Ads 468x60px

.

රන්ජන් රාමනායක ‘හදවත’ හෙළි කරයි..

විවිධ පාර්ශවවලින් විවාහ යෝජනා ආවා, කෝටි ගණන් දෑවැද්ද එක්ක...

සමහරු හිතන්න පුළුවන් ඒක මෝඩ චූන් එකක් කියලා... 

නැතිනම් මූ මැරෙන්ඩ හදන එකෙක් ද කොහෙද කියලත්

නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මා සමඟ කළ සංවාදයකදී පැවසූයේ තවමත් සිංහල සිනමාවේ ‘සුපිරි තරුව’ රන්ජන් රාමනායක බවයි. එය සනාථ කරමින් රන්ජන් ප්‍රධාන චරිතය රඟපෑ, සුනිල් ටී. ගේ 53 වැනි චිත්‍රපටය ‘ජීවිතය ලස්සනයි’ මේවන විටද ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලබමින් දිවයින පුරා සිනමාහල් රැසක ප්‍රදර්ශනය වේ. අදට එය දින 83 ක් සපුරාලයි.

ඒ අතරම ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ සුද්දෝධන රජුගේ භූමිකාව නිරූපණය කරමින් ඔහු සිය රංගන දිවියේ වෙනස්ම මානයක් සලකුණු කර තිබේ. එය රන්ජන්ගේ නළු භූමිකාවේ සාර්ථකත්වයට හා ජනප්‍රියත්වයට කදිම නිදසුනකි.

සිනමාවත්, දේශපාලනයත් අතර විටෙන් විට දෝලනය වන මේ අපූර්ව චරිතයේ සැබෑ ස්වරූපය සොයා ඉව අල්ලන කතාබහක වගතුගයි මේ.


පසුගිය දිනවල ඔබ අපට සිනමාවේ මුණ ගැසුණේ එකිනෙකට පරස්පර වූ චරිත දෙකකින්. ‘ජීවිතය ලස්සනයි’ පෙම්වතාගේ චරිතයෙන් හා ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සුද්දෝධන රජුගේ චරිතයෙන්. මේ චරිත ගැන යමක් කතා කළොත්?

මුලින්ම ප්‍රදර්ශනය වුණේ ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටය. එය සුනිල් ටී. නිෂ්පාදනය කළ සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ සරල, විනෝදාත්මක චිත්‍රපටයක්. පෙම්වතාගේ චරිතය මම රඟපෑවේ. ඉතින් ඒ වගේ චිත්‍රපට මම ඇති තරම් කරලා තියෙනවා. නමුත් මේක අඩු වියදමකින්, ඒ වගේම අලුත් සර්කිට් එකක කළ චිත්‍රපටයක්. 


M. P. I. මණ්ඩලයේ. ලක්ෂ හාරසිය පනහක් ඉක්මවා දැනට හොයලා තියෙනවා. මේක ලොකු ජයග්‍රහණයක්. අලුත්ම මණ්ඩලයක රිකී ඇතුළු සිනමාහල්වල මේ චිත්‍රපටය රිලීස් කළේ අත්හදා බැලීමක් විදිහට. ඒක සාර්ථක වුණා. ඒ සඳහා මටත් දායක වෙන්න ලැබීම සතුටක්.

හොඳ ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා?

තවම පෙම්වතාගේ චරිතය මට රඟපාන්න පුළුවන් කියලා ප්‍රේක්ෂකයෝ කියනවා. ඒ ගැන විරෝධයක් ආවේ නැහැ. මට වඩා ගොඩක් ලාබාල යුවතියන් හතර දෙනෙක් එක්කයි මම රඟපෑවේ.


මේක බාල අපරාධයක් නෙවේනේ ඒ වුණාට?

නෑ . . . නෑ . . . කොහොම හරි ඉතාම සුන්දර අත්දැකීමක්. ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ ඇතුළු නළු නිළියන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ජෝතිපාලයන්ගේ ගීතත් එක්ක මේ චිත්‍රපටය සුන්දර, වාණිජ චිත්‍රපටයක් වුණා කියලා මට හිතෙනවා.


ප්‍රේක්ෂක මතය කෙසේ වුවත් තවම පෙම්වතාගේ චරිතයට සුදුසුයි කියලා ඔබ සිතනවාද?

රජිනි කාන්ත් කියන්නේ අවුරුදු හැත්තෑවක මනුස්සයෙක්. ඒත් ඔහු ඓශ්වර්යා රායි, දීපිකා පදුකෝන් වගේ නිළියෝ එක්ක තවමත් පෙම් ජවනිකා රඟපානවා. බටහිර සිනමාවේ නම් ෂෝන් කොනරිලා, බෲස් විලිස්ලා, ආර්නෝල්ඩ් ස්වෙසෙන්ගර්, සිල්වෙස්ටර් ස්ටැලෝන් තවම වීරයාගේ චරිතය රඟපානවා. මේ මම සල්ලි යොදලා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් නෙවේ. 


මාව ඒ චරිතයට සුදුසු හින්දා වෙන්නැති සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයා වියදම් කරලා මේ චිත්‍රපටය කරන්න ඇත්තේ . ඔහු මගේ ඥාතියෙක් නෙවෙයි නේ. මාව දාලා තාම චිත්‍රපටයක් දුවවන්න පුළුවන් කියා ඔහු සිතනවා වෙන්නැති. ඔබ සමඟත් ඔහු එසේ පවසා තිබෙනු ‘සරසවිය’ පුවත්පතෙන් මා දුටුවා. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතාත් කියා තිබෙනවා ‘රන්ජන් රාමනායක සිංහල සිනමාවේ අවසන් වීරයා’ කියලා.

මා විමසන්නේ ඔබ ගැන ඔබේ තක්සේරුව?

මමත් හිතනවා, මට තව පුළුවන් කියලා. විජය කුමාරණතුංග මහත්මයා අවුරුදු හතළිස් තුනේදීත් පෙම් චරිත රඟපෑවා. ගාමිණී ෆොන්සේකා මහත්මයත් එහෙමයි. ඒත් අපි කාටත් කවදා හරි ස්වභාව ධර්මයේ නීතියට යටත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කළදාට මම ගෙදර යනවා.


අපි දැන් කතා කරමු සුද්දෝධන රජුගේ චරිතය ගැන?

ඇත්තටම දේවමිත්‍රයා ඒ තමයි මෙතෙක් සිනමාවේ මට ලැබුණු ගෞරවනීයම චරිතය. චිත්‍රපට හැටක, හැත්තෑවක මේ වෙනකොට මම රඟපාලා තියෙනවා. නමුත් මෙවැනි චරිතයක් ලැබුණු මුල්ම වතාව. අධ්‍යක්ෂ සමන් වීරමන්, නිෂ්පාදක නවීන් ගුණරත්න දුරකථනයෙන් අමතලා මේ චරිතය බාරගන්න කියපු වෙලාවේ මට දැනුණේ විශාල බියක්, චකිතයක්. 


මෙතෙක් මම සිනමාවේ රඟපාලා තිබුණේ සුපිරි වීරයාගේ, පෙම්වතාගේ චරිත. එහෙම නැතිනම් කොමඩි, විලන් චරිත. මේක මට වෙනස්ම අභියෝගයක් වුණා. මම දන්නවා 74% ක් මේ රටේ ඉන්නේ බෞද්ධ ජනතාව. සුද්දෝධන රජු කියන්නේ ගෞතම බුදුන්ගේ පියා. සිදුහත් කුමරු ඉපදී දින කිහිපයකින් මහාමායා දේවිය මිය යනවානේ. 

ඊට පස්සේ සියලුම බර කරට අරගෙන රම්‍ය, සුරම්‍ය, සුබ කියන මාළිගා තුනක් සාදවා පුදුමාකාර පීතෘ සෙනෙහසකින්නේ සිදුහත් කුමාරයා ඇතිදැඩි කරන්නේ. එතුමන් සක්විති රජ කෙනකු කරන්නයි සුදොවුන් රජුට ඕනෑ වුණේ.

ශාක්‍ය වංශයේ ඊළඟ රජු?

ඔව්. ඔහු රණ ශූරයෙක් බවට පත් කිරීමයි රජතුමාගේ බලාපොරොත්තුව වෙන්නේ. එහෙම බලපරාක්‍රමයෙන් යුත් රජ කෙනෙකුගේ චරිතයයි මට රඟපාන්න ලැබුණේ. මගේ පෞද්ගලික ජීවිතයේත් අම්මා එක්කයි මගේ වැඩි කිට්ටුවන්තකමක් තිබුණේ. පියා ගැන මම පුවත්පත් සාකච්ඡාවකදී හෝ කතා කරලම නැති තරම්. 


මගේ පියා ගැනත් ලොකු ගෞරවයක් මගේ සිතේ ඇති වුණා මේ පියා ගැන අධ්‍යයනය කරද්දී. ඒ කියන්නේ පියෙක්, අම්මා තරමටම දරුවන්ගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වෙන්නේ නැහැ බොහෝ විට. නමුත් මේ චරිතය හරහා ඒ උතුම් පීතෘ සෙනෙහසට වැඩි වටිනාකමක් එක් කරනවා.

ඉතිහාසය පුරාවට එක්, එක් අය විවිධ වේශයන්ගෙන් හඳුනාගත් මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියා ඔබ සිතනවාද?

මේකයි. රංගන ශිල්පීන්ට එක් එක් විදිහේ චරිත ලැබෙනවා. නමුත් ඔබ කිව්වා වගේ මේ චරිතය මහා බරක්. ලොකුª වගකීමක්. එහි අධි රංගනයක් හෝ අඩු රංගනයක් නැතිව මැද තලයක තිබිය යුතුයි. මොකද මෙය බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වගේම විවේචනයට තුඩුදිය හැකි චරිතයක් නිසා. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් මේක. හරිම රිස්කි. පොඩ්ඩක් මිස් වුණොත් කාලාන්තරයක් බැණුම් අහන්න සිද්ධ වෙනවා.


පරම්පරා ගාණකටම?

ඒ කියන්නේ මැරෙනකල්ම බැණුම් අහන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මට හිතුණා මේක මට දරාගන්න පුළුවන් වේවිද කියලාත්. ඇයි මේක මට ලොකු ආතතියක්. නමුත් සෙට් එකට ගිහින් ඒ ඇඳුම්, ආයිත්තම් ඇඳගත්තම නිරායාසයෙන්ම චරිතය මට ආරූඪ වුණා කිව්වොත් හරි. සමන් වීරමන් මහත්මයා උදේම සෙට් එකේ බුදු ගුණ කියනවා. 


මස් මාංශ අනුභවයෙන් තොරව, මතින් තොරව ඉතාමත් පේ වෙලයි සියලුම දෙනා මේ කටයුත්තට දායක වුණේ. දර්ශන තලයේදී සිද්ධාර්ථ ලෙස රඟපෑ ගගන් මලික් ‘පියාණනි මට යන්න අවසර’ කියා කියද්දී මගේ ඇඟේ හිරිගඬු පිපුණා. අපි හැමෝටම ඒ රූගත කිරීම් කළ කාලයේ ඒ භාවයන්ගෙන් මිදෙන්න බැරි වුණා.

ඒ කියන්නේ ඔබ දිව කපා නොගෙන දැලි පිහියෙන් කිරි කෑවා?

චිත්‍රපටය නැරැඹූ බොහෝ අය මට කිව්වා ‘චිත්‍රපටයේ භාගයක්ම යනකල් අපි ඔබ හඳුනා ගත්තේ නෑ කියලා, ඒ වේශ නිරූපණයත් එක්ක. එළියට බැස්සම මඟ ගහලා තියෙන්නේ වෙනම කටවුට්. ටී ෂර්ට් ඇඳගෙන, කෙල්ලො වට කරගෙන. ‘ඔබ මේ චරිතයටසාධාරණයක් ඉටු කළා, අපි රන්ජන් රාමනායක ඒ චරිතයේ කොතැනකවත් දුටුවේ නෑ’ කියලා බොහෝ අය කිව්වා. 


ඉතින් මට ඕනෑ වුණෙත් ඒකයි. එතන ‘යකඩ පිහාටු’ රමේෂ්වත්, ‘කිව්වද නහීී නොකීවද නහී’ මහේෂ්වත්, ‘වන් ෂොට්’වත් මතු වුණේ නෑ. මගේ සතුරු විචාරකයන් පවා මේ චරිතය ගැන මට දොසක් පවරා තිබුණේ නැහැ.

නමුත් රංගන ශිල්පියකු හැටියට ඔබට යම් අසාධාරණයක් වුණා මේ චිත්‍රපටයේදී?

ඔව්, ඒ ගැන මේ ප්‍රථම වරට පුවත්පතකට හෙළි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ ළමා කාලයේ මම ඔහුට ක්‍රීඩා කරන්න, සටන් කරන්න පුහුණු කරනවා ඔහු සමඟ සෙල්ලම් කරනවා. එතකොට වප් මඟුල් උත්සවයේදී ඇතුන් පිට යනවා. මේ දර්ශන සියල්ලම චිත්‍රපටයෙන් ඉවත් කරන්න සිදු වුණා. 


සිද්ධාර්ථ කුමරුගේ ළමා චරිතය රඟපෑවේ පකිස්ථාන් සෙකන්ඩ් චාන්ස්ල(ර්)ගේ පුතා. හිස්බුල්ලා, අල්ඛයිඩා වැනි සංවිධානවලින් මැර තර්ජන එල්ල වුණා මුස්ලිම් දරුවකු හැටියට මේ චරිතය කළොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් නිෂ්පාදක – අධ්‍යක්ෂවරුන්ට සිදු වුණා ඒ දර්ශන ඉවත්කර ගන්න. 

අර පොඩි දරුවා උස්සන දර්ශනය විතරයි තිබුණේ. හරිම ලස්සන දර්ශන ටිකක්. කලාකරුවෙක් හැටියට මට ලොකු වේදනාවක් තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ.

සතුරු විචාරකයන් ගැන ඔබ සඳහන් කළා. එහෙම පිරිසක් ඔබට ඉන්නවාද?

ඒ රන්ජන් රාමනායක වටා ඉන්න සතුරන් නෙවේ. රන්ජන් රාමනායකගේ දේශපාලන මතවාදත් එක්ක සතුරු විචාරකයන්. සුනිල් මිහිඳුකුල පවා කියා තිබෙනවා, රන්ජන් කියන්නේ ඉතාම සුන්දර මිනිහෙක්. ජොලි පොරක් කියලා. නමුත් මම දරන ඇතැම් රැඩිකල් මතවාද එක්ක ඔවුන්ට එකඟ වෙන්න බෑ.


ඒ කියන්නේ රන්ජන් රාමනායක කියන නළුවා එක්ක කවුරුත් අමනාප නැහැ?

ඔව්. ඒත් මගේ රංගනය දිහා හෙළ උරුමය බලන විදිහක් තියෙනවා. ජේ. වී. පී එක බලන විදිහක් තියෙනවා. පොදු පෙරමුණ බලන විදිහක් තියෙනවා. යූ. එන්. පී. මතය ඊට වෙනස්. ඒක විජය කුමාරණතුංග මහත්මයාටත් වුණා. කොච්චර ජනප්‍රිය වුණත් ඔළුවට වෙඩි තියලා ඔහු මරා දමන තැනට එක්තරා කණ්ඩායමක් පත්වුණා. බුදු හාමුදුරුවන්ටත් සතුරෝ හිටියානේ. එතකොට යේසුස් වහන්සේට, මහම්මද් තුමාටත් එහෙමයි.


මොන දේශපාලන මතවාද දැරුවත් ‘හොඳම නළුවා’ ලෙස වරෙක ඔබ සම්මානයට පාත්‍ර වෙන්නෙත් ඒ නිසයි. ඒ පිළිබඳ ප්‍රසාද පූර්වක හැඟීමක් ඔබේ සිතේ ඇති?

‘සරසවිය’ පත්තරේ එක්ක මට කවදාවත් ජන්මාන්තර වෛරයක් ඇති කර ගන්න බැහැ. මොකද එහි තිබූ දැන්වීමකට අනුව තමයි මම සුනිල් හොරේෂස් ගේ මාර්ගයෙන් ‘ජය කොතැනද’ චිත්‍රපටයේ රඟපාන්න ගියේ. එතකොට මම ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ සමූහ දර්ශනයක පෙනී ඉඳලා බත් පාර්සලයක් ලබා ගත්තෙත් ඒ ‘සරසවියේ’ ඇඩ් එක දැකලා. 


හැබැයි ‘සරසවිය’ පුවත්පත යම් යම් කාලවකවානුවලදී මට හොඳට සහ නරකට සළකලා තියෙනවා. ඒ මගේ දේශපාලන මතවාදත් එක්ක. මට එක දිගට වසර හයක් ‘සරසවිය’ ජනප්‍රිය නළුවා සම්මානය හිමි වී තිබෙනවා. 

ඒ නිසා ‘සරසවිය’ සමඟ මගේ අමනාපයක්, වෛරයක් නෑ. කාලෙන් කාලෙට ළං වෙනවා. ආයේ ඈත් වෙනවා. හරියට මුහුදේ රැලි වාගේ. ඒත් ඒ ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් මට තියෙනවා.

ලංකාවේ දැනට වැඩිම මුදලක් අය කරන නළුවා ඔබද?

1988 සිට මම හරියටම ආදායම් බදු ගෙවලා තියෙනවා.


නෑ මට ඔබේ මුදල අවශ්‍ය නැහැ. නමුත් ඔබ සෙසු නළු, නිළියන් අය කරන මුදල දන්නවනේ?
ඒ කොහොමද?


ඔබ රහස් පරීක්ෂකයෙක් වගේ පුද්ගලයෙක්.

බුද්ධි අංශයක් වෙනම තියෙනවා.


ඔව්, ඒ අනුව ඔබ අනෙක් නළුවන්ට සාපේක්ෂව වැඩිම මුදලක් අය කරන නළුවා?

මෙහෙමයි අසංක, මම එහෙම ටයිටිල් එකක් දාගන්න කැමැති නැහැ. මම තනි පුද්ගලයෙන් වුණාට මගේ පදනමට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. මම ඔබට උදාහරණයක් කියන්නම්. කඹුරුපිටියේ ආරියවතීට මට නිවසක් හදා දෙන්න වෙනවා. ඊට ලක්ෂ හය හමාරක් යනවා. මට ගෙයක් නෑ හැබැයි. එතකොට සුධාරකගේ ජීවිතය බේරා ගැනීම සඳහා මට රුපියල් ලක්ෂයක මුදලක් දෙන්න වෙනවා. මම විතරක් නෙවේ සෝමා එදිරිසිංහ මැතිනිය, ජයන්ත ධර්මදාස මහතා ලක්ෂය බැගින් දෙනවා.


කෝටිපති ව්‍යාපාරිකයෝ අතරේ ඔබත් ඒ මුදලම දෙනවා?

ඔව්. ඒක ආදර්ශයෙන්ම පෙන්වන්න එපායැ. මොකද මට රකින්න පරම්පරාවක් නෑ. රාමනායක චැප්ටර් එක මෙතනින් ක්ලෝස් නේ. මට කිසිම බැඳීමක් නෑ.


ඒක එහෙමද?

පුංචි ළමයින්ට, ගැහැනු දරුවන්ට, බිරියකට මේ සියල්ලටම මම ආසයි. ඒත් බැඳීම් නිසා හැම විටම ආතතිය ඇති වෙනවා. එතකොට ෂුගර්, කොලෙස්ටරෝල් එන්න පුළුවන්. ඒ නිසා මම හරිම නිදහස්, නිවහල් ජීවිතයක් ගත කරන්නේ. අර ඔබ ඇසූ ප්‍රශ්නයට ගියොත් මම නිෂ්පාදකවරු - අධ්‍යක්ෂවරු තළා පෙළා මුදල් අය කරන නළුවෙක් නෙවෙයි. 


ඒත් මම ලොකු මුදලක් ගන්නවා. හැබැයි ඒක ආයෙත් යන්නේ ජනතාවට. ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන්. මම බොහොම වගකීමෙන් මේ ප්‍රකාශය කරන්නේ. විදෙස් රටවල ප්‍රසංගවලට පවා මම සහභාගි වෙනවා. අනෙක් අය ඩොලර් 500 ක් කියද්දී මට ඩොලර් 3000 ක්වත් කියන්න වෙනවා.

දැන් ලැබෙන මුදල නොකිව්වට ඔබ රඟපාලා මුලින්ම උපයපු මුදල කියන්න පුළුවන්නේ?

මුලින්ම හම්බ වුණේ බත් පාර්සලයයි, දිවුල් කිරි එකයි. ඒ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයට. ඊට පස්සේ මම අතින් මුදල් දීලා, තෑගි බෝග දීලා රඟපෑවා. ‘පතිපතිනි’ චිත්‍රපටයේ මම රඟපෑවේ රුපියල් 5,000 ක මුදලක් අධ්‍යක්ෂවරයාට ගෙවලා. රු: 500/- ගණනේ ගෙවලා පංති දහයකට මම සහභාගි වුණා රූගත කිරීම්වලට පෙර. ඒ කාලේ හැටියට ලොකු මුදලක්. අම්මා තමයි ඒකත් හොයලා දුන්නේ.


සෙරෙප්පු කුට්ටම් එහෙමත් අරගෙන ගියාලු නේද?

ඔව්. එතකොට රෝස්ට් කකුල්ලු. මගේ ෆාම් එකක් තිබුණා ඒ කාලේ. අම්මා කේක් හදලා දෙනවා. එතකොට ‘මී කිරි’ හට්ටි පිටින් ගෙනි යන්නේ. මම එහෙම ගොඩක් අල්ලස් දීලා තියෙනවා රඟපාන්න.


මුලින්ම ලැබුණු මුදල?
මම හිතන්නේ ‘භාග්‍යා’ ටෙලි නාට්‍යයට රුපියල් 5,000 ක්ද කොහෙද ලැබුණා මතක විදිහට. ඒ තමයි මගේ පළමු පඩිය.


සිනමාවට එද්දී ඔබ බොකුටු කොණ්ඩයක් සහිත උස, හීන්දෑරි තරුණයෙක්. දැන් අද වෙන කොට රන්ජන් ඊටත් වඩා තරුණ වෙලා. වෙනම හැඩයක්. කලින් කලට ඔබ ස්වරූපය වෙනස්කර ගන්නවා. මේක නළුකමට අත්‍යවශ්‍ය සාධකයක් ද නැතිනම් ඔබ විවිධ වේශයන්ගෙන් පෙනී සිටීමට කැමැති අයෙක්ද?

අපි කරන ක්‍රියාවන් අනුව තමයි අපේ ස්වරූපය හැදෙන්නේ. සද් අල් බේෂ් කියන සවුදි අරාබියේ අලුගෝසුවා 2010 වසරේ තුන්සිය හතළිස් පස් දෙනෙකු ඝාතනය කර තිබෙනවා. එතකොට දිවවල් කපනවා, අත පය කපනවා. කස පහර දෙනවා. මෙයාගේ කඩුව විතරක් රුපියල් ලක්ෂ තිහක් විතර වටිනවා. 


බලන්න මුගේ මුහුණ. (පුවත්පත් ඡායාරූපයක් පෙන්වමින්) ඒ වෘත්තියත් එක්ක තමයි මුණ හැදෙන්නේ. මේ ක්‍රියාව මූණට එනවා. අපි හොඳ කළොත් හොඳ වේශයක් අපේ මූණට එනවා. දැන් විජය කුමාරණතුංග මහත්තයාගේ ‘මානව හිතවාදය’ කියන එක මූණේ තිබුණා. ජෝතිපාල කියන්නේ සුන්දර, කන බොන මිනිහෙක්. එතකොට බොබ් මාලේ කියන්නේ කොයි තරම් ලස්සන මිනිහෙක්ද?

එහෙම උත්පත්ති ගති ස්වභාවයක් ගැන නෙවෙයි මම ඇහුවේ. ආයාසයෙන් ගොඩනගා ගන්නා ස්වරූපය ගැන?

එහෙම ආයාසයෙන් කිසිම දෙයක් ගොඩ නගා ගන්න බෑ.


එතකොට ඔබේ සිරුර, මස් පිඩු?

අපි හිතමු මෙහෙම. පොලියෝ රෝගය හැදුණ කෙනෙකුට කොයි තරම් ආයාසයක් දැරුවත් මස් පිඩු වර්ධනය කර ගන්න බෑනේ. ආයාසයෙන් යන්න පුළුවන් දුරක් ඇති. ඒත් සීමාසහිතයි. ඉන්දියාවේ ගොඩක් නිෂ්පාදකවරුන්ගේ පුත්තු ආවනේ හීරෝ කැරැක්ටර් කරන්න. 


නමුත් කොහෙන්දෝ කෝච්චියෙන් නවදිල්ලියට ආපු අම්මා, තාත්තා නැති නන්නත්තාර ෂාරුක් ඛාන් තමයි බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව වෙන්නේ. ඉන්දියාවේ ලස්සන කොල්ලො පිරිලා. ඒත් බස් කොන්දොස්තර කෙනෙක් තමයි සුපර් ස්ටාර් වෙන්නේ.

රැජිනි කාන්ත්?

ඔව්, රැජිනි කාන්ත් කියන්නේ කළු, කොට, තොල්වල කබර තියෙන මනුස්සයෙක්. ඒත් ඔහු ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නළුවා බවට පත් වෙනවා. මේවා ආයාසයෙන් කරන්න බෑ. උත්සාහය තියෙන්න ඕනෑ. මම නෑ කියන්නේ නෑ. නමුත් මේ ලෝකේ ඕනෑම කෙනෙකුට කාස්ටින් ඩිරෙක්ටර් දුන්න චරිතයක් තියෙනවා. 


ඒ මහබඹා වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්. ඒක මට අදාළ නෑ. ඒත් අපට චරිතයක් තියෙනවා. මේ ලෝකේ ඉපදුණ දවසේ ඉඳලා තමන්ගේ බ්ලඩ් ගෲප් එක, එතකොට වෘත්තිය, විවාහය, මෙලොව හැර යන දවස ඒක තීරණය කරන්නේ වෙනම කෙනෙක්. හැබැයි ඒ කවුද කියන්න මම දන්නේ නැහැ.

තමන්ගේම නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය වීම නළුවකුට අලුත් අත්දැකීමක්. මම දන්න තරමින් අපේ සිනමාව් නම් ප්‍රථම වරට එසේ නළුවකු නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය වෙන්නේ?

ඔව්. ඇත්තටම ගාමිණී, ටෝනි, ජෝ, විජය කියලා ඒ නළුවන්ගේ නමෙන් චිත්‍රපට හැදුණේ නෑනේ. මම හිතන්නේ ලෝක සිනමාවේත් එහෙම නැතිව ඇති. රැජිනි කාන්ත්, කමල් හසන්, අමිතාබ්, ෂාරුක්, සල්මන් කියලා ෆිල්ම් හැදිලා නෑනේ. ටොම් කෲස් කියලත් නෑ. ඇත්තටම මාර පොයින්ට් එකක් ඔයා ගෙනාවේ.


‘රන්ජා’ චිත්‍රපටයේ තිබෙන්නේ ඔබේ සැබෑ ජීවින චරිතයමද?

සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයා මට මේ යෝජනාව කළාම මම ඔහුගෙන් ඇසුවා අපි ‘රන්ජන්’ කියලවත් දාමුනේද කියලා. ‘නෑ නෑ ඔයාගේ හොඳම යාළුවෝ ඔයාට කතා කරන්නේ රන්ජා කියලනේ. මේ නම මරු කියලා ඔහු මට කිව්වා. ඉතින් ඒ කැමැත්තට ඉඩ දීලා දැන් ෂූටිං කරලත් ඉවරයි. 


මගේ සැබෑ ජීවිතයේ කොටසකුත් එක්ක බොහොම සුන්දර වගේම අභියෝගාත්මක තැන් මේ චිත්‍රපටයේ තියෙනවා. ‘රන්ජා’ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ සුදේශ් වසන්ත පීරිස්. මට හිතෙන්නේ සුනිල් ටී. කරපු හයස්ට් බජට් ෆිල්ම් එක. ‘වන්ෂොට්’ ට වගේම ‘රන්ජා’ටත් ප්‍රේක්ෂකයෝ ආදරය කරයි කියලා මම හිතනවා.

‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ සුරූපිනියන් හතර දෙනෙක් වට කරගෙන ‘ලව්’ පාට් දානකොට ඇත්තම පෙම්වතියට මොනවා හිතෙන්න ඇතිද?

කාගෙද . . . මගෙද . . . අම්මට සිරි . . .


බැන්නද? කන මිරිකුවද?
රන්ජන් රාමනායක කියන්නේ පොදු වස්තුවක්. ඔහු බහුතර ප්‍රේක්ෂක ජනතාව සතුටු කරන්න බැඳිලා ඉන්න පුද්ගලයෙක්.


පොදු පුරුෂයෙක්?

ඔව්, හැබැයි මම කාටවත් බැඳිලා නෑ. ඒ නිසා මගේ හිතේ ආතතියක් නෑ.


ඉදිරියේදී එහෙම බැඳෙන්න අදහසකුත් නැහැ?

ඒක කියන්න බෑ, ඉදිරියේදී මොනවා වෙයිද කියලා. මම කැමැතියි මම, මගේ වෙනවාට. මගේ ප්‍රතිපත්තිවලට, මගේ දර්ශනයට, මාගේ රාමුවකට බැඳෙන්න මම කැමැතියි. තව කෙනෙකුගේ යටත් පුරවැසියෙක් වෙන්න මම කැමැති නෑ. විවිධ පාර්ශවවලින් විවාහ යෝජනා ආවා, කෝටි ගණන් දෑවැද්ද එක්ක. විවිධ කුලවල, සද්දන්ත කුලවල මහා පවුල්වලින් ආරාධනා ආවා, ඔවුන්ගේ යටත් පුරවැසියකු ලෙස ජීවත්වීමට. ලංකාවේ ලොකුම දේශපාලන පවුල්වල යුවතියන්ගෙන් පවා.


එතනදි විතරක් ඔබ විජය මාමා අනුකරණය කරන්නේ නෑ මම හිතන්නේ?

නෑ එතනදි මම හිතනවා, සම්පූර්ණ මම වෙන්න ඕනෑ කියලා. මම දැනටත් ඉන්නේ කුලී ගෙයක. මගේ රැඩිකල් ප්‍රතිපත්ති එක්ක. සමහරු හිතන්න පුළුවන් ඒක මෝඩ චූන් එකක්, නැතිනම් මූ මැරෙන්ඩ හදන එකෙක් ද කොහෙද කියලත්. නමුත් මම පුදුම ත්‍රිල් එකක් විඳීනවා අනේ මම කාටවත් යටත් නැහැනේ කියලා. මම මගේ දේශපාලන පක්ෂයේ ඉන්නෙත් මට ඕනෑ විදිහට මගේ ප්‍රතිපත්තිවලට එකඟව.


ඔබ, ඔබේ වෙන්න ආසයි. ඒත් ‘ඔබ – මගේ’ කර ගන්න කැමැති යුවතියන්ට ඔබේ ඔය මුරණ්ඩු ප්‍රතිපත්තිය අසාධාරණයක් නේද?

මම හිතන්නේ නෑ අසංක, එච්චරම වටිනා පුද්ගලයෙක් කියලා මම. මොකද මමත් කෙටි කාලයකට මේ පෘතුවියට ආපු සංචාරකයෙක්. ඕෂෝ සංවාදවලට කියැවෙන්නේ එහෙමයි. මම වෙඩි කාලා හෝ මූදට වැටිලා මැරුණු දවසක දවස් තුනක් ගියාට පස්සේ මගේ මිනිය ඔය කියන කවුරුත් බදාගෙන අඬයි කියලා මම හිතන්නේ නෑ. 


ඒ අනිත්‍ය මම දන්නවා. මට ආදරය කරන එක්කෙනෙකුට හරි කියන්න පුළුවන්නම් මම ගඟක මූදක වැටිලා දවස් හතක් ගියාට පස්සේ මගේ මිනිය බදාගෙන හඬනවා කියලා එතකොට ඇත්තටම එයා මට ආදරෙයි කියලා මම පිළිගන්නවා.
 
Related Posts with Thumbnails