Ads 468x60px

.

මේනක රාජපක්ෂ ඇත්ත කතාව කියයි - අපි විවාහ ගිවිසගත්තා යැයි කියන කතාව අමූලික බොරු...

ඒකෙ ඇත්ත කතාව මේකයි... 

මගේ අම්මාගේ  60 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 25 වැනිදාටයි

දැකපු කෙනෙක් ලබාදීපු වැරදි තොරතුරක්...

පුංචි තිරයේ ටෙලිනාට්‍යවලදී බොහෝවිට එක්ව දකින්නට ලැබෙන නළුනිළි දෙපළක් වන මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්, සැබෑ ජීවිතයේදීද පෙම්වතුන්  වග දැන් රහසක් නොවේ. 

මාධ්‍යයන්ගේ නිරන්තර අවධානයට ලක්වන යුවළක් වන මේනක සහ නෙහාරාගේ නම් ඈඳාගනිමින් මේ දිනවල තවත් ආරංචියක් පැතිරයයි. ඒ, මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්, හොර රහසේම විවාහ ගිවිසගෙන ඇති බවයි.

ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?

නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.

නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?

ඒකෙ ඇත්ත කතාව මේකයි. මගේ අම්මාගේ  60 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 25 වැනිදාටයි. අම්මාගේ උපන්දිනය සැමරීමට හෝටලයක් තෝරාගන්න මමත් නෙහාරත් මගේ සහෝදරියත් හෝටල් සොයමින් ගියා. 


ඒ දිනවල අපි ඒ සාදයට සූදානම් වෙමින් හිටියේ. මම හිතන්නේ, ඒ උපන්දින සාදයට වුණු සුදානම දැකපු කෙනෙක් ලබාදීපු වැරදි තොරතුරක් තමයි, මමත් නෙහාරත් විවාහ ගිවිස ගත්තා කියන ආරංචිය තටුගසා පැතිර ගොස් තිබෙන්නේ.

මෙවැනිදේ මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නේ ඔබ වැනි අය  සත්‍ය තොරතුරු මාධ්‍යයට හෙළි නොකරන නිසා නේද ?

ඇත්තටම යම් මාධ්‍යයක් යම් ප්‍රවෘත්තියක් පළකරනවා නම්, ඒ පුවතේ සත්‍ය අසත්‍යතාවය හරිහැටි සොයාබැලීමෙන් පසුවයි එය පළකළ යුත්තේ. මාධ්‍යවලින් මේ වගේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නිසා, රටේ ප්‍රසිද්ධ චරිත විදියට අපිට බොහෝ අපහසුතාවයන්ට මුහුණදෙන්න සිදුවනවා.


නමුත් මේ වගේ අසත්‍ය තොරතුරු පළකරන විට ඒ මාධ්‍ය ආයතන ඒවායින් අපට වන හානිය ගැන හිතන්නේ නැහැ. මේ වගේ දේවල් පළකරන වබේ අඩවි ගැන නම් කතා කරලත් වැඩක් නැහැ. 

මොකද, තමන්ට යම් දෙයක් ආරංචි වුණාම ඒ වබේ අඩවි පවත්වාගෙන යන අය ඒවා පළකරනවා මිස ඒවායේ ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැහැනේ. ඒ වබේ අඩවිවල පළකරන ප්‍රතිචාර (comments) වලින්ම තේරෙනවා, ඒවා නරඹන අයගේ මානසික තත්ත්වය මොන වාගේද කියලා.

කොහොමවුණත්, ඔබත් නෙහාරාත් ඉදිරියේදී විවාහවීමට බලා‍පොරොත්තුවෙන් සිටින බව ඇත්ත නේද ?

ඔව්. අපි දෙන්නා පෙම්වතුන් බව දැන් අපි මාධ්‍යයටත් හෙළිකරලයි තියෙන්නේ. අපිට හැමදාම පෙම්වතුන් විදියටම ඉන්න බැහැ. අපි දෙදෙනා කවදා හෝ විවාහ ජිවිතයට ඇතුළත් විය යුතුයි.

ඒ ආරංචිය ළඟදීම අසන්නට ලැබේවිද ?

අපේ විවාහය කවදා සිදුකෙරෙයිද කියලා මට තවම හරියට කියන්න බැහැ. අපි ඒ ගැන හොඳට සැලසුම් කරලා, සුදුසුයි  කියලා හිතෙන කාලයක අපි විවාහ දිවියට ඇතුළත් වෙනවා. එදාට අපි අපේ විවාහය හොර රහසේ කරන්නේ නැහැ. මාධ්‍යයටත් ඒ ගැන දැනුම්දීලයි ඒ කටයුතු කරන්නේ.

ඔබේ රංගන ජීවිතය මේ දිනවල ගෙවියන්නේ මොන විදියටද ?

මම මේ දිනවල තරමක් කාර්යබහුල වෙලයි ඉන්නේ. මේ දිනවල මම සංසාර සක්මන, සිටුමැදුර, පබළු පාලම යන ටෙලිනාට්‍යවල රංගනයේ යෙදෙනවා. මේ දවස්වල මම වැඩිපුර නිර්මාණ බාරගන්නේ නැහැ.

මෙගා වර්ගයේ ඇතැම් ටෙලිනාට්‍යවල පිටපත ලියැවෙන්නේ රූගත කිරීම් අතරෙදී බව ප්‍රකට කාරණයක්. මෙගා වර්ගයේ ටෙලිනාට්‍යවලටත් දායකත්වය ලබාදෙන රංගන ශිල්පියකු මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද ?

සමහර මෙගා ටෙලිනාට්‍ය පිටපත ලියැවෙන්නේ එදාට රූගත කිරීම්වලට  පැමිණිලා සිටින නළු නිළියෝ දිහා බලලයි කියන කතාව මටත් ඇහිලා තියෙනවා. මෙගා වර්ගයේ හෝ වෙනත් ටෙලිනාට්‍යයක හෝ ඒ විදියට සැලසුමක් නැතිව පිටපත් ලියැවෙනවා නම්, ඒවායේ ගුණාත්මක බව අඩුවෙනවා. 


මොකද දැන් ප්‍රේක්ෂකයන් ඉතා බුද්ධිමත්. ඒ නිසා දැන් ඔවුන්ට ලෙහෙසියෙන් බොරු කරන්න බැහැ. ඔවුන්ට ඒ බව තේරෙනවා. නමුත් වාසනාවකට මට නම් තවම එවැනි ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබිලා නැහැ.

ඔබ සඳහන්  කරන්නේ ඔබ මතෛක් දායකත්වය ලබාදී තිබෙන සියලු ටෙලිනාට්‍ය ගුණාත්මක බවින් ඉහළ ඒවා බවද ?

නැහැ. මම එහෙම කියන්නේ නැහැ. කොහොම වුණත් පසුගිය අවුරුදු හතර පුරා මම දායකත්වය ලබාදුන් මෙගා ටෙලිනාට්‍ය තුනම ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත්තා. ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය විවිධයි. ඔවුන්ම තමයි තීරණය කළ යුත්තේ ඒවා   ගුණාත්මක බවින් ඉහළ ඒවාද නැතිනම් බාල වර්ගයේ ටෙලිනාට්‍යයද කියලා.

ඔබ වැඩිපුර දැකගන්නට ලැබෙන්නේ ටෙලිනාට්‍යවලයි. සිනමාව සඳහා ඔබ දායකත්වය ලබා නොදෙන්නේ ඇයි ?

මම
මෙතෙක් දායකත්වය ලබාදී තිබෙන්නේ “සිංහාවලෝකනය ” චිත්‍රපටයට පමණයි. හොඳ චිත්‍රපටයක රඟපෑමේ ආශාවක් මට තිබෙනවා. නමුත් ටෙලිනාට්‍යවලදී වාගේ නොවෙයි, චිත්‍රපටයක චරිතයක් බාරගනිද්දී මම ගොඩාක් සැලකිලිමත් වෙනවා. 

මොකද අද රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව, චිත්‍රපටයක් නරඹන අදහසින් ප්‍රේක්ෂකයෙක් ගෙදරින් එළියට බැස්සොත්, ඒ එළියට බහින වෙලාවේ සිටම ඔහුට මුදල් වැයවෙනවා. රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් නරඹද්දී නම් ඔවුන්ට තෝරාගැනීම් ගොඩාක් තියෙනවා. 

නමුත්, මුදල් ගෙවලා පැය දෙකක් දෙකහාමාරක් වගේ කාලයක් චිත්‍රපටයක් නරඹනකොට ඒ චිත්‍රපටය හොඳ නැත්නම් කෙලින්ම ඇඟිල්ල දිගුවෙන්නේ එහි රංගන නළු නිළියන්ටයි. කොහොම වුණත් දැනටමත්  මම චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. සමහර විට මම මේ වසරේදී චිත්‍රපටයක දෙකක රඟපාවි.
 
Related Posts with Thumbnails