Ads 468x60px

.

අපවත්වීමට සොහොන් කොත තමන් විසින්ම ඉදිකරගත් අංකොක්කාවල හිමරතන හිමියන්...

තව අවුරුදු හතරකින් මම අපවත් වෙනවා...

මම පැත්ත ගියත් ඇත්ත කතා කරනවා. මා ළඟ පුරාජේරු කතා නැහැ...

මම කාටවත් කොඩිවිණ කරලා නැහැ...

සොහොන් කොතක් ඉදිකරන්නේ කෙනකු මියගිය පසුවය. සාමාන්‍යයෙන් ජීවත්ව සිටියදී තම සොහොන් කොත ඉදිකරගෙන සිටින කෙනකු ගැන අප අසා නැත්තෙමු. 

එහෙත් මේ අප කියන්නට යන්නේ අපවත්වීමට පෙර තමන් වහන්සේගේ සොහොන් කොත තමන් විසින්ම පන්සලේ ඉදිකරගත් අංකොක්කාවල හිමරතන හිමියන් ගැනය.

අංකොක්කාවල හිමරතන හිමියන් වැඩවසන්නේ අක්මීමන පින්නදුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේය. උන්වහන්සේ විසින්ම විහාරස්ථානයේ ඉදිකොටගෙන ඇති තම සොහොන් කොත තුළ ඇති පුවරුවේ මෙසේ සඳහන්ව ඇත්තේය.

'පින්නදුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ අංකොක්කාවල හිමරතන හිමියන්ට නිවන් සැප ලැබේවා' යනුවෙන් එහි සටහන්ව තිබෙනවා.මේ පිළිබඳ හිමරතන හිමියන් හමුවී අපි කතාබහ කළෙමු.

ඔබ වහන්සේ අපවත්වීමට කලින් ඇයි සොහොන් කොතක් ඉදිකරගෙන තියෙන්නේ?

මරණය බුද්ධ නියමයක්. බුද්ධ නියමය අනුව මම මරණය මෙනෙහි කරමින් සිටිනවා. ඇත්තටම මම මරණය බලාපොරොත්තුවෙන් ඉන්නේ. සමහරක් අපේ ඇත්තෝ හිතන් ඉන්නේ
ඔවුන් මැරෙන්නේ නැතෙයි කියලා. මිනිස්කම පමණයි අපට ඉතිරි වෙන්නේ. මේක තමයි වඩා උචිතම ක්‍රියාමාර්ගය. මම කාටවත් කරදර කරන්න කැමැති නැහැ. ඒ නිසා මගේ සොහොන මමම බැඳගත්තා.

ඔබ වහන්සේ මරණය බලාපොරොත්තුවෙන් ඉන්න බව කීවා. ඔබවහන්සේ අපවත් වෙන්නේ කවදාද?

දැන් මට අවුරුදු අනූදෙකක් වෙනවා. මේ සොහොන් කොත ඉදි කළේ මගේ වයස අවුරුදු හැටේදී. තව අවුරුදු හතරකින් මම අපවත් වෙනවා. ඒ කියන්නේ වයස අවුරුදු 96දී මම අපවත් වෙනවා.

ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ?

මම නක්‍ෂත්‍රය ගැන දන්නවා. ග්‍රහචාරය අනුව ඒ ගැන මට කියන්න පුළුවන්. මේ විශ්වයේ රාශි 12ක් තියෙනවා. මගේ ග්‍රහචාරය අනුව මට තව අවුරුදු හතරකට වැඩිය ජීවත්වෙන්න බැහැ.

විහාරස්ථානයේ ඉදිකොට ඇති සොහොන් කොත ගැන තවත් තොරතුරු සඳහන් කරනවා නම්....

මේක ස්තූපයක්. මෙය ඉදිකිරීමට පෙර විවිධ රටවල සංස්කෘතික ලක්‍ෂණ පිළිබඳ තොරතුරු ලබාගත්තා. තායිලන්ත ක්‍රමයට අනුව තමයි මෙය ඉදි කෙළේ. බටදූවේ හේමසිරි මහත්තයා අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ස්තූප කණු ඉදිකිරීමට අපේ බෞද්ධ කලා සම්ප්‍රදායයක් මෙය ඉදිකළේ මගේ මිනී ඇට තැන්පත් කිරීමට නෙවෙයි. මිනී ඇට තැන්පත් කිරීම වැඩක් ඇති දෙයක් නොවෙයි.

ඔබ වහන්සේගේ අවසන් කටයුතු කරන්නත් බැංකුවේ මුදලක් තැන්පත් කොට ඇති බවක් කියනවා?

මම අපවත් වුණහම පන්සල අලුත්වැඩියා කරන්න කාටවත් බරක් වෙන්න ඕන නැහැ. ඒ සඳහා මම රුපියල් ලක්‍ෂයක මුදලක් බැංකුවේ තැන්පත් කළා. මගේ සොහොන් කොත ඉදි කළ දවසේමයි මේ මුදල තැන්පත් කළේ. මුදල් පරිහරණය පත් කළ යුතු ආකාරය ගැන භාරකාර මණ්ඩලයක්ද පත්කොට තියෙනවා.

ඔබ වහන්සේ ඇත්ත ඇති සැටියෙන් කතා කරන ස්වාමින් වහන්සේ නමක් විදියට ප්‍රසිද්ධයි.

මම පැත්ත ගියත් ඇත්ත කතා කරනවා. මා ළඟ පුරාජේරු කතා නැහැ. අවමංගල උත්සවවලදී මියගිය පුද්ගලයා මෙලොවදී කළ කී දෑ මෙන්ම ඔහුගේ හොඳ නරක දෙකම කියා අනුශාසනා පැවැත්වීම මගේ සිරිතයි. මේ නිසා ඇතැම් දායක පිංවතුන්ගේ දෝස්මුරවලටද මාව ලක්වුණා. ඇත්තටම මිනිසුන් ගැවැසෙන හැමතැනක්ම මට බණ මඩුවක්. අද රටේ අපරාධ වැඩිවෙලා තියෙනවා. මිනිසුන් තුළ මානුෂික සංවර්ධනයක් අවශ්‍යයි.

ඔබ වහන්සේ පැවිදි බිමට පිවිසුණු අයුරු ගැන සඳහන් කළොත්....

මම පැවිදි වන විට මගේ වයස අවුරුදු 17යි. රාජකීය පණ්ඩිත කතලුවේ කීර්ති ශ්‍රී ධම්මරක්ඛිත ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් තමයි පැවිද්ද ලබාගත්තේ. 1943 මැයි 22 වැනි දින උපසම්පදාව ලබාගත්තා. මේ විහාරස්ථානයට වැඩම කළේ 1953 වසරේදී. ඊට පස්සේ මේ විහාරස්ථානය ඉදි කළා. 1944 සිට 1952 දක්වා විදේ‍යාදය පිරිවෙනේ ඉගෙන ගත්තා. පළමු පන්තියේ සාමාර්ථයක් ලබාගත්තා. පින්නදුව ජයන්ති විද්‍යාලයත් ඉදිකිරීමට මුල්වුණේ මම.

ඔබ වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, ඉංගී්‍රසි යන භාෂා පිළිබඳ ප්‍රවීණයෙක්. ඒ විතරක් නෙවෙයි වශී ගුරුකම් කරන බවත් කියනවා.

ගුරුකම් නම් මම කරන්නේ නැහැ. නක්‍ෂත්‍රය ගැන නම් දන්නවා.

පින්නදුව නගරය ඉදිකිරීමේදී ඔබ වහන්සේගේ කීම නොඅසා ගල් පර්වතයක් පිපිරවීම නිසා හිටපු අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණ මහතාට ඔබ වහන්සේ කොඩිවිණයක් කළ බව කියනවා.

ඕක සම්පූර්ණ බොරු කතාවක්. මම කාටවත් කොඩිවිණ කරලා නැහැ. ඔය ගැන මගෙන් ඒ කාලයේ පොලිසියේ ලොකු මහත්තයකුත් ඇසුවා. හැබැයි ගල් පර්වතය කඩනවාට මගේ විරෝධයක් තිබුණා. පින්නදුව නගරය සංවර්ධනය කරන්න තමයි ගල් පර්වතය පිපිරෙව්වේ. ඉස්සර ඔය ගල් පර්වතය ළඟ කිතුල් ගහක් තිබුණා. සුදුපාට නාගයෙක්ද හිටියා. ඇත්තටම ඔය ස්ථානය නොපෙනෙන බලවේග තිබුණ තැනක්. අද්විතීය බලයක් තිබුණු තැනක්.

භික්‍ෂුන් දේශපාලනය කිරීම හරිද?

භික්‍ෂුන් වහන්සේට දේශපාලනය අකැපයි. දේශපාලනය කරලා සසර කතරින් එතෙර වන්න බැහැ.

ඔබ වහන්සේගේ අවසන් කටයුතු සිදුවිය යුත්තේ කොයි ආකාරයෙන්ද?

ආදාහන කටයුතු සඳහා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවාට මම විරුද්ධයි. බොරු සෝබන වැඩවලට මම කැමැති නැහැ. මගේ ආදාහනයේදී පරිසරයට හානි කරන දේවල් කරන්න එපා. ඒ විතරක් නෙවෙයි මා අපවත් වූ පසු දේහය සංඝාවාසයට ගෙනියන්න එපා. ධර්ම ශාලාවේ තැන්පත් කරන්න. මල් ශාලාවකින් ගෙනෙන උපකරණ ගේන්න එපා. 

පෙට්ටියක් භාවිත නොකරනවා නම් වඩා හොඳයි. පොලිතින් සැරසිලි සහ දැන්වීම් පත්‍රිකා ආදී කිසිවක් එපා. ශාලාවේ මෘත ශරීරය තැන්පත් ස්ථානය සමීපයේ කිසිදු භික්‍ෂුන් වහන්සේ නමක් නැවැත්වීම අනවශ්‍යයි. මතක වස්ත්‍ර පූජාව සහ පැන් වැඩීම දායක භවතුන් පමණක් කිරීම හොඳයි.
 
Related Posts with Thumbnails