Ads 468x60px

.

බුදුන්ගේ දර්ශනයෙත් අඩු පාඩු තියෙනවා-අනෝමා

අඩුම ගානෙ පාටියකට ගිහින් බියර් වීදුරුවක් තොලගෑමේ අයිතියවත් කාන්තාවට තිබෙනවද...

එහෙමත් නැත්නම් පොඩි ආතල් එකක් ගන්න කියල ගංජ සුරුට්ටුවක් බොනවද?

ගැහැනු දරුවන්ගේ යට ඇදුම් එහෙම එළියට පහළියට වේලෙන්න දානවද? 

අනෝමා ජනාදරී! ඇය පෙරළිකාර රංගවේදිනියක්. පෙරළිකාර කතුවරියක්. අප අනෝමා සොයාගෙන ගියේ ඈ නව නිර්මාණයකට අත්පොත් තබමින් සිටිනවාය යන ආරංචිය ඔස්සේ. නමුත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒ කටයුත්ත දින නියමයකින් තොරව කල්දාන්න සිදු වු බව ඇය පැවසුවා. 

මේ ඇයත් සමඟ කල කතා බහක්.

ඔබ තවත් නිර්මාණ කටයුත්තකට මුල පුරනව කියල ආරංචි වුණා.

ඇත්තට ම මම බලාපොරොත්තු වුණා මාර්තු 8 වන දින මගේ පොතේ ඉංග‍්‍රීසි මුද්‍රණය නිකුත් කරන්න. නමුත් යම් අපහසුතාවක් හේතුවෙන් එය දින නියමයක් නැතුව කල්දාන්න සිදු වුණා.

ඇයි ඔබ මේ සඳහා මාර්තු 08 වන දින ම යොදාගත්තෙ?

ඒ දවස මට සුවිශේෂයි.

පුද්ගලික කාරණයක් ද?

අපෝ නෑ. පුද්ගලික කාරණයක් නෙවෙයි. ලෝක කාන්තා දිනය යෙදිල තියෙන්නෙ එදාට. අන්න ඒ නිසයි මට ඒ දිනය වැදගත් වෙන්නෙ. එක් දිනයක් හෝ කාන්තාව වෙනුවෙන් වෙන් කිරිම සම්බන්ධයෙන්. මොකද... ආසියාතික කාන්තාව විදියට කවදාවත් අපිට ඉදිරියට එන්න ලැබෙන්නෙ නැහැ. 


හැම අවස්ථාවක ම දෙවන ස්ථානයේ තබා කටයුතු කරනව වගේ ම බොහෝ විට කාන්තාව පිළිබඳ තියෙන්නෙ අඩු තක්සේරුවක්. ඒ නිසා මාර්තු අටවෙනිදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය මට ඉතා වැදගත්.

ඔබගේ ප‍්‍රකාශය තුළ ‘‘ආසියාතික කාන්තාව’’ යන පදය විශේෂිත වුණා. ඔබ එයින් අදහස් කරන්නෙ ලෝකයේ වෙනත් රටවල කාන්තාව නිසි ඇගයිමකට ලක් වෙන බවද?

නෑ. ඇත්තට ම ආසියාතික රටවල්වලට වඩා වැඩියෙන් කාන්තාවන් තාඩන පීඩනයන්ට ලක්වෙන්නෙ මැදපෙරදිග කලාපයේ. පිටස්තර කාන්තාවක් පමණක් නෙවෙයි, පියා දුව දූෂණය කළත්, සහෝදරය සහෝදරිය දූෂණය කළත්, පිරිමියෙක් විසින් කාන්තාවක් ඝාතනය කළත් ඒ රටවල්වල කාන්තාවන්ට නීතියේ පිළිසරණක් ඇත්තෙම නෑ. 


ඒ රටවල නීති පද්ධතින් පවා නිර්මාණය වෙලා තිබෙන්නෙ කාන්තාව දෙවන ස්ථානයටත් වඩා පහත් අඩියකට තල්ලූ කරලා. නමුත් බටහිර සහ යුරෝපීය රටවල්වල මේ තත්ත්වය මීට හාත්පසින් ම වෙනස්. ඒ රටවල සැමියා සහ බිරිඳ එකිනෙකාට ගෞරව කරනව. 

එකිනෙකාව තේරුම් ගන්නව. සමානාත්මතාව කියන දේ ඒ රටවල ප‍්‍රායෝගිකව ම ක‍්‍රියාත්මක වෙනව. එවැනි පසුබිමක් තුළ අපේ රටේ කාන්තා දිනයක් සැමරීමේ විසුළු සහගත බවකුත් දැනෙනව.

ඔබ ප‍්‍රකාශ කරන පුරුෂාධිපත්‍යය කේන්‍ද්‍ර ගතවෙන්නෙ කොතනද? කොහොමද?

මේක ඇත්තට ම ශාරීරිකව ම ගොඩනැගෙන දෙයක්. මේ ශාරීරික බලය පුරුෂයා යොදවන්නෙ කාන්තාවගේ යහපත වෙනුවෙන් නොවෙයි. ඔහුගේ අනිකා වන ගැහැණිය මර්දනය කිරිම සඳහා. මේක ඉතාමත් ඛේද ජනක තත්ත්වයක්.

නමුත් අපි දන්නව සිය සැමියාගේ කාය ශක්තිය අබිබවා ගිය කාන්තාවන් ලෝකයේ ජීවත් වෙනව. එවන් කාන්තාවන් පවා පුරුෂ පීඩනයට ලක්වෙනව.

ඔව් එබදු අවස්ථා තිබෙනව. ඒකට ප‍්‍රධාන ම හේතුව තමයි කාන්තාව කෙරෙහි සමාජයේ පවතින ආකල්පය. අපි මෙහෙම ගමු. පුරුෂයා කායිකව ශක්තිමත් බව ඇත්ත. නමුත් පුරුෂයාට වඩා සිය දහස් ගණනකින් කාන්තාව මානසිකව ශක්තිමත්. 


මෙන්න මේ මානසික ශක්තිමත් භාවයත් පිරිමියා තමන්ගේ අධිපත්‍යය පැතිරවීම සඳහා භාවිතා කරනව. ඒ කියන්නෙ කාන්තාව සියල්ල ඉවසිය යුතුයි. සියල්ල විඳ දරාගෙන පවුල් කුටුම්බය ආරක්‍සා කළ යුතුයි යන ආකල්ප සමාජයේ මුල්බැසගෙන තියනව. 

මෙන්න මේ ආකල්ප පවා පුරුෂයාට කාන්තාව පීඩනයට ලක්කරීම සඳහා සමාජය විසින් ම ලබා දෙන ලද වරප‍්‍රසාදයක් විදියටයි මම දකින්නෙ.

‘කාන්තාව පුරුෂයාට වඩා මානසික ශක්තියෙන් ඉහළයි’ කියන මතය තවදුරටත් පැහැදිලි කළොත්?

හොඳ ම උදාහරණය දරුවන් බිහි කිරීම. මාස නවයක් පුරා ඇය සිය ශරීරයේ ඇතිවන සියලූ වෙනස්කම්. වේදනාවන් ඉවසා දරා සිටීම පුරුෂයාට කරන්න පුළුවන්ද? බැහැ. දැන් අපි දන්නව ග‍්‍රාමීය ප‍්‍රදේශවල වෙසෙන කාන්තාවො පුරුෂයින් වගේ ම හේනෙ කුඹුරෙ වැඩකටයුතුවලට දායක වෙනව. 


නගරයේ වුණත් වැඩරාජකාරි ඉවරවෙලා පොදු ප‍්‍රවාහන පහසුකම් භාවිතා කරමින් නැවත නිවසට ඇවිත් යළිත් වැඩපලවලනිරත වෙනව.නමුත් කාන්තාව කවදාවත් ඇඟේපතේ අමාරුවට කියල අරක්කු බොන්න යනවද? 

එහෙමත් නැත්නම් පොඩි ආතල් එකක් ගන්න කියල ගංජ සුරුට්ටුවක් බොනවද? නෑ. ඇගේ සියලූ දුක්‍ඛ දෝමනස්සයන් බොහොම ඉවසීමෙන් විඳ දරා ගන්නව. මේක තමයි ඇය සතුව පවතින අසහාය මානසික ශක්තිය. 

මේ ශක්තිය පුරුෂයට නැහැ. එහෙම තියනවනම් පුරුෂයා මත් පැන් භාවිතා කරන්නෙ නැහැ. දුම් වැටි භාවිතා කරන්නෙ නැහැ. ඒ සියල්ල විද දරාගැනීමේ අපහසුව නිසා තමයි තාවකාලික සහනය පතා මෙවැනි පුරුදුවලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ.

ඔබ අදහස් කරන්නෙ කාන්තාවට සම අයිතිවාසිකම් ලැබිය යුතුයි කියලද? නිසි අයිතිවාසිකම් ලැබිය යුතුයි කියලද?


සම අයිතිවාසිකම කියන දේ සංකල්පයක් විතරයිනෙ. මම අදහස් කරන්නෙ නිසි අයිතිවාසිකම් ලබා දෙන්න කියල. මොකද පුරුෂයාට හිමි කාය ශක්තිය පොදුවේ හැම කාන්තාවකට ම උරුම වෙන්නෙ නැහැ. ඒ වගේ ම කාන්තාවට හිමි මානසික ශක්තිය පොදුවේ කිසිදු පුරුෂයකුට උරුම වෙන්නෙ නැහැ.

ඔබ සඳහන් කරන ‘නිසි අයිතිවාසිකම්‘ මොනවද?
තමන් කැමති ඇදුමක් අඳගෙන මගතොට යන්න. තමන් කැමති කෑමක් බීමක් පාවිච්චි කරන්න. මම මත්පැන් පානය සහ දුම්වැටි පානය අනුමත කරන්නෙ නැහැ. නමුත් පිරිමියට මේ දෙවල් භාවිතා කරන්න පුළුවන් නම් ඇයි කාන්තාවට තහංචි. 


අඩුම ගානෙ පාටියකට ගිහින් බියර් වීදුරුවක් තොලගෑමේ අයිතියවත් කාන්තාවට තිබෙනවද? නමුත් යුරෝපා සහ බටහිර රටවල මේ තහංචිය නෑ. පාටියකදි විස්කි ටිකක් බොන්න පුළුවන්. තමන් කැමති පිරිමියෙක් සමඟ නටන්න පුළුවන්. මෙහි දී දෙදෙනා කටයුතු කරන්නෙ ඔවුනොවුන් පිලිබඳ අන්‍යෝන්‍ය අවබෝධයෙන්.

ඒ නිසා ඔව්නොවුන්ගේ විශ්වාසය පළුදු වීමක් හෝ පතිවෘත්තාව බිදීමක් සිද්ධ වෙන්නෙ නෑ. ඒක ඒ අවස්ථාවට පමණයි. ඊට පස්සෙ ඔවුන් නැවතත් පෙර පරිදිම අඹු-සැමියන්. නමුත් අපේ රටේ එහෙම පුළුවන් ද? බොන්න. නටන්න ඕන නැහැ. 


පාටියක් අවස්ථාවක වෙනත් පිරිමියෙක් දිහා විශේෂ උනන්දුවකින් බැලූවත් එතනින් පිට වුන වෙලාව ඉඳල තමන්ගෙ බිරිඳට එහෙමත් නැත්නම් පෙම්වතියට බැනවදින එකම තමයි වැඬේ. 

ඇතැම් වෙලාවට මේක කෙළවර වෙන්නෙ නිවසට ගිහින් තමන්ගෙ බිරිඳට හොඳට ම පහර දීල. අවම වශයෙන් මෙන්න මේ තත්ත්වයවත් තේරුම් ගන්න පිරිමින්ට පුළුවන්නම් අර මම කියපු නිසි තැන කාන්තාවට හිමි වෙනව.

සමාජයේ මෙවන් තත්ත්වයක් උදාවෙලා තිබෙන්නෙ ඇයි. මොනවද මේ සඳහා හේතුපාදක වන කරණු.

මේක ඍජුව ම ආගමික සහ සංස්කෘතික බලපෑමක්. මෙය සියලූ ආගමික සංකල්පයන් තුළ ක‍්‍රියාත්මකයි. ආගම නැමති යදමින් කාන්තාවගේ අයිතීන් ගැටගසා තිබෙන බවක් තමයි දකින්න ලැබෙන්නෙ.

නමුත් බුදුන් වහන්සේ දේශනා කළේ සමවාදි දර්ශනයක් නේද?

උන්වහන්සේගේ දර්ශනයේ වුනත් අඩුපාඩු දකින්න ලැබනවනෙ. උන්වහන්සේ ජීවමාන යුගයේ වුනත් කාන්තාවට සැලකුවේ දෙවන තැන තියලනෙ. මේක හොඳටම පැහැදිලි වෙනවනෙ උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතෙ ආනන්ද හාමුදුරුවන් කාන්තාවන් පිළිබඳ කළ ප‍්‍රශ්න කිරීමෙදි බුදුන් වහන්සේ දෙන පිළිතුරත් සමඟ. 


වර්තමානයේ උන්වහන්සේගේ දර්ශනය ක‍්‍රියාත්මක වෙන්නෙත් නැහැනෙ. බහුතරයක් බෞද්ධයො ආමිස පූජාවට මිස ප‍්‍රතිපත්ති පූජාවට උනන්දු වෙන්නෙ නැහැනෙ. 

අද බෞද්ධයො හිතන්නෙ පුළුවන් තරම් බුදු පිළිම හැදුවම, පුළුවන් තරම් දානය දුන්නම, පුළුවන් තරම් මල් පහන් පූජා කළාම බුදුන් වහන්සේ වදාළ දර්ශනයේ පිහිටා සිටිනව කියල. ඒක තනිකරම මුළාවක් සහ ආත්මාර්තකාමීත්වයක්නෙ. නමුත් අද බටහිර සහ යුරෝපීය ජනතාව නියම බෞද්ධ දර්ශනය පිළිබඳහැදෑරීම් කරනව. 

ඔවුන් ඒ පිළිබඳ පර්යේෂණ කරනව. එහි තිබෙන ගැඹුරු බව හදාරනව. ඒක අපේ බෞද්ධයා තුළ නැහැ. එහෙම උනන්දුවක් තිබුනත් එතනට යන්න මේ ආගමික බල සංස්ථාව ඉඩ දෙන්නෙ නැහැ. මොකද ඇත්ත වටහාගත්තු ගමන් මේ අය කරන බොරුව අහුවෙනවනෙ.

මේ ගතානුගතික ක‍්‍රමවේදයන් බැහර කළ හැකිද? එසේ කළ හැකිනම් ඒ සඳහා අනුගමනය කළ යුත්තේ කුමනාකාරයේ වැඩ පිළිවෙළක් ද? යන කාරණා සම්බන්ධයෙන් යම් අදහසක් තිබෙනවද?

මේ සඳහා ක‍්‍රම සහ විදි යෝජනා කරන්නෙ කවුද? ක‍්‍රියාත්මක කරන්නෙ කවුද? ඒ සියල්ල ක‍්‍රියාත්මක කරන්නෙත් පිරිමිනෙ. මුළු ලෝකයම දන්නව ලෝකයේ ප‍්‍රථම අගමැතිණිය බිහි වුණේ ලංකාවෙන් බව. අපිට ලැබෙන්නෙ ඒ ගෞරවය පමණයි. අනෙක් කාරණය එතුමිය වැන්දඹුවක්.


නමුත් එතුමියට හැකියාවක් ලැබුණද කාන්තාව වෙනුවෙන් සුවිශේෂිත වූ වැඩ පිළිවෙළක්. නිති රිති පද්ධතියක් හදුන්වා දෙන්න. එතුමියගේ දියණිය ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපතිනය වුණා. එතුමියත් වැන්දඹුවක්. නමුත් එතුමියට මේ පිළිබඳ අලූත් යමක්, දැනෙන වෙනස්කමක් කරන්න පුළුවන් වුණාද? නැහැනෙ. අපි වර්තමානය ගනිමු.

අවම වශයෙන් කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යංශය කාන්තාවකට බාර දුන්න ද? නැහැනෙ. ඒ අමාත්‍යංශය බාරව ඉන්නෙත් රැවුල්කාර පිරිමියෙක්. ඔවුන් කාන්තාවන්ගේ ගැටලූ පිළිබඳ සංවේදි වේවිද? අපේ රටේ කාන්තාව වෙනුවෙන් වසරකට එක් දිනයක් හෝ පෙනී සිටින්නෙ රාජ්‍යය නොවන ආයතන විසින් මෙහෙයවන ලද සංවිධාන. 


ඔවුන් මේ වසරෙත් උදේ වරවෙ උගුර ලේ රහ වෙනතුරු කොළඹ ලිප්ටන් වටරවුමෙ හරි කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ හරි උද්ඝෝෂනයක් කරල ඒකට සහභාගි වුන අයට ගමන් වියදමට කීයක් හරි දීල ආපහු යවයි. එතනින් එහාට යමක් සිද්ධ වෙන්නෙ නැහැ.

නමුත් අපට දක්නට ලැබෙනව කාන්තාවට වෙනස් වීම සඳහා පවතින ඉඩ-කඩ අහුරමින් සිටින්නේ කාන්තාවන් ම බව.

මට පැහැදිලි නෑ.

ගෙදරක ගැහැනු දරුවට පළමුවෙන් ම තහංචි පනවන්නෙ අම්මනෙ. ‘ගැනු ළමයෙක් වුනාම වාඩිවෙන්න ඕන මෙහෙම.’ ‘ගෑනු ළමයෙක් වුණාම හිනාවෙන්න ඕන මෙහෙම.’ ආදි වශයෙන්. මෙවැනි තත්ත්වයක් තුළ ඔබ ඔය කියන ප‍්‍රතිපත්තිමය ක‍්‍රමය වලංගු වේවිද?

හරියට ම හරි. අපි මේ වෙනස ආරම්භ කරන්න ඕන පවුලෙන් ම තමයි. කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ආපු ඇතැම් දේවල් එකපාරට ම වෙනස් කරන්න බැරි බව ඇත්ත. නමුත් අපි ආරම්භ කළ යුතුයි. 


ආරම්භය තමයි වැදගත්වෙන්නෙ. දැන් බලන්න පිරිමි සහ ගැහැනු දරුවන් කිහිප දෙනෙක් සිටින ගෙදරක පිරිමින්ගෙ යට ඇදුම් හෝදල වේලෙන්න එළියෙ ප‍්‍රසිද්ධියෙ දැම්මට ගැහැනු දරුවගේ යට ඇදුම් එහෙම දානවද? නෑ. 

ගැහැනු දරුවන්ගෙ යට ඇදුම් වේලෙන්න දාන්නෙ එළියට පහළියට නොපෙනෙන තැනක. ඇයි මේ වෙනස? මෙන්න මේ අවතක්සේරුව ප‍්‍රතික්ෂේප කිරිම අපි ආරම්භ කළ යුත්තේ නිවසින්. එහෙම නොවුනොත් කාන්තාව සදාකාලිකව ම මුළු ගැන්විලා ඉඳීවි.

කලාකාරියක් විදියට මේ සම්බන්ධයෙන් ඔබට කළ හැකි යම් මැදිහත්වීමක් තිබෙනවද?

ඔබ ඒ පිළිබඳව විමසපු එක හොඳයි. නමුත් මට ඊට කලින් සඳහන් කළ යුතු දෙයක් තිබෙනව. අපි කලින් කතා කළානෙ අපේ රටේ රාජ්‍යය නායිකාවන් දෙපළක් පිළිබඳව. ඇත්තට ම ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය වුනත් ලංකාවේ ප‍්‍රථම ජනපතිනිය වුනත් මේ සිද්ධි දෙකම අහම්බයක්නෙ.


මේ දෙන්න ම දේශපාලනයට පිවිසෙන්නෙ දීර්ඝකාලින දේශපාලන හදෑරිමකින් තොරවනෙ. ඒ ආවත් ඔවුන්ට කාන්තාවන් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන්න බැරි වුනානෙ. අපි ගමු ඡන්ද නාම ලේඛනය. ඒකත් පුරුෂ මූලිකයිනෙ. 

මේ වන විට මේ රටේ පිරිමි අතුරුදන් වුන පවුල් කොපමණ සිටිනවද? යුද්ධය නිසා සහ විවිධ දේශපාලන ප‍්‍රචණ්ඩත්වයට ගොදුරුව මිය ගිය පිරිමින්ගේ භාර්යාවන් කොපමන සිටිනවද? නමුත් තවමත් ඡන්ද නාමලේඛනයේ සඳහන් වෙන්නෙ ‘ගෘහමූලිකයාගේ නම’ කියලනෙ. මේ වචනයට ස්ත‍්‍රී ලිංග පදයක් නෑනෙ.

මගේ අදහස නම් අපේ රටේ කිසිදු දේකට ජාතික ප‍්‍රතිපත්තියක් නෑ. අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවාවට, ප‍්‍රවාහන සේවාවට, හෝ වෙනත් කිසිම සේවාවකට ජාතික ප‍්‍රතිපත්තියක් නෑ. තිබෙන්නෙ ඇමතිවරුන් මාරු වන විට ආණ්ඩු මාරු වන විට ක‍්‍රියාත්මක කරන වැඩ පිළවෙළක් පමණයි. ඒ නිසා කාන්තාවන් පමණක් නොවෙයි සමස්ථ ජනතා ව ම මුහුණ පා සිටින්නෙ එකම ව්‍යසනයකට.

දැන් අර ඔයා අහපු ප‍්‍රශ්නයට එමු. කලාකාරියක් විදියට කොහොමද මගේ මැදිහත්වීම කියල. මගේ නවතම සිනමා නිර්මාණයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්ත්තු වෙන්නෙ මෙන්න මේ කාරණා තමයි. මම මේ නිර්මාණය හරහා සමාජ ගතකරන්න උත්සාහ කරන්නෙ විවාහ සංස්ථාව ඇතුළෙ කාන්තාවගේ භූමිකාව මොන වගේ විය යුතු ද? 


පිරිමියා මොන විදියට ද තම භාර්යාව පිළිගත යුත්තේ යන්න පිළිබඳ ව. මේ නිර්මාණය නම්කරල තියෙන්නෙත් ‘හෙජමොනි’ කියල. බලවත් රාජ්‍යයන් දෙකක් අතර තිබෙන බලවත් අරගලය. ඒ කියන්නෙ සැමියා සහ බිරිඳ කියන්නෙ බලවත් රාජ්‍යයන් දෙකක්. විවාහ වුනාට පස්සෙ මේ රාජ්‍යයන් දෙක එක සංස්ථාවක් විදිය ගොඩනැගිය යුතුයිනෙ.

නමුත් මේක එක සංස්ථාවක් විදියට ගොඩනැගිල නැහැනෙ. හැමදාමත් වෙන්නෙ සහ වුනේ කඹයක් දෙපැත්තට අදිනව වගේ මේ රාජ්‍යයන් දෙක දෙපැත්තට ඇදුණ එකනෙ. මෙන්න මේ කඹ ඇදිල්ල නවත්වන්න පුලූවන් ක‍්‍රමයක් තමයි මම මෙතනදි යෝජනා කරන්නෙ. මේ වන විට අදාළ නිර්මාණයේ කටයුතු ආරම්භ කරල තියෙන්නෙ පසුව ඒ පිළිබඳ වැඩි විස්තර සපයන්න පුළුවන්.
 
Related Posts with Thumbnails