Ads 468x60px

.

කොට්ටාව, නීග්‍රෝධාරාම ගල උඩ පන්සලේ අද්භූත අඩි සලකුණු අතේ පැලවෙන බොරුවක්ලු...

මම නම් ඔය කියන පා සලකුණු බලන්න ගියේ නැහැ...  

ඕක ඔච්චර ගණන් ගත යුතු දෙයක් නොවේ... විහාරාධිපති 

නිග්‍රෝධාරාම විහාර ස්ථානය පිහිටා ඇත්තේ කොට්ටාව-හොරහේන පාරේය. ඕනෑම කෙනකුගේ සිත් සතන් නිවන රමණීය භූමි භාගයක පිහිටි මේ පින් බිමට වසර 125ක එහා ගිය ඉතිහාසයක් ඇත.නිග්‍රෝධාරාම විහාරස්ථානය ගල උඩ පන්සල ලෙස ද ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. 

මේ විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හොබ වන්නේ 94 හැවිරිදි වියේ පමණ පසු වන තුම්බෝවිල අරියනන්ද හිමියෝය. උන්වහන්සේ සුපේෂණ ශික්ෂාකාමී හිමිනමකි. විහාරස්ථානයට හිමිදිරි උදේම පැමිණ බෝ මළුව ඇමදා මල් පහන් පූජා කර බුදුන් වැඳ ගිලන්ව සිටින අරියනන්ද හිමියන්ගේ ද සුවදුක් සොයා බලාගෙන කාලයක් තිස්සේ බී.එච්. සිරිසේන උපාසක මහතා පුරුද්දක් වශයෙන් කරගෙන යන අයෙකි.

බෝ මළුව වටා යමින් බෝධිය වන්දනාමාන කෙරෙන අතරවාරයේ සිරිසේන උපාසක මහතා දුටු දෙයක් ඔහු මොහොතක් වෙලා ගල් ගැසී ඒ දෙස බලා සිට ඇත.

බෝ මළුවේ සුදෝ සුදුවන් වැලි තලාවේ අසාමාන්‍ය පා සලකුණු දෙකක් සටහන්ව ඇති අයුරු දැකීම නිසා සිරිසේන උපාසක මහතා විශ්මයට පත්ව ඒ දෙස මොහොතක් බලා සිට බෝ මළුවේ බුදුන් වඳිමින් සිටි තවත් උපාසක මහත්මයකුට හා උපාසිකාවකට කතා කර ඇත.

වැල්ලේ බොහෝ පැහැදිලිව සටහන්ව තිබූ ඒ අසාමාන්‍ය අද්භූත පා සලකුණු දෙක උපාසක මහත්මයාට හා උපාසිකාවට ද පෙන්වීමෙන් පසු ඔවුන් ද එය දැක පුදුමයෙනුත් පුදුමයට පත්ව කට අයාගෙන ඒ දෙස ඇස් පිය නොසොල්වා බලා සිට තිබේ.

නිග්‍රෝධාරාම විහාරස්ථානයේ බෝ මළුවේ සාමාන්‍ය පුද්ගලයකුගේ පා සලකුණුවලට වඩා ලොකු පා සලකුණු දෙකක් සටහන්ව ඇති බවත් එය දැක බලා ගැනීමට පිරිස් දිවා රෑ දෙකේ පැමිණෙමින් සිටින බවටත් දැන ගැනීමට ලැබී ඒ ගැන තොරතුරු සොයා බැලීමට පසුගිය 3 වැනිදා ඉරුදා සවස් යාමයේ අපි එහි ගියෙමු.

නිග්‍රෝධාරාම විහාරස්ථානයේ බෝ මළුවේ සටහන්ව ඇති ඒ අද්භූත අසාමාන්‍ය පා සලකුණු දෙක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගිය මේ ගමනට අපත් සමග ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ද එක් විය.

වෛද්‍ය ජනක ජයසූරිය මහතා අද්භූත සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මක ගවේෂණයක් ජනතාවට එම දේ ගැන ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන විද්වතෙකි.

බෝ මළුවේ ඇති ඒ අසාමාන්‍ය පා සලකුණු වටේ ගල් කැට තබා ඒ මතින් වීදුරු කැබලි දෙකක් තබා දායකයින් පිරිසක් එය ආරක්ෂා කර ඇත.
ඒ අද්භූත පා සලකුණු දෙක එසේ ආරක්ෂා කර ඇත්තේ අනෙක් අයට පෑගී ඒ සලකුණු මැකී යාමෙන් වළක්වා ගැනීම සඳහා බව ඩැනියෙල් මහතා අප සමග පැවසීය.

අප එහි ගත කළ කාලය ඇතුළත වරින් වර පිරිස් මේ අද්භූත අසාමාන්‍ය පා සලකුණු දැක බලා ගැනීම සඳහා එහි පැමිණෙන අයුරු දක්නට ලැබිණි. ඇතැමුන් මේ බෝ මළුබෝ සටහන්ව ඇති දෙවි කෙනකුගේ පා සලකුණු යැයි සිතා දොහොත් තබා ඒ පා සලකුණුවලට බොහෝ බැති බර සිතින් වඳින අයුරු ද අපට දැක ගැනීමට හැකි විය.

වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඒ අද්භූත පා සලකුණු බොහෝ වේලාවක් තියුණු හා සූක්ෂ්ම ලෙස පරීක්ෂාවට ලක් කර එවා බැලූවේය.

ඒ එක් පා සලකුණක දිග අඟල් 18ක් පමණ බව ඒවා මැන බැලීමේ දී හෙළි විය. වෛද්‍යවරයා මේ සම්බන්ධව කරන ලද සොයා බැලීම්වල දී හෙළි කරගත් කරුණු කාරණා ගැන විද්‍යාත්මක විග‍්‍රහයක් වෙනම පළ කරන නිසා ඒ ගැන මෙහි දී කිසිවක් නොපවසමි.

බෝ මළුවේ තවත් එවැනිම අසාමාන්‍ය පා සලකුණු දෙකක් සටහන්ව තිබූ බවත් ඒ අවස්ථාවේ අදෘශ්‍යමාන කෙනෙක් ගමන් කර ඇති බවත් ඒ සමගම ඇවිස්සී ගිය දුහුවිල්ලකින් ඒ පා සලකුණු දෙක මැකී ගොස් ඇති බවටත් ගමේ ආරංචි පැතිර ගොස් ඇති බව එහි ගිය අපට දැන ගැනීමට ලැබිණි.

බෝ මළුවට පහළින් විශාල නුග රුකක් පිහිටා ඇති අතර සමහර බැතිමතුන් ඒ නුග රුකේ දෙවි දේවතාවුන් වැඩ සිටින බවට විශ්වාස කර එයට වන්දනාමාන කරති.

නුග රුක පිහිටි වැලි තලාවේ ද අද්භූත පා සලකුණු දෙකක් සටහන්ව තිබූ බවත් ඒ පා සලකුණු බෝ මළුවේ සටහන්ව තිබූ පා සලකුණු තරම් විශාල ඒවා නොවන බව ද එහි දී අපට හමුවූ බැතිමතුන් පිරිසක් පැවසූහ.

පා සලකුණු දෙකේ සටහන්ව තිබූ බවට කියන ඒ ස්ථානය එම වටා පොල් තෙල් පහන් තබා තිබූ අතර වෛද්‍ය ජනක ජයසූරිය මහතාගේ දැඩි නිරීක්ෂණයට ඒ ස්ථානය ලක් විය.එතැන පා සලකුණු තිබූ බවට සාධක පෙනෙන්ට නොතිබූ බව වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

ජී. ආර්. මල්ලිකා

ජී.ආර්. මල්ලිකා මහත්මිය සිය සැමියා හා දරුවන් ද කැටිව විහාරස්ථානයට පැමිණ සිටියේ මේ අද්භූත පා සලකුණු දැක බලාගෙන බුදුන් වැඳීම සඳහාය. ඇය කොට්ටාව සිරිමල්වත්තේ පදිංචිකාරියෙකි.

මල්ලිකා මහත්මිය මේ අද්භූත විශ්මයජනක පා සලකුණු ගැන අදහස් දක්වමින් මෙසේ කීවාය.මේ පන්සල ගොඩක් හාස්කම් තියන තැනක්. මේ බෝ මළුවේ සටහන්ව ඇත්තේ දෙවි කෙනකුගේ පා සලකුණු බව කිසිම සැකයක් නැහැ. 

මීට පෙර මේ වගේ අසාමාන්‍ය පා සලකුණු දෙකක් ජීවිතේ කිසිම දිනක දැකලා නැහැ. වෙන කොහේවත් පුද බිමක මේ වගේ පා සලකුණක් සටහන්ව තිබූ බව අහලවත් නැහැ.


බී.එච්. අමරසේන

කොට්ටාව සිරිමල්වත්තේ සිට අසාමාන්‍ය පා සලකුණු දැක බලා ගැනීම සඳහා පැමිණ සිටි පී.එච්. අමරසේන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවකි.

මේ බෝ මළුවේ සටහන්ව ඇත්තේ විහාරස්ථානයේ ලොකු නුග ගසේ වැඩ වාසය කරන දෙවි කෙනකුගේ පා සලකුණු බවට විශ්වාසයක් තිබෙනවා. මේ දෙවි කෙනකුගේ පා සලකුණක් කියා මගේ හිතෙත් විශ්වාසයක් තියෙනවා. විහාර මළුවේ තියෙන නුග ගස බොහෝම හාස්කම් ඇති ගහක්. මේ පැත්තේ කොයි කවුරුත් ඒ බව දන්නවා. 

මම මේ පා සලකුණු බලන්න ආවේ දෙවැනි වරටයි. මේ වගේ අසාමාන්‍ය පා සලකුණක් මිහි පිට ඉන්න කෙනකුට තියෙන්න බැහැ. ඒ නිසයි මේ පා සලකුණ දෙවි කෙනකුගේ කියලා අපි කියන්නේ. මේ අසාමාන්‍ය පා සලකුණ ගැන ආරංචි දැන් දැන් රෑ දවල් දෙකේම හරියට කට්ටිය එතන යැයි ද අමරසේන මහතා අවසන් වශයෙන් පැවසීය.

පියල් විජේරත්න

කොට්ටාවේ නිග්‍රෝධාරාම විහාරස්ථ දායක සභාවේ ලේකම් පියල් විජේරත්න මහතා ද හමුවීමට ගොස් මේ ගැන කතාබහ කළෙමු.

මේ පන්සල අවුරුදු 125කටත් වඩා ඉතිහාසයක් තිබෙනවා. මේ විහාරස්ථානයේ වැඩ වසන නායක හාමුදුරුවෝ බොහෝම සිල්වත් හිමිනමක්. 

සල්ලිවත් අතපත ගාන්නේ නැහැ. අවුරුදු 12 දී මහන වෙලා මේ පන්සලේ වැඩ වසනවා. කලින් විහාරාධිපති තනතුර හෙබවූ සුබෝධානන්ද හිමියන් 1956 වසරේ අපවත් වුණාට පස්සේ විහාරාධිපති තනතුරට පත් වුන අරියනන්ද හිමියන්, සුබෝධනන්ද හිමියන් හා අරියනන්ද හිමියන් මේ විහාරස්ථානය මේ තත්ත්වයට වැඩිදියුණු කරන්න ලොකු කැප කිරීම් කළා.

පන්සලේ ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක් කළ විජේරත්න මහතා ඊළඟට අප සමග කතාබහ කළේ විහාර මළුවේ වැලි තලාවේ සටහන්ව තිබූ අසාමාන්‍ය පා සලකුණු සම්බන්ධයෙනි.

විහාරස්ථ දායක සභාවේ සභාපති නිමලසිරි පෙරේරා මහතා මට කිව්වා විහාරයේ බෝ මළුවේ වැලි තලාවේ අසාමාන්‍ය පා සලකුණු දෙකක් තියෙනවා කියා. උපාසක මහත්තයෙක් පැවසූ බවට මමත් ඒ කතාව අසා පන්සලට ගියා. අසාමාන්‍ය පා සලකුණු දෙක මං දැක්කා. 

මෙතැන අසාමාන්‍ය පා සලකුණු දෙකක් සටහන්ව තිබීම ගැන මට හිතා ගන්න බැහැ. කුමන ආකාරයට මෙවැනි අසාමාන්‍ය පා සලකුණක් ඇති වුණා ද කියලා මට පැහැදිලිවම කියන්න අමාරුයි. කොහොම වුණත් මේ වගේ දෙයක් වුනේ කොහොම ද කියන එකේ ඇත්ත නැත්ත දැන ගැනීමට අවශ්‍යයි.

මේක කවුරු හරි කෙනෙක් කළා ද? එහෙමත් නැත්නම් හාස්කමකින් සිදු වූවක් ද කියන්න දන්නේ නැහැ. ඒකයි අප කියන්නේ මේකෙ ඇත්ත නැත්ත දැන ගත යුතුයි කියා.

මේ පන්සලේ කිසිම දාක වන්දනාමාන කරන්න එන අයගෙන් ආධාර මුදල් ලබා ගන්න පින් කැට තැනින් තැන තියලා නැහැ. මේක පන්සලට ආර්ථික වාසි ලබා ගන්න කරපු දෙයක් නොවේ කියා මම බොහොම පැහැදිලිවම කියනවා. එහෙම අරමුණක් තිබුණා නම් දැන් මේ ජනයාගෙන් කොච්චර මුදල් එකතු කර ගන්න තිබුණ ද? 

අපේ පන්සලේ කිසිම දායකයකුට එහෙම අරමුණක් නැහැ. මේ ප‍්‍රසිද්ධියක් ගන්න කියූ දෙයක් නම් නොවේ. මෙය පන්සල හෝ විහාරස්ථ දායක සභාවේ අනුදැනුම මත හිතලා කරපු දෙයක් නොවන බව නැවතත් බොහොම පැහැදිලිවම වගකීමකින් යුතුව පවසනවා.

පන්සලේ වැඩ වසන නායක හාමුදුරුවො බොහෝම සිල්වත්. සල්ලි අල්ලන්නේ නැහැ. ඒ වගේම රෑට දානය වළඳින්නෙත් නැහැ. ගැබිනි මාතාවන්ට අපේ නායක හාමුදුරුවො පිරිත් දේශනා කරනවා. ආශිර්වාද කරනවා. ඒත් කවදාවත් කිසිම දෙයක් ගන්නේ නැහැ. අඩුම තරමේ බුලත් කොලයක් හුණු ටිකක්වත් ගන්නේ නැහැ. 

අපේ නායක හාමුදුරුවෝ එදා ඉඳලාම අල්පේච්ඡු ජීවිතයක් ගත කළේ. දැන් වයෝවෘද්ධයි. ගිලන්ව ඉන්නේ. උන්වහන්සේට උවටැන් කරන්නේ අපේ දායකයෝ තමා යැයි දායක සභාවේ ලේකම්වරයා පැවසීය. 

විජේරත්න මහතාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. අසාමාන්‍ය පා සලකුණු ප‍්‍රදර්ශනය කර මුදල් ආධාර ලබා ගැනීමක් කොහොමවත් වන්නේ නැත. එසේම විහාරස්ථානයේ කොනකවත් පින් කැට තබා නොමැත. එය සුවිශේෂී තත්ත්වයකි.


බී.එච්. සිරිසේන

බෝ මළුවේ වැලි තලාවේ අසාමාන්‍ය පා සලකුණු සටහන්ව තිබෙන බවට මුලින්ම දුටු බී.එස්. සිරිසේන (59) මහතා හමු වීමට ද හොරහේන පාරේ ඔහුගේ නිවස සොයා අපි ගියෙමු.

පසුගිය 26 වැනිදා බදාදා උදේ මට ...... බෝ මළුවට ගියා. වැඳීමට වන්දනාමාන කරමින් බෝධීන් වහන්සේ වටා යද්දි තමා මේ අසාමාන්‍ය පා සලකුණු දෙක දැක්කේ. ඒ වෙලාවෙ පන්සලේ හිටපු උපාසක මහත්තයකුටයි උපාසිකාවකටයි මම මේ අසාමාන්‍ය පා සලකුණු දෙක පෙන්නුවා. 

අපි පුදුමයෙන් මේ පා සලකුණු දෙස බලාගෙන සිටියා. මේ පා සලකුණු දකිද්දි එදා උදේ 8.45ට පමණ ඇති.මේ අසාමාන්‍ය පා සලකුණු ඇති වුණේ කොහොම ද කියලා ඔබ හිතන්න. මම සිරිසේන මහතාගෙන් විමසූ අවස්ථාවේ මොහු පැවසුවේ මට නම් හිතා ගන්නවත් බැහැ කියාය.

අදෘශ්‍යමාන කෙනෙක් එදා හිටපු අයගේ ඇෙඟ් හැපුනා. එක පාරටම ලොකු දුවිලි ගොඩක් ඇවිස්සුණා කියලා කියන කතාවේ ඇත්තක් තිබෙනවා දැයි කියා සිරිසේන මහතාගෙන් විමසීමි.එහෙම දෙයක් අපට නම් වුනේ නැහැ. මේ කියනකම් ඔය වගේ කතාවක් මා දැනගෙන හිටියේ නැහැ කියා සිරිසේන මහතා මගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් කීය.


නිග්‍රෝධාරාමයේ විහාරාධිපති 
තුම්බෝවිල අරියනන්ද හිමියන් ද බැහැදැක උන්වහන්සේ සමග සුළු වේලාවක් අපි කතාබහ කළෙමු.
මගේ වයස දැන් අවුරුදු 94ක් විතර වෙනවා. ඇවිද ගන්න අපහසුයි.

මම නම් ඔය කියන පා සලකුණු බලන්න ගියේ නැහැ.  ඕක ඔච්චර ගණන් ගත යුතු දෙයක් නොවේ. ඔයිට වඩා හාස්කම් මෙතැන වෙලා තිබෙනවා යැයි උන්වහන්සේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසූහ.

මේ පා සටහන් කිසිවකු විසින් නිර්මාණය කළ බවයි පෙනෙන්නේ...

කොට්ටාව නිග්‍රෝධාරාම විහාරයේ බෝ මළුවේ සටහන්ව ඇති පා සලකුණු දෙක මම හොඳින් නිරීක්ෂණය කළෙමි. එක් පාදයක දිග අඟල් 18කි. 

අනෙක් පාදය අඟල් 17කි. පාදවල වර්ග ඵලය දෙස බැලූ විට ඒවාට හිමිකම් කියන තැනැත්තා අඩි 10ක් පමණ උස දැවැන්ත සිරුරකට හිමිකම් කියන්නෙක් විය යුතුයි. එසේම මළුවේ එම කොටසේ එවැනි වෙනත් පා සටහන් නොමැත. එබැවින් ඒ තැනැත්තා ”අහසින්” පැමිණි අයකු විය යුතුයි! පා සටහන් හොඳින් විශේලේෂණය කර බැලූ විට ඒවායේ අසාමාන්‍යතා හා වෙනස්කම් රැසක් දුටුවෙමි.

පාදවල සම්පූර්ණ සටහනම පොළොවේ සලකුණු වී තිබීම ඉන් පළමු වැන්නයි. ඒ අනුව එම තැනැත්තාගේ පාදවල මධ්‍ය තීර්යක් වක‍්‍රය නැත (Medial Longitudinal Curve&). ඒ නිසා ඇවිදීමට අපහසුතාවක් ඇති අයකු විය යුතුයි (එබැවින් අහසින් පැමිණීම සාධාරණය).

වම් පාදය දිගින් දකුණු පාදයට වඩා වැඩිය. එසේම පාදවල පත්ලේ ඉදිරි කොටස සහ ඇඟිලි අතර පරතරය බැලූ විට වම් පාදයේ එය ඉතාම අල්පය. දකුණු පාදයේ එම පරතරය සෙන්ටිමීටරයකටත් වඩා වැඩිය. එය ද අසාමාන්‍යතාවකි. නොඑසේ නම් විකෘතිතාවකි.

ඇඟිලිවල සලකුණු දෙස බලන විට වම් පාදයේ ඇතැම් ඇඟිලි හතරැස්ය. ඇතැම් ඇඟිලි රවුම්ය. ඇඟිලි අතර පරතරය ද වෙනස් වේ. දකුණු පාදයේ ඇඟිලි සටහන් විහිදී ඇති දිසාව අනුව, (හාස්කමක් නොවේ නම්) රුමැටොයිඞ් ආත‍්‍රයිටිස් වැනි රෝගයක සංකූලතාවක් මේ තැනැත්තාට තිබෙන්න ඇත (දේවතාවන් අතර එවැනි රෝග තත්ත්ව ඇත් දැයි මම නොදන්නෙමි).

පා සටහන්වල දාරයන්හි වැලි උඩට මතු වී ඇති ආකාරය ද සැක සහිතයි. ස්වාභාවික කෙනකුගේ පා සටහන් සලකුණු වන ස්වභාවය හා මේ පා සටහන වෙනස්ය.

කෙනකු වැලි පොළොවක සිටගත් විට ඔහුගේ පාදවලින් පොළොවට වැඩි පීඩනයක් යෙදෙන තැන්වල පා සටහන හොඳින් සලකුණු වේ. නමුත් මේ පාදවල (විශේෂයෙන්ම දකුණු පාදයේ) සුලැඟිල්ල ද හොඳින් සලකුණු වී ඇත.

සාමාන්‍ය අයකු සිටගත් විට ඔහුගේ විළුඹ දෙක අතර පරතරයට වඩා මහපට ඇඟිලි 2 අතර ඇති පරතරය සුළුවෙන් හෝ වැඩි වේ. නමුත් මේ සලකුණුවල පාදවල ඉදිරියෙන් ළං වී ඇති අතර විළුඹ දෙක ඈත් වී ඇත. ඒ ඉරියව්වෙන් සිටගෙන සිටීම අපහසුය.

මේ කාරණා සියල්ල එකතු කර බැලූ විට පෙනී යන්නේ මේ පා සටහන් කිසිවකු සිටගෙන සිටීම නිසා ඇති වූවක් නොවන බවයි. එසේ නම් යම් අයකු විසින් සිතාමතා සකස් කරන ලද්දක් විය යුතුයි. එසේ කරන්නට හේතුව කුමක් ද? මේ සිද්ධියේ වාණිජ පරමාර්ථයක් ඇතැයි දැනට නම් නොපෙනේ. ඒ අඩු තරමින් පන්සලේ පින් කැටයක්වත් නුදුටු බැවිනි.

මේ පන්සලේ බෝ ගසට යාබදව ඇති නුග ගසේ දෙවියකු සිටිතැයි කියැවේ. දේවතා එළි දිටු අය ද ඇතැයි පැවසේ. එහෙත් දේවතා එළි ලෙස බොහෝ දෙනකු දකින්නේ උල්කාපාතයි. අපේ වායුගෝලයට ඇතුළු වීමත් සමග ගිනිගෙන දැවෙන වේගයෙන් ගමන් කරන උල්කාපාත ඇතැමුන්ට ”දේව සක්මනකි.”

විශාලව වැඞී ඇති නුග ගස්වල දෙවිවරු සිටින බව ආදි කාලයේ පටන් මිනිසා අතර පැවත එන මිත්‍යා මතයකි. පැදුරක් එළා බිම නිදා ගන්නවාටත් වඩා අසීරු වූ ”ගසක් මත හිඳීම”, දෙවියකුට තරම් දැයි හිතන්නට බැරි ඇතැම්හු ඒවා තදින්ම විශ්වාසයට ගනිති. සාධකය විශාල ගසක් වීමය.

ඇතැම් විට මේ පා සටහන් නිර්මාණය කළ තැනැත්තා එය මෙතරම් දුර දිග යාවි යයි සිතන්නටවත් නැත. එහෙත් දොළුකන්දේ සිදු වීම් මාලාව ද පටන් ගත්තේ සුළුවෙනි. ඔළු නැති, ඇස් නැති අද සමාජයේ මිථ්‍යා මත පැතිරෙන්නට ගත වන්නේ ඉතා සුළු කාලයකි. 

මේ පා සලකුණු මුලින්ම දුටු තැනැත්තා එක වරම දුවිලි වලාවක් දුටුවා යයි ද, අනතුරුව බලන විට පා සටහන් තිබුණේ යයි ද කට කථාවක් තිබිණි. එහෙත් ඔහු මුණ ගැසී විමසූ විට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය.

එම නිසා, මේ පා සටහන් කිසියම් අද්භූත අයකුගේ නොව යම් කිසි අයකු සිතා මතා කළ නිර්මාණයක් බව කිව යුතුයි. පා සටහන්වල ඇති සියුම් සාධක ඊට දෙස් දෙයි. 

ගුප්ත වූ දේ නැරඹීමට ඇති කුහුලත්, එවැනි දේ දැකීමෙන් හා ඇසීමෙන් සිත පින වීමට ඇති කැමැත්තත් නිසා මේ ”යෝධ පාද” නැරඹීමට එන ”බැතිමතුන්” ගණන ඉහළ යන්නට මත්තෙන් මේ සටහන තැබීම කාලෝචිත යයි සිතුවේ එහෙයිනි.

වෛද්‍ය ජනක ජයසූරිය  -  දිසා රෝහල, ගලගෙදර

කොට්ටාව, නීග්‍රෝධාරාම ගල උඩ පන්සලේ බෝමලුවේ අද්භූත අඩි සලකුණු කාගේද..?
 
Related Posts with Thumbnails