Ads 468x60px

.

ටයිම් සඟරාවේ කවරයට ගිය තරුණියගේ කතාව...

දොළහ ලබද්දීම ණය ගනුදෙනුවකට කරකාර බන්දා දීලා...

සිය විවාහ දිවියේ කටුක වේදනාවන් තවදුරටත් දරාගත නොහී නිවසින් පලාගිය වරදට සිය ස්වාමියා ඇතුළු නෑදෑ පිරිස විසින් ඉතා අමානුෂික ලෙස තම දෙකන් හා නාසය කපා දැමීමේ වේදනාකාරී අත්දැකීමට මුහුණ දුන් අයිෂා මොහොමඩ් සායි’ තරුණිය කාන්තා හිංසනයට එරෙහිව නැගී සිටින කාට වුවද ආගන්තුක නොවන බවට සැකයක් නැත. 

අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර ටයිම් සඟරාවේ කවරයට ඇගේ දුක්ඛිත අත්දැකීමට ලක් වූ රුව එක් වීමත් සමග ඇයට ලෝක ප්‍රජාවගේ අවධානය නිතැතින් හිමි වූවා පමණක් නොව හිංසනයට ලක්වන සමස්ත ඇෆ්ගනිස්ථානු කාන්තා ප්‍රජාවගේම නියෝජනයක් බවටද පත් වූවාය.  

එම වේදනාකාරී අත්දැකීමට ලක් වීමෙන් තෙවසරකට පසුව එකී දහනව හැවිරිදි  තරුණිය අද නව ජීවිතයක් පමණක් නොව තමාට අහිමි වූ නාසය වෙනුවට අලුත් නාසයක්ද නූතන විද්‍යාවේ බල මහිමයෙන් හිමිකර ගැනීමට වාසනාව ලබා ඇත.

සිය සැමියාගේ කඩු පහරින් පෙති ගැසී ගිය නාසය යළි නැවත සැකසීම  සඳහා අවශ්‍ය පේශී පටක ඇගේ මුහුණින්ම ලබාගැනීමට වෛද්‍යවරුන් තීරණය  කරන ලද්දේ නාසයේ පිහිටි පේශීවලට හැකිතරම් ස්වභාවයෙන් සමාන පේශී ලබාගැනීමේ අරමුණිනි. 

අදියර කීපයකින් සිදු කෙරුනු එකී සැත්කමේදී පළමුවෙන්ම අයිෂාගේ නළලට ක්‍රමයෙන් පිමිබිය හැකි සිලිකන්වලින් තැනූ කොපුවක් ඇතුළු කොට එය ක්‍රමයෙන් තරලයකින් පුරවන ලද්දේ නව නාසය තැනීමට අවශ්‍ය මෘදු පටක ප්‍රසාරණය වූ සම ඇසුරෙන් ලබාගැනීම සඳහායි. 

මීට අමතරව ඇගේ යටි බාහු කොටසින් ලබාගත් පේශිද නව නාසය තැනීම සඳහා භාවිත කොට තිබේ. සැත්කමෙන්  ලද තුවාල කැළැල් මේ වනවිට සුව වෙමින් පැවැතියද සිය අඳුරු අතීතයේ වේදනාකාරී අත්දැකීම්වලින් ඉතිරි වූ  කැළැල් තවමත් අයිෂා තුළ ඉතිරිව තිබේ.

සැත්කමෙන් පසුව ප්‍රථමවරට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය එම  අඳුරු අතීතය මෙනෙහි කර සිටියාය. විවාහ දිවියේ ගෙවුණු සෑම දිනකදීම පාහේ සිය සැමියාගේ හා ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ගෙන් කායිකව මෙන්ම මානසිකවද අතවරයන්ට ලක් වූ අයිෂා එකී වේදනාවන් තවදුරටත් දරාගත නොහැකි අන්තයකට පැමිණි කල නිවසින් පැන ගිය නමුදු ඉන් සිදු වූයේ ඇය කබලෙන් ළිපට ඇද වැටීමකි. 

පැනයාමේ වරදට මාස පහක සිර දඬුවමකට ලක් වූ අයිෂා හිරෙන් නිදහස් වූ පසුවද බලහත්කාරයෙන් සැමියා වෙත යවනු ලැබුවේද විනිසුරුවරයා විසිනි. පැනයාමේ වරදට නීතියෙන් දඬුවම් ලැබුණද සැමියා ඇතුළු ඔහුගේ නෑදෑ පිරිසට එය ප්‍රමාණවත් නොවූ බැවින් එදින රාත්‍රියේදී හුදකලා කඳුකරය වෙතට රැගෙන යනු ලැබූ අයිෂාගේ දෑත් දෙපා බැඳ  දමා ඇගේ දෙකන් පෙති හා නාසය පෙති ගසා දමන ලද්දේ ඉතාම කුරිරු ලෙසය. 

දරාගත නොහැකි වේදනාව හේතුවෙන් එකෙනෙහිම සිහි මුර්ජා වූ අතර ඇය යළි ප්‍රකෘති සිහියට පත් වනවිට අවට දැකගත නොහැකි තරම් ඇගේ දෑස් පවා ලෙයින් තෙත් වී තිබූ අයුරු ඇයට මතකය. 

තුවාල වේදනාව පරයා නැගුණු ජීවිත ආශාව නිසාවෙන් ඇය කෙසේ හෝ සිය මුත්තණුවන්ගේ නිවසට බඩගාමින් වුවද කෙසේ හෝ යාමට සමත් වූවාය. අයිෂාගේ පියාගේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක ප්‍රතිකාර ලැබූ ඇය අද වන විට ඇමරිකානු පවුලක සෙනෙහස හා රැකවරණය මධ්‍යයේ ජීවත් වන්නාය.

ජීවිතයේ කිසිම දිනක පාසල් ගොස් හෝ සිය උපන් දිනය සමරා හෝ නොතිබුණු අයිෂාට වයස අවුරුදු දොළහ ලබද්දීම ණය ගනුදෙනුවක් පියවීම සඳහා තාලිබාන් සටන්කාමියෙකුට කරකාර බන්දා දීමට තරම් ඇගේ පියා (අ)කාරුණික වී තිබිණ. 

සැත්කමෙන් නව නාසයක් හිමිකර ගැනීමෙන් පසු මාධ්‍යයන්ට අදහස් දැක් වූ අයිෂා තමා වැනිම  වධහිංසාවන්ට ලක්වන ඇෆ්ගනිස්ථාන තරුණියන් අමතමින් කියා සිටින ලද්දේ තමා දෙස බලා සිය බලා‍පොරොත්තු  දල්වා ගන්නා ලෙසයි. 

අද වනවිට ඇමරිකාවේ ‘මාටි’ හා ජමිලා අර්සලා යුවළගේ ආදර සැලකිලි මධ්‍යයේ ජීවත්වන අයිෂා අතීතයේ ලැබූ වේදනාකාරී අත්දැකීම් අමතක කළද ඉන් ලැබූ පන්නරයෙන් නව ජීවිතයක් පිළිබඳ සිහින දකින්නාය.

 
Related Posts with Thumbnails