Ads 468x60px

.

මම කැමති නැහැ මගේ දරුවන්ගේ අයිතිය තවත් තාත්තා කෙනෙකුට බාරදෙන්න - මේරියන්ස් නලින්

මමයි ඒ දරුවන්ගේ තාත්තා. 
ඒ බැඳීම මා ළඟ තිබෙනවා... 

ජීවිතේ තිබෙන තුරු ඒක එහෙම්ම තමයි...

හැමදාමත් අලුත් අත්දැකීමක් ඔස්සේ ඉදිරියට එන්න උත්සාහ ගන්න සංගීත ශිල්පියෙක් තමයි නලින් පෙරේරා. මේ දවස්වලත් නලින් එහෙම වැඩකට වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේ වෙලාවක තමයි අපි නලින්ව කතාබහකට එකතු කරගන්නේ.

ලොකු වැඩකට ලෑස්තිවෙනවා කියලා දැනගන්න ලැබුණා...?


ඔව්... ජුනි මාසෙ 01 වෙනිදා මේරියන්ස්ලා තවත් අලුත් ප්‍රසංගයක් පටන් ගන්නවා. අපේ සංගීත කණ්ඩායමට අවුරුදු 25ක් නිමිති කොටගෙන තමයි මේ වෙනස කරන්නේ. මේ ප්‍රසංගයේ නම “Marians Acoustica” කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තමයි රාත්‍රී 7.00ට මේ කොන්සට් එක පටන්ගන්නේ.


මොකක්ද මේ ප්‍රසංගයේ තිබෙන විශේෂත්වය...?


‘මේරියන්ස් අන්ප්ලග්’ කොන්සට් එක අපි කළේ මේ රටේ මල් සිංදු කියලා ජාතියක් බිහිවෙද්දි. ඒ රැල්ලට මුහුණදීමේ අදහසින් තමයි අපි සංගීත කණ්ඩායමක් හැටියට රසඥතාවයක් ඇති නිර්මාණ කරන්න පෙළඹුනේ.


එදා ඊට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ප්‍රතිචාරය නිසාම අපි ප්‍රසංග වාර ගණනාවක් පැවැත්වූවා. අතුරු සිදුරු නැතිව රසික රසිකාවියන් අපි සමග එකතු වුණා. මෙන්න මේ ප්‍රතිචාරය අනුව තමයි අපි මේ ප්‍රසංගය සඳහා යොමු වුණේ. මේ අපේ සංගීත කණ්ඩායම සමග වයලීන ඇතුළු තවත් සංගීත භාණ්ඩ රැසක් වාදනය කරන ශිල්පීන් කීප පෙළක් එකතු වෙනවා...මම විශ්වාස කරනවා මේ කොන්සට් එක ගැනත් බොහෝ දෙනා කතා කරාවි...

මේරියන්ස්ලට අවුරුදු 25ක්... වයසට ගිහින් නිසාද උසස් සංගීත රසාස්වාදය ගැන හිතන්න පටන් ගත්තේ...?


(සිනාසෙයි) අවුරුදු 25ක් කියන්නේ ලොකු කාලයක්. මේරියන්ස් පටන් ගනිද්දි සිටි අයගෙන් ‘රෝසා’ සහ රුවන් විතරයි අපි එක්ක අද ඉන්නේ.මේ කාලය පුරාවටම අපි අත්දැකීම් ගොඩක් එකතු කරගත්තා. අපේ තරුණ කා‍ලේ දඩබ්බරකමට කළ දේවල් ගැන අපිටත් ගැටලු තිබෙනවා.


ඒ කොහොම වුණත් ඔබ ඇහුවා වගේ දැන් අපි පරිණතයි තමයි. ඒ පරිණත බව ප්‍රයෝජනයට අරන් අපි හොඳ සංගීත රසාස්වාදයක් වත්මන් තරුණ පරපුරට වගේම බාල මහලු හැමෝටම ලබාදෙන්න හිතුවා. වෙනස එයයි. ඒක අපිට හොඳින් කරන්න පුළුවන්.අනික අපේ දරුවෝ ගැන පවා අපි දැන් හිතන්න ඕන. ආවාට ගියාට දැන් වැඩ කරන්න බැහැ.

ගෙවී ගිය අවුරුදු 25 ඇතුළේ ඔබේ ජීවිතයත් වෙනස් වුණා... ජනප්‍රිය වුණා..., විවාහ වුණා..., දෙපැත්තට වුණා...?


ඔව්... ඔබ හරි. විපර්යාස ගොඩක් වුණා. කාලය පුදුම විදිහට අපේ ජීවිත වෙනස් කළා. මම මානසිකව පීඩා වින්දා. සමහර අවස්ථාවල ජීවිතේ පවා එපා වුණා. කලකිරීම් ගොඩාක් මැද ජීවත් වුණා. ඒත් දැන් මම සතුටින් ඉන්නවා. පළමු විවාහයෙන් වෙන් වුණත් මම මගේ දරුවෝ දෙන්නට හරිම ආදරෙයි. ඒ ආදරය නිසාම මම ඔවුන් ගැන නිතරම හොයනවා. කතා කරනවා.


ඇත්තම කියනව නම් මම කැමති නැහැ මගේ දරුවන්ගේ අයිතිය තවත් තාත්තා කෙනෙකුට බාරදෙන්න. මමයි ඒ දරුවන්ගේ තාත්තා. ඒ බැඳීම මා ළඟ තිබෙනවා. ජීවිතේ තිබෙන තුරු ඒක එහෙම්ම තමයි.


දරුවෝ ඔබේ තීරණය ගැන කොහොම හිතාවිද...?


මගේ දියණිය දැන් ලොකු දරුවෙක්. එයා වගේම තමයි පුතා. මේ දෙන්නා ඉතාමත් හොඳින් ඉගෙන ගන්නවා. ඒ නිසා කරුණු කාරණා තේරුම් ගන්න ඔවුන්ට පුළුවන් වේවි. දැනටමත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මට ආදරෙයි. මමත් එහෙමයි. 


මගේ කාර්යබහුල ජීවිතේ නිසා ඔවුන්ව බලන්න යන්න හුඟාක් අමාරුයි. නමුත් ඉඩක් ලැබුණු හැටියෙ ගිහින් බලල එනවා. මගෙත් යුතුකම් ඉටුකරනවා. කොහොමත් මම දුරකථන ඔස්සේ ඔවුන් ගැන හොයනවම තමයි.

දැන් ඔබ සංගීත ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැනත් තෘප්තියකින් යුතුව කතා කරන බව තේරෙනවා...?


ඇත්තටම ඔව්. මගේ දුක සැප හොයන්න වගේම මගේ ජීවිතයේ හැමදෙයක්ම සැලසුම් කරලා මාව ධෛර්යමත් කරන්න පුළුවන් විදිහේ කෙනෙක් ඉන්නවා. ඇය ඉතාමත්ම හොඳ ගති පැවතුම් තිබෙන කෙනෙක්. මගේ මානසිකත්වය හොඳින් තියාගෙන ජීවත්වෙන්න ඇය මට උදව් කරනවා. ඒකම ඇති මගේ වැඩකටයුතු සාර්ථක වෙන්න.

පවතින දික්කසාද රැල්ලට ඔබ හසුවුණා කියලා මම කිව්වොත්...?


නැහැ... ඒක වැරදියි. මම දික්කසාද රැල්ලට හසුවෙලා ඒවගේ තීරණයක් ගත්තේ නැහැ. මේක අවුරුදු 8 - 10ක් විතර කාලයක සිට පැවතුණු මත ගැටුමක ප්‍රතිඵලයක්... ඒ වගේම හුඟක් කල්පනා කරලා ගත්ත තීරණයක්.
 
Related Posts with Thumbnails