Ads 468x60px

.

එයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි – දමිතා , ඒකට දැන් ප්‍රමාද වැඩියි - සේමිණී...

එතකොට මේක සේමිණීගේ බොරු සැකයක්?

එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාළිකා වක් ඔස්සේ ප්‍රචාරය වූ වැඩ සටහනකින් දමිතා අබේරත්න මට සහ මගේ පවුලේ උදවියට අපහාස වන ප්‍රකාශයක් කර තිබෙනවා. කෙනකු තව කෙනකුට ඇඟිල්ලක් දිගු කරන කොට ඒ කෙනා හිතන්න ඕනෑ තවත් ඇඟිලි හතරක් තමන් වෙත දිගු වී ඇති බව. 

ඇය මට විරුද්ධව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මම නීතිමය පියවර අරගෙන තිබෙනවා. එකම ක්ෂේත්‍රයේ එකම වෘත්තියේ නියැළෙන අය අතරේ මෙවැනි ආරාවුල්, අමනාපකම් සිදු විය යුතු නැහැයි කියන තැන මම ඉන්නේ.

නමුත් එය එසේ සිදුව තිබෙනවා. දැන් මෙය අධිකරණය හමුවේ පවතින ගැටලුවක් නිසා වැඩිදුර අදහස් ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ. නීති මාර්ගයෙන් මේ ගැටලුවට ඉදිරියේදී සාධාරණ විසඳුමක් ලැබෙයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ කෙනෙකුගෙන් මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න කියලා ඔබට ආරාධනයක් ලැබුණොත්?


මම හිතන්නේ අයියා දැන් ඒකට ප්‍රමාද වැඩියි. එහෙම නම් මීට කලිනුයි මෙවැනි දෙයක් කරන්න තිබුණේ. එහෙම නොවුන නිසා තමයි මම නීතිමය ක්‍රියා මාර්ගයකට ගියේ. අදාල වෙබ් අඩවියට විරුද්ධව මම නඩු දාලයි තියෙන්නේ.

එතකොට සමාදානෙට කැමැති නෑ?

මම කලිනුත් කිව්වනේ මට කා එක්කවත් අනවශ්‍ය ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගන්න ඕනෑ නෑ. ඒත් මට වගේම මගේ සැමියා ධම්මිකටත් මේ කරපු අපහාසය නිසයි මම නීතියේ පිළිසරණ පැතුවේ. දැන් තියෙන්නේ නීතියෙන් මට නියම කරන දේ ක්‍රියාවට නැඟීමයි. එතනදි සමාදානයකට අවස්ථාව උදා වුණෙත් ඒ දේ මම කරනවා.


කොහොමත් අපි දෙන්නා මාලිනි ෆොන්සේකා, ගීතා කුමාරසිංහ වගේ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිළියෝ නෙවෙයිනේ. අපි කටයුතු කරන්න ඕනෑ අපේ තරම දැනගෙනයි.

හෘද සාක්ෂියට බොරු කරන්න බෑ - දමිතා

දමිතා, මොකක්ද මේ ආරවුලට මුල?

‘ගොසිප් නයින්’ කියන වෙබ් අඩවියේ පළ වූ පුවතක් ගැන ‘රන් ජ්. ර්. නාළිකාව මගෙන් එක්තරා වැඩසටහනකදී ප්‍රශ්නයක් ඇහුවා. ඇත්තෙන්ම එහෙම පුවතක් ඒ වෙබ් අඩවියේ තිබුණා කියලා මම දැනගත්තෙත් එක එක්කෙනා මගෙන් ඒ ගැන අහන්න ගත්තට පස්සේ.

මොකක්ද ඔය ආන්දෝලනාත්මක පුවත?

‘පැකේජ් ක්‍රමයට විකිණෙන නිළියෝ’ කියලා ඒ වෙබ් සයිට් එකේ ආර්ටිකල් එකක් තිබුණා. ඒකේ සඳහන්ව තිබුණේ කොහෙදෝ හෝටලයකට ගිය නිළියක් ගැන. එතකොට ඒ ආර්ටිකල් එක ගැන තමයි සේමිණී කතා කරලා තිබ්බේ. 


මේ ආර්ටිකල් එකෙන් කතා කරලා තියෙන්නේ එයා ගැන සහ ඒ තොරතුරු අදාළ වෙබ් අඩවියට ලබා දුන්නේ මමයි කියලා සේමිණි කියා තිබුණා. මට ඉතාම අපහාසාත්මක විදිහට බැණ වදිමින් ක්ෂේත්‍රයේ කර කියා ගත දෙයක් නොමැතිව ඉන්න නිළියක් කියලා ‘මෙගා ස්ටාර්’ තරගාවලියේ දී මම පෙනී සිටි ඉතාම ජනප්‍රිය, ප්‍රසිද්ධ ඡායාරූපයක් බොඳ කරලා දාලා තිබුණා.

ඒ ඡායාරූපය ඔබේම කියා විශ්වාසද?

නැතිව. ඒක ඉන්දික මල්ලවාරච්චි ගත්ත මගේ ජනප්‍රිය පිංතූරයක්. ඇරත් මගේ නම එහි ඉහළින් සඳහන් කරලත් තිබුණා. දැන් ඔය පුද්ගලික ගුවන් විදුලි නාළිකාව මගෙන් අර වගේ ප්‍රශ්නයක් ඇහුවේ එවැනි දෙයක් දාලා තිබුණ නිසානේ. 


ඒ ආර්ටිකල් එක සේමිණී ඉද්දමල්ගොඩගේ වුවමනාවට ද නැතිනම් වෙබ් අඩවියේ වුවමනාවට ද දැම්මේ කියන්න මම දන්නේ නෑ. හැබැයි අර නාළිකාව මගෙන් අර වගේ දෙයක් අහපුවාම මම කිව්වා ‘මට සේමිණී ඉද්දමල්ගොඩ යන, යන තැන් හොය, හොයා ඉන්න වෙලාවක් නෑ සහ මේ ගෑනු යන හොටල් ගැන හොයන්න නම් මට රට වටේම රවුම් ගහන්න වෙයි’ කියලා.

ප්‍රසිද්ධ මාධ්‍යයකින් එවැනි ප්‍රකාශයක් කිරීම හරි කියලා ඔබ හිතනවාද?

එතකොට අර වගේ ප්‍රකාශයක් කරලා මගේ චරිතය ඝාතනය කරන්න පුළුවන්. මම ඒකට උත්තරයක් දුන්නොත් ඒක අසාධාරණයක්.

මොහොතකට පෙර ඔබම කිව්වා මේක සේමිණිගේ වැඩක් ද නැතිනම් ඒ වෙබ් අඩවියේ වැඩක් ද දන්නේ නෑ කියලා. එතකොට කොහොමද සෘජුවම සේමිණීට චෝදනා නගන්නේ?

සේමිණී, එයාගේ නීතිඥයාගේ මාර්ගයෙන් මට එන්තරවාසියක් එවා තිබෙනවා. එහි සඳහන්ව තිබෙනවා ‘ගොසිප් නයින්’ වෙබ් අඩවියෙන් එයාට කිව්වා කියලා මේ තොරතුරු වෙබ් අඩවියට දුන්නේ මම කියලා. මම ඒ අදාළ අයගෙන් ඒ ගැන විමසුවාම ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළා ඔවුන් එසේ නොකියූ බව. 


මොකද ඒ ‘පැකේජ් ක්‍රමයට විකිණෙන නිළියෝ’ කියන ආර්ටිකල් එකේ කොහෙවත් ඒ නිවුස් එක ඔවුන්ට දුන්නේ මේ ක්ෂේත්‍රයේම නිළියක් කියලාවත් අඩුම තරමේ සඳහන් කර තිබුණේ නැහැ.

ඒ සිද්ධියට ඔබේ නම ඈඳුනා නම් ඇයි ඔබ ඊට විරුද්ධව කටයුතු කරන්න ප්‍රමාද වුණේ?

මම වරදක් කරලා නැති නිසා නිහඬව සිටියා. ඇරත් වෙබ් අඩවිය කොයි මොහොතක හරි එය නිවැරදි කරාවි කියන විශ්වාසය මට තිබුණා. එහෙම නොවුනාම ගොසිප් නයින් හා පැපරාසි නිවුස් ලංකා කියන වෙබ් අඩවිවලට මම කරුණු පැහැදිලි කරලා ඊමේල් පණිවුඩ යැව්වා. ඒත් ඒවාට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

එතකොට මේක සේමිණීගේ බොරු සැකයක්?

ඔව්. එහෙම සැකයක් විතරක් හිතේ තියාගෙන මගේ පිංතූරයක් පාවිච්චි කරලා මට අපහාස කරන්න එතුමියට තියෙන අයිතිය මොකක්ද? එහෙම කළේ නැතිනම් එයා කියන්න එපායැ මම මේ දෙවල් කළේ නෑ කියලා. ප්‍රශ්නය විසඳගන්න වෙන ක්‍රමයක් තියෙද්දී තමයි එයා මේ වෙන, වෙන ක්‍රමවලට ගිහින් තියෙන්නේ.

මොනවද ඒ?

පැහැදිලිවම මේ ගැන කතා කරන්න අපි හැමෝම ළඟින් ඇසුරු කරන එක්තරා නිෂ්පාදකවරයෙක් මැදිහත් වුණා. එයා මට කතා කරලා කිව්වා ‘දමිතා මේක දෙන්නත් එක්ක කතා කරලා විසදගමු. නැතිනම් මේක මේ සේරටම අපහාසයක් නේ’ කියලා.

ඔබ මොකද කිව්වේ?

මම කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ, සේමිණීට ඇවිත් කතා කරන්න කියලා. මම එහෙම දෙයක් කළා කියනවා නම් ඒ ගැන සාක්ෂි ඔක්කොම අරන් එන්න, එතකොට අඩුම තරමින් අපට පුළුවන් වෙබ් අඩවියෙන් බොරු කියලා තියෙනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.


දෙන්නම හරි එකතු වෙලා. මම එහෙමත් කිව්වා. ඒත් එයා ඒ කිසි දේකට ආවේ නෑ. ඒ කියන්නේ තමන්ගේ මතයම ඉෂ්ට කරගන්න වෙන්නැතිනේ ඕනෑ වුණේ. 

මේක අද ඊයේ ඉඳන් එන දෙයක් නොවේ. පහුගිය කාලයේත් කිසිම පදනමක් නැතිව යම් යම් දේට මාව සම්බන්ධ කරලා වෙබ් අඩවිවල අසත්‍ය වාර්තා පළ වුණා. ක්ෂේත්‍රයේ මම ඉතාම ගරු කරන ශිල්පිනියකගේ පවුල කඩා ඉහිරෙව්වා කියලාත් චෝදනා නගා තිබුණා. මේ සියල්ලම ප්ලෑන්.

කෙනකුට එහෙම දෙයක් කරන්න තියෙන වුවමනාව?

මගේ කාලයට සාපේක්ෂව මම තරම් දේවල් දිනපු වෙනත් ශිල්පිනියක් නෑනේ. ලංකාවේ සියලුම සම්මාන උළෙලවලදී හොඳම, විශිෂ්ටතම සහ ජනප්‍රිය සම්මාන රැසක් මම ලබා තිබෙනවා. ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටය වෙනුවෙන් මම ජාත්‍යන්තර සම්මාන දිනුවා. 


ඒ වගේම හොඳම නිළියට හිමි ‘සරසවිය’ සම්මානය පවා ලැබුණා. ඔය කියන ශිල්පිනියන්ගේ නම් නිර්දේශ වෙච්ච තැන්වල සම්මාන ලැබුණේ මට. ඉතින් මේවා දරාගන්න බැරිව ඊර්ෂ්‍යාව නිසා කරන වැඩ වෙන්නැති මේ.

මම හිතන්නේ කාලයක් සේමිණියි, දමිතයි කියන්නේ ක්ෂේත්‍රයේ හොඳ යෙහෙළියෝ?

නෑ, සේමිණී ඉද්දමල්ගොඩ එක්ක කවදත් මගේ හොඳ යාලුකමක් තිබුණේ නැහැ. කොහෙදි හරි හම්බ වුණාම හලෝ, බායි කියනවා හැර හදිසියෙන්වත් තරහා වුණොත් දුකක් හිතෙන යාලුකමක් තිබුනේ නෑ කොහොමටත්.

එක්තරා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට ඔබ නිර්නාමිකව ලියුම් පවා ඇර තිබෙනවලු සේමිණීව රඟපාන්න ගන්න එපා කියලා?

නෑ කවදාවත්ම නෑ. ඔය එක් එක්කෙනා හිතෙන් මවාගත්තු දේවල්. ඔය ඔක්කොම යවලා තියෙනවා ‘ලූ’නේ. ඔය ‘ලූ’ නැතුව යවලා තියෙන එකක් අරගෙන එන්නකෝ මාව හම්බ වෙන්න. මගෙත් එක්ක ‘ලූ’ බෑ. හරිම පැහැදිලිව එන්න. කෙලින් කතා කරලා විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් නෑනේ. 


එහෙම මම නිර්නාමික ලිපි ඇරියා නම් කෝ අරගෙන එන්න එව්වා. ‘ලූ’ නැතිව. අනෙක මේ වගේ නමක් විකුණලා මම මොනවා දිනන්න ද අයියා. එයා විතරක් නෙවේ ක්ෂේත්‍රයේ ඉන්න කිසිම ශිල්පිනියකගේ නමක් විකුණලා මට දිනන්නට දෙයක් නෑ. ඇයි මේ අහිංසකව ජීවත් වෙන මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්නේ.

ඔබ කරන්නේ ඉල්ලීමකට වඩා මට පෙනෙන්නේ අභියෝගයක්?

ඔව්, පැහැදිලිව. එක්තරා වෙබ් අඩවියක පළ වූ ප්‍රකාශයක් සම්බන්ධව මේ වගේ කතිකාවක් ආන්දෝලනයක් ඇති කළේ සේමිණි. එහෙම නම් උත්තරයක් දෙන්න, ඇයි එහෙම ප්‍රකාශයක් කළේ. මොකද ඒකෙ පැහැදිලිව දාලා තියෙනවානේ සේමිණි අපට කතා කළා කියලා.


එහෙමනම් ඇය නඩු මගට බහින්න ඕනෑ ඒ වෙබ් අඩවියට විරුද්ධවයි. මේ තනිකරම මට කරපු අපහාසයක්. මම අවුරුදු තිස් දෙකක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. අපි ක්ෂේත්‍රයට ආපු කාලයේ මේ වගේ පහත් වැඩ තිබුණේ නෑ අයියා. අපිට මොනා හරි ප්‍රශ්නයක් ආපුවාම වැඩිහිටියන්ගෙන් අවවාද, අනුශාසනා අරගත්තු අය අපි.

ඔබෙන් මිලියන 500 ක් වන්දි වශයෙන් ලබා දෙන ලෙසයි සේමිණී මේ නඩුව පවරා ඇත්තේ. නමුත් ඔබ ඒ මුදල මෙන් දෙගුණයක් ඉල්ලා නඩුවක් පවරා තිබෙනවා. හරියට අපිට මේක පෙන්නේ සූදු තරගයක් වගේ?

ඔය සල්ලි ගණන් නම් හරි විකාරයක්. මහා භාණ්ඩගාරයේවත් මෙච්චර සල්ලි තියෙනවද දන්නේ නෑ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට කරපු අපහාසයට, මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා අනිවාර්යයෙන්ම තවත් ගැහැනියකට මේ වගේ අසාධාරණයක් නොවන්නට මම කටයුතු කරනවා. 


මගේ මානසිකත්වය, මගේ ගෙදර අයගේ මානසිකත්වය සහ මට ආදරය කරන රසික, රසිකාවන්ගේ, හිතවතුන්ගේ මානසික මට්ටම අවුල් කරන්නනේ මේ දේවල් කරන්නේ. එතකොට මට කරන මේ අපහාසයට, මට කරන මේ හානියට නිකං පැත්තක හිටපු අහිංසක මාව මේ නඩුවකට පැටලුවාට සේමිණි ඉද්දමල්ගොඩට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා.

සේමිණි එක්ක ආයේ සමාදාන වෙන්න කැමැති නැද්ද?

සමාදාන වෙන්න ඉතින් මම තරහා වුණේ නෑනේ අයියේ කොහොමටත්. එයා ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනෑ එහෙමනම් මට කරපු අපහාසයට. සමාදාන වෙනවා කියන්නේ ඒක තමයි. ඊට පස්සේ ඉතින් පරණ විදිහටම ‘හායි, බායි’ කියලා ඉඳියි. 


මිනිස්සුන්ට වරදින්න පුළුවන්. ඒත් කෙනෙක් හිතාමතාම වැරැදි කරනවා නම් ඒක මිනිසත්කමට කරන නිගරුවක්. තමන්ට අපහාස කළා කියලා සේමිණීට මට විරුද්ධව නඩු මගට බසින්නට පුළුවන්නම් එයා අනෙක් මිනිසුන්ට කළේ අපහාසයක් නෙවේද එතකොට . . .

දමිතා නීතිය ගැන හරියට නොදැනයි ඔය විදියට කතා කරන්නේ කියලා කෙනෙක් කිව්වොත්?

නීතිය මම හොඳට දන්න කෙනෙක්, හරිද. නීතිය තමන්ගේ පැත්තට සාධාරණ වෙන්නත්, අනෙක් මනුස්සයගේ පැත්තට අසාධාරණ වෙන්නත් බෑනේ. ලංකාවේ නීතිය දෙකක් නෙවෙයි, එකක්නේ. ඉතින් මගේ පැත්තටත් නීතිය සාධාරණ වෙන්න එපැයි. හැබැයි මේ වෙන තෙක් මට කිසිම උසාවියකින් සිතාසියක් ඇවිත් නෑ.

එහෙම සාධාරණයක් වෙයි කියලා හිතනවාද?

අනිවාර්යයෙන් හිතනවා. මොකද තමන්ගේ හෘද සාක්ෂිය තරම් දෙයක් තවත් ලෝකේ නැහැ. එහෙම නැත්නම් බොරු සාක්ෂි හදන්න ඕනෑ. යමෙක් එහෙම කරලා දිනුවොත් ඒක නියම ජයග්‍රහනයක් නෙවේ සහ ඇත්ත ප්‍රමාද වී හෝ ජය ගන්නවාමයි. මම මේ දෙකම දැඩි ලෙස විශ්වාස කරන ශිල්පිනියක්. ඒ නිසා මම මේකට මුහුණ දෙන්නෙත් දැඩි ආත්ම විශ්වාසයකින්. මම දන්නවා මට වරදින්නේ නෑ.
 
Related Posts with Thumbnails