Ads 468x60px

.

මාලනීගේ හිමි නැති පෙම නිරෝෂා හොරකම් කළාද..? (වීඩියෝ)

මුල් ගීතය හොඳට හෝ ඊට වඩා කාලකණ්ණි විදියට ගායනා කරන්න පුළුවන්...

පරණ ගීත කිය කියා ඒවා හැඳි ගගා ඉන්නෙ නැතිව අපි අලුත් දෙයක් කරන්න ඕනේ...

මීට වසර කිහිපයකට පෙර අප අතරින් වියෝවූ , ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මිය “හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොළඳ වෙලා” යන ගීතය මුල්වරට ගැයුවේ , මීට දශක කිහිපයකට ඉහතදීය. 

දශක ගණනාවක් පැරණි වුවද, ඇගේ හඩින් ඇසෙන ඒ ගීතය අපේ රටේ ගීත රසිකයන් අතර තවමත් ජනප්‍රිය බැව් අවිවාදිතය. එසේ වුවද, මෑතක සිට ඒ ගීතයම ගායන ශිල්පිනී නිරෝෂා  විරාජිනිගේ හඩින්ද නව ආරකින් අසන්නට ලැබෙනවා . 

මේ වන විට “යූ ටියුබ්” (You Tube) වබේ අඩවිය වෙතද මුදාහැර තිබෙන ඒ ගීතය සම්බන්ධයෙන් ගීත රසිකයන්ද විවිධ වූ මත පළ කරන්නට පටන් ගෙන තිබෙන බැවින්, මාලනී බුලත්සිංහල මහත්මියගේ පුත් කසුන් කල්හාර ජයවර්ධන මෙසේ සංවාදයට එක්කර ගත්තේ , “හිමි නැති පෙමකට” නිරෝෂාගේ හඩින් නැවත නිර්මාණය වීම ගැන ඔහුගේ මතය දැන ගනු සඳහායි.

මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කරන ලද ගීතවල අයිතිය දැන් තිබෙන්නේ කාටද?


සමහර ගීතවල අයිතිය අපට නැහැ. ඒවා අයිති ඒ ගීතවල නිෂ්පාදක වරුන්ටයි. ඒ ඇරෙන්න ගීතවල අයිතිය ඒවායේ පද රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාට තිබෙන නිසා, ඔවුන්ගේ කැමැත්ත ඇතිව ඒ ගීතයක් වෙනත් ගායිකාවක් ලවා ගායනා කළොත්, ඊට විරුද්ධ වීමේ නීතිමය අයිතියක් අපට නැහැ. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ ගීතයක පද රචකයකුට පුළුවන්, තමන් රචනා කරපු  ඒ වචන වෙනත් ගායිකාවක ලවා ගායනා කරවන්න.

මාලනී බුලත්සිංහල මහත්මිය මුල්වරට ගායනා කළ “හිමි නැති  පෙමකට” ගීතය, නිරෝෂා විරාජිනී විසින් නව සංගීතය මුසුකොට එළි දක්වා තිබෙනවා. ඔබට එම ගීතය අසන්නට ලැබුණාද?


ඔව්

ඇය එම ගීතය නැවත එළි දක්වන බව, ඔබට හෝ ඔබේ පියාට (ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා) දැනුම් දුන්නාද?


නැහැ. ඇය අපට එවැනි දැනුම් දීමක් කළේ නැහැ.

ඇය ඔබේ මවගේ ගීතය එලෙස යළි එළි දැක්වීම ගැන ඔබ දරන්නේ මොනවගේ මතයක්ද?


ඒ ගීතය පිළිබඳ නීතිමය අයිතියක් අපට නැහැ. සමහරවිට ඇය එම ගීතය පද රචකයා හා සංගීත අධ්‍යක්ෂවරයාගේ අවසරය ඇතිවයි ගායනා කරන්න ඇත්තේ. අපට නීතිමය අයිතියක් නැතිවුවත්, එය නැවත ගායනා කිරීමේදී එහි සදාචාරාත්මක අයිතිය ගැන නිරෝෂා මීට වඩා සවිඥානික විය යුතුව තිබුණා කියලයි මම හිතන්නේ. මොකද , මාත්, මගේ තාත්තාත් දෙදෙනාම තවමත් සංගීත ක්ෂේත්‍රයේ වැඩකටයුතුවල නිරත වෙලා ඉන්න අයනේ.

නීතිය කුමක් වුවත්, ජීවත්ව සිටින හෝ මිය ගිය ගායන ශිල්පින්ගේ ගීත මේ විදියට අනවසරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම, එම මුල් ගායකයන්ට හෝ  ඔවුන්ගේ  පවුල්වල අයට කරන අසාධාරණයක් බවට මත පළවෙනවා. සංගීතඥයකු විදියට ඒ පිළිබඳව ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?


මම නම් කවදාවත් මම තනු නිර්මාණය කළ ගීතයක් , ඒ ගීතයේ මුල් ගායකයා හැර වෙනත් ගායකයකු ලවා ගායනා කරවන්න ඉඩදෙන්නේ නැහැ.


යම් ගායකයෙක් ජීවත්ව සිටියදී ඔහුගේ ගීතයක් වෙනත් ගායකයකු ලවා ගායනා කරනවාට මම කොහොමත් විරුද්ධයි. යම් ගීතයක් එහි මුල් ගායකයා ජීවත්ව සිටියදීම විනාශ කරන්න ඉඩ දිය යුතු නැහැ. මොකද, පසුව ගායනා කරන එය මුල් ගීතයට වඩා හොඳට ගායනා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඊට වඩා කාලකණ්ණි විදියට ගායනා කරන්නත් පුළුවන්.


ගායකයෙක් හෝ ගායිකාවක් මිය ගියාට පසුව ඔවුන්ගේ ගීතයක් යම් කෙනෙක් ගායනා කරනවා නම් , එම ගායකයාගේ හෝ ගායිකාවගේ ඥාතීන්ට ඒ බව දැනුම් දිය යුතුයි කියන එකයි මගේ හැඟීම. නීතිය කුමක් වුවත් , ඒ ගැන දැනුම් දෙන එක ඒ ගීතය අලුතෙන් ගායනා කරන කෙනාගේ යුතුකමක්. 


මොකද, ඒ අය ඒ ගීත කාලයක් තිස්සේ අහලා තියෙන්නේ, තමන්ගේ ඥාතියාගේ හඩින්නේ. ඒ කොහොම වුණත් හැමදාම පරණ ගීත කිය කියා ඒවා හැඳි ගගා ඉන්න කාලය වැය කරනවාට වඩා, නිර්මාණකරුවෝ විදියට අපි අලුත් දෙයක් කරන්න ඒ කාලය  වැය කළ යුතුයි කියන මතයෙයි මම නම් ඉන්නේ.

මාලනී බුලත්සිංහල මහත්මිය ගැයූ මුල් ගීතයේ වීඩියෝව පහතින්



නිරෝෂා  විරාජිනිගේ හඩින් ගැයූ ගීතයේ වීඩියෝව පහතින්

 
Related Posts with Thumbnails