Ads 468x60px

.

හලාල් හලාල් හලාල් - මොකද්ද මේ හලාල් කියන්නේ

හලාල් යනු අරාබි වදනකි...  

එහි අර්ථය වන්නේ “අවසරලත්” “අනුමත” වැනි දෙයක්...

හලාල් යනු මේ දිනවල නිතර කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති දෙයකි. ඉතින් අපිටත් හිතුනා මේ හලාල් පිළිබඳව ටිකක් හොයල බලන්න. විවිධ අය අතර මේ පිළිබඳව ඇත්තේ එකිනෙකට වෙනස් අදහස් බව ද කරුණු විමසා බලන විට පෙනෙන්නට තිබෙනවා. 

ඇතැමෙකු සිතන්නේ මෙය ප්‍රමිති සහතිකයක් ලෙස වන අතර ඇතැමෙකුට මෙය එක්තරා ආහාර වට්ටෝරුවකි. මීට අමතරව තවත් විවිධ අදහස් ද තිබෙන බැව් පෙනේ. එබැවින් මේ පිළිබඳ කතාබහ කිරීමේ වරදක් නැතැයි සිතේ.

හලාල් යනු අරාබි වදනකි.  එහි අර්ථය වන්නේ “අවසරලත්” “අනුමත” වැනි දෙයකි. ඉස්ලාමීය නීතියට අනුව යම් කිසි දෙයක් භාවිත කිරීමට හෝ යම් කිසි ක්‍රියාවක්  සිදු කිරීමට ඇති අවසරය හෝ අනුමත බව මෙයින් කියැවේ. 

බොහෝ විට මෙය යොදනු ලබන්නේ ඉස්ලාමීය නීතියට අනුව මුස්ලිම් ජාතිකයන්ට ආහාර සඳහා ගැනීමට අවසර දී ඇති ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. 

මෙහි විරුද්ධ අර්ථ වන්නේ “හරාම්’ ය. එනම් අවසර දී නැති හෝ අනුමත නොකරන ලද යන අර්ථයයි. හලාල් ආහාර යනු ඉස්ලාමීය ආහාර මාර්ගෝපදේශනවලට අනුව කෑමට ගැනීමට අවසර ලැබි ඇති ද්‍රව්‍ය වේ. 

මෙහිදී අවසර ලැබි ඇත්තේ කුමන ආහාරවලට ද යන්න පමණක් නොව ඒවා පිළියෙළ කරගත යුත්තේ කුමන ආකාරයෙන් ද යන්නත් සඳහන් වේ.  මෙය බොහෝ විට යොදනු ලබන්නේ මාංශ හෝ සත්ව ආහාර සම්බන්ධවය.

අපට පෙනෙන්ට ඇත්තේ හලාල් යන්න ආහාර සඳහා යොදා ගන්නා බව මුත් මෙය මුස්ලිම් ජාතිකයන්ගේ සියලු කටයුතු සඳහා යොදා ගන්නා නීති පද්ධතියක් බව කිව යුතුය. ඔවුන්ගේ ෙදෙනික ජීවිතයේ සියලු කටයුතු හලාල් හෝ හරාම් මත තීරණය වේ. 

එමෙන්ම මස් හෝ සත්ව ආහාර පමණක් නොව සකසන ලද ආහාර, ඖෂධ වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය ආදිය ද මෙම නීතියට යටත් වේ. මීට හේතුව වන්නේ මේ සියලු දෙයකම පාහේ සත්ව නිෂ්පාදන අඩංගු වීමයි. ඉස්ලාම් නීතියට අනුව මෙසේ යොදා ගන්නා සත්ව කොටස් හරාම් නම් ඒවා මුස්ලිම් ජාතිකයන්ට නුසුදුසු ආහාර වේ.

මුස්ලිම් ජාතිකයන් සිය ආහාර ලෙස නුසුදුසු තත්ත්වයේ ලා සලකන ද්‍රව්‍ය කිහිපයක්ම වේ. ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරන්නේ කුරානයේ ඒ බව සඳහන්ව ඇති ආකාරයටය.

මේ පිළිබඳ කුරානයේ 2-173හි මෙසේ සඳහන් වේ.

“(විශ්වාසවන්තයනි අනුභවයට) ඔබ වළක්වන ලද දැය නම් ඉබේ මරණයට පත් වූ දැයද, ‍ලේ ද, ඌරන්ගේ මාංශයද, (කුර්බාන් කරන විට) අල්ලාහ් නොවන වෙනත් නාමයක් කියන ලද දැයද වන්නේය.  

එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මයා නොයාද, පාපයක් කිරීමේ අදහසක් නොමැතිව සිටියදී, (මේවා අනුභව කිරීමට බල) කරනු ලැබුවහොත් (එය) ඔහු කෙරෙහි වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නකු වශයෙන් ද අසීමිත දයාබරව සිටින්නේය.”

මේ අනුව ඔවුනට ඌරු මස්, සත්ව රුධිරය, ඉබේ මැරුණු සතුන්, අල්ලාහ්ගේ නම නොකියමින් මරණ ලද සතකුගේ මස් ආහාරයට ගැනීමට අවසර ලැබි නැත. 

එමෙන්ම මරණ බියෙන් දඟලමින් මියගිය, මිය යන තුරු පහරකෑමට ලක්වූ උලකින් වැනි දෙයකින් ඇනීමෙන් මරණයට පත්  කරන ලද හෝ මරණයට පත්වූ, ඉහළ සිට බිමට වැටීමෙන් මරණයට පත්වූ, වෙනත් සතකුගේ ආහාරය පිණිස ගෙන ඉතිරි වූ සතකුගේ මාංශ ද ආහාරයට ගැනීම නුසුදුසු වේ. 

එමෙන්ම මද්‍යසාර ද මුස්ලිම් ජාතිකයන්ට නුසුදුසු පානයකි. මේ සම්බන්ධ සියලු කරුණු කුරානයේ 20173, 5-5 සහ 6-118,119 හා 121 යන පාඨවලින් සොයා ගත හැකිය.

හලාල් වූ මාංශ ලබා ගැනීමට නම් සතකු මරණයට පත් කළ යුත්තේ ද කුරානයේ ඇති උපදෙස්වලට අනුකූලවය. නමුත් ඉස්ලාමීය නීතියට අනුව මත්ස්‍යයින් සහ මුහුදු අනෙකුත් මුහුදු සතුන් හලාල් විධික්‍රමවලින් තොරව පරිභෝජනයට ගැනීමේ වරදක් නැත. වෙනත් ලෙසකින් කිවහොත් මුහුදේ සිටිනා සියලු සතුන් හලාල්ය.

මුස්ලිම් නීතියට අනුව සතකු මරණයට පත් කිරීමේ දී ඉතා තියුණු පිහියකින් සතාගේ බෙල්ලෙහි යටින් උගුර කොටසේ ක්ෂණිකව ගැඹුරු කැපුමක් ඇති කළයුතුය. මෙහිදී ගෙලෙහි ඇති ප්‍රධාන රුධිර නාලය, ස්වාසනාලය හා ගෙලෙහි පිහිටි අනෙකුත් ධමනි හා ශිරා කැපී යා යුතුය. මරණයට පත් කරනු ලබන සතාගේ ගෙල මක්කම පිහිටි කාබා පල්ලිය දෙසට හැරී තිබිය යුතුය. 

එමෙන්ම සතකු ඝාතනය කරනා විට අල්ලාහ්ගේ නාමය උච්චාරණය කළ යුතුය. කුරානයේ සඳහන් අන්දමට මුස්ලිම්වරුන්ව විසින් සියලු සතුනට ගෞරවයෙන් සැලකිය යුතු වන අතර ඔවුන් හොඳින් රැකබලා ගැනීම ද සිදු කළ යුතුය.

කුරානයේ සුරා 5-5 කොටස් මෙවැන්නක් සඳහන් වේ.

“යුදෙව්වන්ගේ හා කිතුනුවන්ගේ ආගමික ‍පොත්වලින් ඔවුන්ට කෑමට අවසර ලැබි ඇති ආහාර වර්ග නුඹලාට ද සුදුසු වේ. මේ අනුව යුදෙව්වන් හා කිතුනුවන්ගේ ආහාර පුරුදු හා ඔවුනගේ ආහාර මුස්ලිම් ජාතිකයන්ට හලාල්ය. නමුත් මෙය වර්තමානයට කෙතරම් දුරට අදාළදැයි කිව නොහැකිය. 

ඊට හේතුව මහමත්තුමාගේ සමයේ සිටි කිතුනුවන්ට වඩා වර්තමානයේ සිටින කිතුනුවන් කාලයත් සමඟ සිය ආහාර පුරුදු, සතුන් ඝාතනය කරනා උපක්‍රම සියල්ල වෙනස් කොට ඇති බැවිනි. වර්තමානයේ මොවුන් බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් අන්දමට සතුන් ඝාතනය කිරීම හෝ එහි අඩංගු ආහාර පමණක් පරිභෝජනයට ගැනීම කරනා බවක් නොපෙනේ. 

හොඳම උදාහරණය වන්නේ ඌරු මස්ය. මුස්ලිම් ජාතිකයන්ට මෙය හරාම් වුවත් වර්තමානයේ ඌරු මස් වැඩි වශයෙන්ම පරිභෝජනය කෙරෙන්නේ කිතුනු ජනතාවයි. 

නමුත් යුදෙව්වන්ගේ “කොෂර්” ආහාර නිෂ්පාදනය නම් තවමත් සාම්ප්‍රදායික යුදෙව් පූජකයන්ගේ අධීක්ෂණය යටත් නිෂ්පාදනය වේ. එබැවින් මුස්ලිම් ජාතිකයන්ට කොෂර් ආහාර ගැටලුවකින් තොරව පරිභෝජනය කරන්නට හැකි වූවත් කිතුනු ආහාර වට්ටෝරු පිළිබඳ එසේ තනන්නට හැකියාවක් නැත.

වර්තමානයේ මුස්ලිම් ජාතිකයන්ට හලාල් ආහාර පමණක් පරිභෝජනය කිරීමට බලකරනු ලැබූවද කුරානයේ සුරා 20173ට අනුව වෙනත් ආහාරයක් නොමැති අවස්ථාවක හලාල් නොවන ආහාර ගැනීමට අවසර ලබාදී ඇත.

“එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මයා නොයාද, පාපයක් කිරීමේ අදහසක් නොමැතිව සිටියදී, (මේවා අනුභව කිරීමට බල) කරනු ලැබුවහොත් (එය) ඔහු කෙරෙහි වරදක් නැත.”

මේ අනුව වෙනත් කිසිවක් ආහාර පිණිස නැති අවස්ථාවක යම් කිසිවකු මුස්ලිම් ජාතිකයකු හලාල් නොවන ආහාර ගැනීමට බල කරනු ලැබුවහොත් එවැන්නක් පරිභෝජනය කිරීම දෙවියන්ගේ කැමැත්තට පිටින් යාමක් නොවේ.

මුස්ලිම් රටක නම් නියම ප්‍රමිතියට හලාල් ආහාර ලබාගැනීමට මුස්ලිම් ජාතිකයන්ට හැකියාව තිබුණ ද මුස්ලිම් නොවන රටක ඒ සඳහා බොහෝ දුෂ්කරතා තිබේ. මුස්ලිම් නොවන රටවල ඌරුමස් හෝ එම මාංශ කොටස් බහුල ආහාර වැඩි වශයෙන් තිබිම ද, කුරානයේ සඳහන් අන්දමින් බාහිරව සතුන් ඝාතනය කිරීමත් මෙයට හේතුවයි. 

අවන්හලකට ගොස් හලාල් ආහාර ඇනවුම් කරන මුස්ලිම් ජාතිකයකුට එම ආහාර පිළියෙළ කරනා බඳුන් හෝ ඒවා පිළියෙළ කොට මේසයට එවනු ලබන බඳුන් පිළිබඳ සහතිකයක් විය නොහැකිය. 

මන්ද නියමිත පරිදි හලාල් ආහාර පිළියෙළ කරන්නේ නම්  ඒ සඳහා යොදා ගන්නා කිසිදු උපකරණයක් වෙනත් ආහාර පිළියෙළ කරනු ලබන උපකරණ හා මිශ්‍ර විය යුතු නැත. එසේ මිශ්‍ර වූ වහාම ඒවා හරාම් තත්ත්වයට පත්වේ.

එමෙන්ම වර්තමානයේ කිසිදු භේදයකින් තොරව ආහාරයට ගන්නා අතුරුපසවල ඇති අයිස්ක්‍රීම් හා ජෙලටින් නිෂ්පාදනයේදී ඌරු මස් කොටස් බොහෝ විට භාවිත කෙරේ. එමෙන්ම ආහාර රසකාරකයක් ලෙස යොදාගන්නා මොනෝසෝඩියම් ග්ලුටමේට් නිෂ්පාදනය කරන්නට යොදා ගන්නා අමුද්‍රව්‍ය අතර ඌරු මේදය අඩංගු වේ. 

මේ නිසා ඇතැම් මුස්ලිම් සංවිධාන ආහාර නිෂ්පාදනය කිරීමේදී යොදා ගත යුතු අමතර ද්‍රව්‍ය පිළිබඳව ලැයිස්තුවක් සකසා තිබේ. විවිධ සෝස් හා කේක් වර්ගවල වයින් හෝ විස්කි වැනි මද්‍යසාර අඩංගුවේ. එමෙන්ම ආහාර කල්තබා ගැනීමට මද්‍යසාර අඩංගු ද්‍රව්‍ය භාවිත වේ.

විසිඑක්වැනි සියවසෙහි  ආරම්භයත් සමග මුස්ලිම් ජාතිකයන්ට හලාල් ද්‍රව්‍ය පමණක් පරිභෝජනයට ගැනීමට හැකිවනු පිණිස විවිධ මුස්ලිම් සංවිධාන විසින් ලොව පුරා දැවැන්ත ව්‍යාපාර දියත් කොට තිබේ. මේ අනුව වර්තමානය වන විට සුප්, ධාන්‍ය, රූපලාවන්‍ය උපකරණ, ඖෂද වර්ග, සකසන ලද ආහාර සියල්ල හලාල් ගණයට වැටෙන සේ නිෂ්පාදනය කර ගැනීමට ඔවුහු කටයුතු කරති. 

හෝටල් අවන්හල්, ගුවන් සේවාවන් ආදිය ද ඔවුන් මේ සම්බන්ධව දැනුවත් කොට තිබේ. මුස්ලිම් ජාතිකයන්ට හලාල් නිෂ්පාදන හඳුනාගැනීම සඳහා විවිධ රටවල හලාල් සහතිකයක් ද එම නිෂ්පාදන මත සඳහන් කිරීමට මෙම සංවිධාන පියවර  ගෙන තිබේ.
 
Related Posts with Thumbnails