Ads 468x60px

.

ලංකාවේ ජනතාව වඳ භාවයට පත් වෙන ඇත්ත ප‍්‍රශ්නය, කුඩන්කුලම් බලාගාරයේ විකිරණ කාන්දුව

ඒක දැන ගන්න වෙන්නේ මළ දරු උපත්, නිල් දරු උපත් සිදු වෙද්දී, පිළිකා ඇති වෙද්දී..

මේක තමයි ඇත්ත ප‍්‍රශ්නය මේ වෙනුවෙන් හඬ නඟන්න කියලා අපි කියනවා..

ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයේ යුරේනියම් පිරවීමේදී විකිරණ කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දියාවේ ඩෙකෑන් ක්‍රෝනිකල් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. 

පසුගිය 22වැනිදා සිට තූත්තුකුඩි, කන්‍යාකුමාරි ආදී ප‍්‍රදේශවල සිටි ජනතාව ඉවත් වෙමින් සිටිනවා. එදා රෑපල්ලිවල සීනුව නාද කරලා අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. මේක නිරන්තරයෙන් සිද්ධ වෙන කාන්දුවීමක්.

මෙම න්‍යෂ්ඨීක බාලාගාරවලින් පිට වන විකිරණ මිනිසුන්ට සහ පරිසරයට ඉතාම හානිකරයි. ෆුකුෂිමා බලාගාරයේ සිදු වුණු පිපිරුමෙන් පස්සේ ඇමරිකානු මුහුදේ සිටින ටූනා මත්ස්‍යයින්ගේ සිරුරුවල විකිරණ අඩංගුයි කියා සොයා ගත්තා. 


ඒ වගේම ඒ අනතුරෙන් මාස 18කට පස්සේ, බලාගාරයේ සිට කිලෝමීටර් 700ක් දුරින් පිහිටි කුඹුරුවල සහල්වල විකිරණ අඩංගු බව සොයා ගත්තා. නමුත් ලංකාව තිබෙන්නේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 500ක් ඇතුළත.

2006 සහ 2010 වසර වල කූඩන්කුලම් ප‍්‍රදේශයේ භූචලන දෙකක් ඇති වී තිබෙනවා. ඒ වගේම 2004 සිදුවූ සුනාමි ව්‍යසනයේදී මේ ප‍්‍රදේශයට විශාල හානියක් සිදු වුණා. එවැනි අනතුරක් ඉදිරියේදීත් සිදුවීමේ අවදානම පවතිනවා.

මෙවැනි අනතුරක් තිබියදීත් ආණ්ඩුව 2011-2030 ජාතික භෞමික සැලැස්මක් හදලා ඒකේ පංච මහා කේන්ද්‍ර අතරේ එකක් විදියට බලශක්තිය නිපදවා අලෙවි කිරීම නම් කර තිබෙනවා. මේ සූදානම් වෙන්නේ ලංකාවේත් න්‍යෂ්ඨික බලාගාරයක් පිහිටුවීමට බව පැහැදිලියි. ජර්මනියේ, රුසියාවේ ඉවත් කරන බලාගාර තමයි මේ ගෙනත් ස්ථාපිත කරන්න හදන්නේ.
මෙහිදී අදහස් දැක්වූ කථික රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවා.

දුමින්ද නාගමුව මහතා

මේ සියවස මානව සමාජයේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක සියවසක් ලෙස හඳුන්වා තිබෙනවා. මිනිසා තවදුරටත් පෘථිවිය මත පවතිනවාද නැද්ද කියන සංවාදය මේ සියවසේදී පෙරට ඇවිත් තිබෙනවා.

කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරයේ ක‍්‍රියාවලිය ආරම්භ කළ පළමු අවස්ථාවේදීම විකිරණ කාන්දුවක් සිදුව තිබෙනවා. එහෙම නම් මෙතනින් පස්සේ තත්වය පැහැදිලියි. ඒ නිසා ඉතාම බරපතළ අවදානමක් තිබෙනවා. මේ බලාගාරයේ පාවිච්චි වෙන්නේ රුසියාවේ අඩු තාක්ෂණය බව අපි මීට පෙරත් පෙන්වා දුන්නා. දැන් ඔවුන් යුරේනියම් පුරවන්නේ ලංකාවේ විකිරණ මාපක සවි කරන්නේත් නැතිව. ඒ ගැන කවුද වගකියන්නේ?

ඉන්දියාවේ මධ්‍යම රජය සහ මීට වගකිව යුතු ආයතන කියලා තිබෙනවා, විකිරණ කාන්දුවක් නැහැ කියලා. ඔවුන් මේක පිළිගන්නේ නැහැ. ඔවුන් පමණක් නොවෙයි, ලෝකයේ කිසිම රටක් තමන්ගේ රටේ තිබෙන න්‍යෂ්ටික බලාගාරවලින් විකිරණ කාන්දුවක් සිදු වෙනවා කියලා ඉතිහාසයේ කවදාවත් පිළිනොගෙනම බැරි අවස්ථාවක හැර පිළිගෙන නැහැ. 


විකිරණ කාන්දුවක් වෙලා තියෙනවාද කියලා ඔවුන්ගෙන් අහන එක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. මේ වන විට ඔවුන් මේ වෙනුවෙන් බිලියන ගණනක් ණය වෙලා, විශාල මුදලක් වියදම් කරලා තිබෙනවා. ඒ නිසා ‘ඔව් විකිරණ කාන්දුවක් වෙලා තියෙනවා, ඒ නිසා අපි මේ ව්‍යාපෘතිය අතහැර දමනවා’ කියලා බලාගාරය වහලා දාන්නේ නැහැ. ඒ වෙනුවට එහෙම එකක් නැහැ කියලා සඟවනවා.

එවැනි කාන්දුවක් සිදු වෙලා තියෙනවාද කියලා දැන ගන්න වෙන්නේ ලංකාවේ විකිරණ මාපක සවි කරලා තිබෙනවා නම් පමණයි. ඒත් ලංකාවේ ආණ්ඩුව එවැනි විකිරණ කාන්දුවක් සිදු වෙලා තියෙනවා, ඒක මාපකවල සටහන් වෙලා තියෙනවා කියලා කියන්න ඕන. එහෙම කියන්නේත් නැත්නම් ඒක දැන ගන්න වෙන්නේ මළ දරු උපත්, නිල් දරු උපත් සිදු වෙද්දී, පිළිකා ඇති වෙද්දී.

ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහලා තියෙන්නේ, හානියක් වුණොත් වන්දි ගන්න. එවැනි අනතුරක් සිදු වුණොත් කවුද වන්දි ගන්න ඉතිරි වෙන්නේ?

අද සිංහල බෞද්ධයා වඳ වෙනවෝ කියලා කෑ ගහන අයටත් අපි කියන්නේ මේ බලාගාරය නිසා සිංහල විතරක් නොවෙයි, දෙමළ මුස්ලිම් සියලූ දෙනා වඳ වෙන්න පුළුවන්. මේක තමයි ජනතාව වඳ භාවයට පත් වෙන ඇත්ත ප‍්‍රශ්නය. ඒ නිසා බොරුවට කෑ ගහන අයටත් අපි කියනවා, මේක තමයි ඇත්ත ප‍්‍රශ්නය මේ වෙනුවෙන් හඬ නඟන්න කියලා.

සුරේන්ද්‍ර අජිත් රූපසිංහ මහතා

විකිරණ කාන්දුවක් සිදු වෙනවාද කියලා නිරීක්ෂණය කරන්න ක‍්‍රමවේදයක් ලංකාවේ ආණ්ඩුවට නැහැ. ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ දේශපාලන න්‍යාය පත‍්‍රයට යට වෙලා වැඩ කරන්නේ. ලංකාවේ ජනතාවගේ ජීවිතවලට, ඔවුන්ගේ ආරක්ෂාවට ආණ්ඩුව වගකිව යුතුයි.


ඉන්දීය කුඩන්කුලම් බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදුව ඇති බවත් ඉන් මුළු ශ‍්‍රී ලංකාවේම ජනතාව වඳවිය හැකි බවත් කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය පෙන්වා දෙනවා.

කූඩන්කුලම් බලාගාරයේ සිදු වී ඇති විකිරණ කාන්දුවීම පිළිබඳව කරුණුදැක්වීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අනුග‍්‍රහය ලබන එම ව්‍යාපාරය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් පැවසුවේ එවැනි විකිරණ කාන්දුවක් සිදු වුවත් ඉන්දියාව ඒ බව පිළි නොගන්නා බවත්  තූත්තුකුඩි, කන්‍යාකුමාරි ආදී ප‍්‍රදේශවල සිටි ජනතාව ඉවත් වෙමින් සිටින බවත්ය.
 
Related Posts with Thumbnails