අතරට මාරයා පැමිණීම බොහෝ අයගේ සිත් කම්පා කෙළේ මෙකී අහඹුව නිසාවෙනි.

මාලා මහත්මිය පවසන පරිදි දැඩි වේදනාවකින් පසු වූ උදාරි කෙරෙහි රෝහල් බලධාරීන් ප්‍රතිකාර කිරීමට උනන්දුවක් දක්වා නැත.

ඇය කියන්නේ හිස කැක්කුම සෑදී ගම්පහ මූලික රෝහට ගෙන ගිය උදාරිව පළමුව පරීක්‍ෂා කළ ප්‍රාථමික ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරිය උදාරිගේ රෝගය ගැන සැලකිලිමත් නොවූ බවය. 


උදාරි නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලේ නවතා ගැනීමෙන් පසු පළමුව රෝගියා පරීක්‍ෂා කළ වෛද්‍යවරිය ඇයට ෆාමසියෙන් ගෙනෙන ලෙස බෙහෙතක් නියම කර තිබිණි. එලෙසම රාත්‍රියේ සිටි වෛද්‍යවරයාද රෝගියාට ෆාමසියෙන් රැගෙන ඒමට බෙහෙතක් ලියා දුන් බව මාලා මහත්මිය පවසයි.

රාත්‍රියද, දවාලද කියා නිනව් නැති මාලා මහත්මිය තම දියණිය වෙනුවෙන් ෆාමසියට දිවූයේ ජීවිතය බිලි ගැනීමට තරම් අසීරු බවක් ඇගේ ශරීරයේ ඇතැයි යන්න සිතා නොවේ. දෙවැනි වතාවට ෆාමසියෙන් ගෙනා බෙහෙත් උදාරිට දුන් පසුව රෝහලෙන් රෝගියාට සේලයින් දී ඇති අතර ඉන් අනතුරුව එන්නතක් ලබාදී ඇත. 


ඉන්පසු මාලා මහත්මිය බලා සිටියදී දියණිය මලානික වී, ඇගේ දෙතොල් වියළී ගිය බවත්, අලුයම උදාරි මෙලොව හැර ගිය බවත් ඇය හැඬ­ූ­ කඳුළින් පවසන්නීය. මාලා මහත්මිය සිය දියණියගේ මරණය සැක සංකා ගම්පහ පොලිසියට පැමිණිලි කොට ඇත්තේද එසේය.

රෝහල් බලධාරීන් පවසන පරිදි උදාරි මියගොස් ඇත්තේ හිස කැක්කුම අතර ඇතිවූ මොළයේ ඉදිමුමකිනි. මෙය ගම්පහ රෝහලේ මරණ පරීක්‍ෂණ වාර්තාවේද සඳහන් වුවත් මොළය ඉදිමුමට හේතුව කුමක්ද යන්න සෙවීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත උදාරිගේ දේහය යොමු කර ඇත. ඇගේ මව හැඬ­ූ කඳුළින් පවසන්නේ දියණිය මිය ගියේ වෛද්‍යවරුන්ගේ වරදින් බවය. 


නමුත්, පරීක්‍ෂණ තවමත් සිදුවෙමින් පවතී. උදාරි මිය ගියේ කලක් තිස්සේ හඳුනා නොගත් මොළයේ ඔඩු දිවූ රෝගයකින්ද? රෝහලේ වරදින්ද? යන්න තහවුරු කර ගන්නා තුරු කැලණිය ගුරුකුලය, උදාරි දිවි ගෙවූ වැලිවේරිය, ඉඹුල්ගොඩ ප්‍රදේශවාසීහු මෙම සිදුවීම ඇසූ - දුටු ජනතාවද ශෝකයෙන් බලා සිටිති.
 
Related Posts with Thumbnails