Ads 468x60px

.

ජීවිතය ජයගන්න රටගිය රේණුකා මරා එල්ලුවාද එල්ලී මැරුණාද...!

ඇය එල්ලිලා මැරුණාද මරලා එල්ලුවාද...මරණය ගැන සැක සහිතයි..

දේහයවත් ගෙනවිත් දෙන්නැයි සැමියා ඉල්ලයි...

අගහිඟකම් මැදින් තම දරුවන් තිදෙනාත් සැමියාත් සමග පුංචි පැල්පොතක ජීවත් වූ ඇය දරුවන් වෙනුවෙන් මැවූ සිහින මාළිගාව ඉදිකරන්නට ඉසුරු සොයා ගිය ගමනක අවසන තම දරුවන් තිදෙනාත් සැමියාත් තනිකර නොයන ගමන් ගිය මවකගේ අනුවේදනීය කතාවක්‌ සව්සිරි උයන මිරිස්‌වත්ත බෙන්තොට ප්‍රදේශයෙන් ඉකුත්දා අපට අසන්නට ලැබිණි.

සැමියා කුලී වැඩ කරමින් හොයන මුදලින් තම කැදැල්ල කෙදිනකටත් ගොඩනැඟිය නොහැකි යෑයි ඇය කොතෙකුත් හිතන්නට ඇත. ඉකුත් 12 වැනි දින සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා රේණුකා මල්කාන්ති නමැති විසිහත් හැවිරිදි තිදරු මව පිටත්ව යන්නේ දහසකුත් සිහින ඉටුකර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය. 


එහෙත් එම නිවසේ දින හතක්‌ වැනි කෙටි කාලයක්‌ සේවය කරමින් සිටියදී ඇය ජීවිතයෙන් සමුගෙන ඇත. ඇයගේ ජීවිතයේ අවසන් හුස්‌ම පොද වාතලයට මුසුවූයේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ඇයගේ මරණය ප්‍රශ්න රැසක්‌ ඉතිරිකර ඇති බව පමණක්‌ සටහන් තබමු.

අප මේ පිළිබඳව මියගොස්‌ ඇති රේණුකා මල්කාන්තිගේ ස්‌වාමිපුරුෂයා වන හල්තොටගේ ජයන්පති ප්‍රියදර්ශන (34) තොරතුරු විමසුවෙමු. මගේ බිරිඳ සවුදි රටේ ගෘහ සේවය සඳහා ගියේ. අපේ නැති බැරි කම නිසාමයි. පසුගිය 12 වැනිදා තමයි ගියේ ගියාට පස්‌සේ දවස්‌ හතරකට පස්‌සේ කතා කළා. ඒ කතා කරපු වෙලාවේ කිව්වේ වැඩකරන ගෙදර කරදරයි. 


ආපු දවසෙ ඉඳලම ගහනවා කියලා. පස්‌සේ මම බිරිඳව රට යවපු අක්‌කාව හම්බවෙන්න ගිහින් මේ සිද්ධිය කිව්වා. එයා බිරිඳ ගෘහ සේවය කරන ගෙදරට අරාබි භාෂාවෙන් කතා කළා. එයා කියුවේ එතන එහෙම ප්‍රශ්නයක්‌ නැහැ කියලා. ඒත් මම බිරිඳ කියුවේ කොහොම හරි වෙන ගෙදරකට එයාව මාරු කරලා දෙන්න නැත්නම් ලංකාවට ගෙන්න ගන්න කියලා. 

ඊට දවස්‌ තුනකට පස්‌සේ ඒ රට යවපු අක්‌කා මට පණිවිඩයක්‌ එවලා තිබුණා හෙට උදේම කොළඹ ඒජන්සියට යන්න ලෑස්‌තිවෙන්න කියලා. ඒ අනුව මම මාමා කෙනෙකුත් එක්‌ක ගියා. එතන ඒජන්සියෙ මහත්තයෙක්‌ මගෙන් ඇහුවා මේ අක්‌කා මොනවා හරි කිව්වා කියලා. 

මම නැහැ කියුවාම එයා කිව්වා මගේ බිරිඳ ගෘහ සේවය කළ ගෙදරදී ගෙළ වැලදාගෙන මැරිලා කියලා. මට හිතාගන්න බැරිව ගියා. මට හොඳටම විශ්වාසයි මගේ බිරිඳව ඒ අය මරල දාලා කියලා. මම මගේ දරුවො තුන්දෙනාත් එක්‌ක තනි වුණා. මම මේ දරුවො දාල රස්‌සාවකට යන්නත් බැහැ. 

මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මගේ දරුවන්ට අන්තිම වතාවට හරි අම්මව පෙන්නන්න හැකි ඉක්‌මනට මෘත දේහය ශරීරය ලංකාවට ගෙනත් දෙන්න කියලා. 

රේණුකා මල්කාන්තිගේ ස්‌වාමිපුරුෂයා සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න ගිය සිය මාමා වන සමන් ශාන්ත 42 මහතාගෙන් තොරතුරු විමසුවෙමු. ඇත්තටම මම දන්නේ නැහැ මේ දරුවා රට ගිහින් කියලවත්. මෙම සිද්ධියෙන් පස්‌සේ තමයි මම එය දැනගත්තේ. මේ පවුලට දරුවන් තුන් දෙනෙක්‌ ඉන්නවා. 

කුඩාම දරුවගෙ වයස අවුරුද්දයි මාස හයයි. මේ දරුවව රට යවපු අය ඒ පිළිබඳව ටිකක්‌ හිතන්න තිබ්බා. ඒජන්සියෙ මහතවරු මරණය ගෙනත් දෙන්න ලක්‍ෂ තුනහමාරක්‌ ඉල්ලුවා. මේ අහිංසක මිනිස්‌සුන්ට එදා වේලවත් කන්න විදියක්‌ නැහැ. මම වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ මේ දරුවන් තුන්දෙනා රැක ගන්න යම් සාධාරණයක්‌ ඉටුකරල දෙන්න කියලා.


හල්තොටගේ ජයම්පති ප්‍රියදර්ශන සහ රේණුකා මල් කාන්තිට දාව උපන් දරුවන් තිදෙනෙකි. එච්. මල්කි උදයාංගනී ඔවුන්ගේ වැඩමහල්ම දියණියයි. ඇයට වයස අවුරුදු 8 කි. දෙවැනි දරුවා එච්. දිනේෂ් සත්සරයි. බාලම පුතා. එච්. උමේෂ් දිල්ශාන් වයස අවුරුදු එකයි මාස 6 ක්‌ වෙන පුංචි සිඟිත්තෙකි. 

පුංචි උමේෂ් වෙනුවෙන් මල්කාන්තිට වැහැරුණු කිරිත් සඟවාගෙන දුර කතරක ගියේ දරිද්‍රතාවය නිසාමය. ජීවත් වන්නට මගක්‌ නොමැතිව පුංචි දරුවන් සමග ජීවිතය නැති කරගන්න මවුවරුන් ඉන්නා රටක රේණුකා මල්කාන්ති ගත් මග වැරදි යයි අප කිසිවෙකුටවත් කිව නොහැකිය.

එහෙත් සමාජයේ යම් කතිකාවතක්‌ ගොඩනැඟිය යුතුය. එය ග්‍රාමීය මට්‌ටමෙන් ආරම්භ කළ යුතුය. ගෘහ සේවය සඳහා විදෙස්‌ ගත වන කාන්තාවන්ගේ අෙ¹aනා අප කොතෙකුත් අසා ඇත්තෙමු. ඒ පිළිබඳව යම් වැඩපිළිවෙළක්‌ නීතියක්‌ සැකසිය යුතුය. 

එසේ වූවානම් පුංචි පුතු උමේෂ් වෙනුවෙන් මල්කාන්තිට එරුණු කිරි මල්කාන්තිට කිසිදා සඟවා ගත නොහැකි යයි අප විශ්වාස කරන්නෙමු. රේණුකා මල්කාන්ති කෙසේ මරණයට පත්වූවාදැයි අප නොදනිමු. ඇය එල්ලිලා මැරුණාද මරලා එල්ලුවාද යන්න සොයා බැලීම වගකිව යුතු අයගේ වගකීමකි. 

රේණුකා මල්කාන්තිගේ මරණයෙන් මේ රටේ සුවහසක්‌ මව්වරුන්ට යම් දෙයක්‌ උකහා ගැනීමට ඇත්නම් පුංචි උමේෂ් වැනි දරුවන්ට යම් සාධාරණයක්‌ ඉටුවෙනු ඇතැයි අප අවසාන වශයෙන් විශ්වාස කරන්නෙමු.
 
Related Posts with Thumbnails