Ads 468x60px

.

පොලිසියේ 12කට හා සිසුන් 24කට තුවාල කල සබරගමුව කැම්පස් එකේ මාරාන්තික උපවාසය

කලබල කළ සිසුන් සැමගේ පංති තහනම් කරන්න - ඇමැති එස්‌.බී

ඇමැති එස්‌.බී. සබරගමු සරසවිය වධකාගාරයක්‌ කරගෙන - ජවිපෙ
 
සිසුන් මර්දනය කෙරුවේ හිට්‌ලර්වාදී ක්‍රමයකට - රුවන් විජයවර්ධන

පොලිසියට ගල් ගැසූ 9දෙනාට අද විභාගය ලියන්න අවසර... 

පංති තහනමට ලක්‌වූ 5දෙනාට විභාගය තහනම්. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කර සිසු නායකයන් හතර දෙනකු වන තමන්ට මාස 08 බැගින් පන්ති තහනම් කිරීමට එරෙහිව එම ශිෂ්‍යයන් සිව්දෙනා විසින් මීට දින හතරකට පෙර උපවාසයක්‌ ආරම්භ කර තිබුනා. 

එම උපවාසය මාරාන්තික උපවාසයක්‌ දක්‌වා කරන බවට සිසුන් සිව් දෙනා පෙරේදා (1 දා) ප්‍රකාශ කිරීමත් සමඟ ඊට සහය පළකරමින් විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදහසක්‌ පමණ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය හරස්‌ කරමින් පඹහින්න මංසන්ධියේ උද්ඝෝෂණයක්‌ ආරම්භ කළා. ඒ හේතුවෙන් (01 වැනිදා) පෙරවරුවේ එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතරවී තිබුනා.

අනතුරුව විරෝධතාවයේ නිරතවූ පිරිස්‌ විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ලකිරීමත් සමඟ සිසුන් හා පොලිසිය අතර ගැටුමක්‌ ඇතිවිණි. එහිදී සිසුන් විසින් එල්ල කරන ලද ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වීමෙන්

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි, බලන්ගොඩ සහකාර පොලිස්‌ අධිකාරි ජී. ජී. ධනපාල යන මහත්වරුන් ඇතුළු දොළොස්‌ දෙනෙක්‌ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. පොලිස්‌ ප්‍රහාරයන්ට ලක්‌වීමෙන් සිසුන් විසිහතර දෙනකුද තුවාල ලබා ඉන් දස දෙනකු රෝහල් ගත කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් ඊයේ (02 වැනිදා)  කළ විමසීමේදී ඔහු කියා සිටියේ රෝහල්ගතව සිටි පොලිස්‌ නිලධාරීන් මාරාන්තික උපවාසයේ නිරතවී රෝහල් ගතකර සිසුන් සිව් දෙනා සහ තුවාල ලැබූ සියලු සිසුන් බලන්ගොඩ රෝහලෙන් පිටව ගොස්‌ ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ෂෙල්ටන් උඩුවකගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

සිසුන්ගේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා සහ ස්‌ථානාධිපතිවරුන් ප්‍රමුඛ පාලක සභාව රැස්‌ව තීරණය කොට ඇත්තේ අදාළ සිසුන්ගේ ශිෂ්‍යභාවය තහනම එලෙසම පවත්වන බවය. එමෙන්ම සිසුන්ට අද (03 වැනිදා) පැවැත්වෙන විභාග සඳහා ඉදිරිපත්වීමට අවසර ලබා නොදීමටද ඔවුන් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුවේ ශිෂ්‍ය නියෝජිත දිනේෂ් බණ්‌ඩාර කියා සිටියේ අද (03 වැනිදා) පැවැත්වෙන විභාගය සඳහා පංති තහනමට ලක්‌ව ඇති සිසුන් පස්‌ දෙනා (උපවාස කළ සිසුන් 4 දෙනාට අමතරව තවත් සිසුවකු ඇත.) හැරෙන්න අනෙකුත් සිසුන් ඉදිරිපත් වන බවය. 


එමෙන්ම පංති තහනමට ලක්‌ව ඇති සිසුන් පස්‌ දෙනාගේ ශිෂ්‍ය භාවය ලබා ගැනීමට සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව දේශපාලන උවමනා මත පාලනාධිකාරිය ගෙන යන ශිෂ්‍ය මර්දනයන්ට එරෙහිව ඉදිරියටත් විරෝධතාවල යෙදෙන බවත් ඔහු පැවැසීය.

කලබල කළ සිසුන් සැමගේ පංති තහනම් කරන්න - ඇමැති එස්‌. බී. දිසානායක

සබරගමුව විශ්වවිද්‍යාලයේ පෙරේදා (01 දා) කලබල ඇතිකළ සිසුන් පිරිස හඳුනාගෙන ඔවුන් සියලු දෙනාගේම පංති තහනම් කරන ලෙස විශ්වවිද්‍යාල වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටි බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ ප්‍රකාශ කළේය.

තර්ජන ගර්ජනවලින් ප්‍රශ්න විස
ගැනීමට කිසිසේත් තමා ඉඩ නොදෙන බව ඇමැතිවරයා කීවේය. අහිංසක මව්පියන්ගේ මුදල්වලින් සරසවි වරම් ලැබූ මෙම දරුවන්ට හොඳ නරක කියාදීම මව්පියන්ගේ යුතුකමක්‌ බව ද ඇමැතිවරයා පැවැසීය.

ඇමැති එස්‌.බී. සබරගමු සරසවිය වධකාගාරයක්‌ කරගෙන - ජවිපෙ
පෞද්ගලීකරණය ඔළුවේ තබාගෙන සිටින උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා (එස්‌. බී. දිසානායක මහතා) සබරගමුව සරසවිය වධකාගාරයක්‌ බවට පත් කර ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, බිමල් රත්නායක මහතා ඊයේ (02 දා) ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුවේ දේශපාලන පොලිසිය, සබරගමු සරසවි සිසුන්ගේ සාධාරණ අරගලයට පහරදීම හෙළා දකින බවද අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් පාඨමාලා විකුණමින් සහ අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරමින් සිටින වාතාවරණයක්‌ තුළදී සරසවි සිසුන් මර්දනය කිරීමේ කටයුත්ත ආණ්‌ඩුව දියත් කරමින් සිටින බවද බිමල් රත්නායක මහතා කීවේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බිමල් රත්නායක මහතා ඉහත ප්‍රකාශය කළේය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක සාලින්ද ජයතිස්‌ස මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.


සිසුන් මර්දනය කෙරුවේ හිට්‌ලර්වාදී ක්‍රමයකට - රුවන් විජයවර්ධන.
සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ හඬ මර්දනය කිරීමට රජය අනුගමනය කළේ හිට්‌ලර්වාදී ක්‍රියාමාර්ගයක්‌ බවත් හමුදාව හා පොලිසිය යොදවා සාමකාමී ලෙස උපවාසයේ යෙදී සිටි සිසුන්ට ප්‍රහාර එල්ල කිරීම එක්‌සත් ජාතික පක්‌ෂය වෙනුවෙන් තමා දැඩි ලෙස හෙළා දකින බවත් ජාතික යොවුන් පෙරමුණේ සහ සරසවි යොවුන් පෙරමුණේ සභාපති ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

පෙරේදා (1 වැනිදා) සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වන ලද උපවාසයට හා උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කර විසුරුවා හැරීම පිළිබඳව විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද දැක්‌වේ. සබරගමුව විශ්වවිද්‍යාලය තුළ 2011 වසරේ සිට අර්බුද රැසක මූලාරම්භය සිදු විය. සිසුන් පන්ති තහනමට ලක්‌වීම, විශ්වවිද්‍යාල වසා තැබීම, ආදිය වරින් වර සිදු විය. විවිධ ශිෂ්‍ය ක්‍රියාමාර්ග ඔස්‌සේ පෙළ ගැසෙන මෙම සිදුවීම් පෙළට තාවකාලික නිමාවක්‌ ලැබෙන මුත් අද වන විට එම සිදුවීම් කොතනින් නවතීදැයි යන්න උභතෝකෝටිකයක්‌ව පවතී.

මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දමයන්ත සම්පත් කුමාර ඇතුළු සිසුන් හයදෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීම හේතුකොට ගෙන සිසුන් පසුගිය දිනවල සත්‍යයත් ග්‍රහයක නිරතව සිටියදී ඉකුත් 24 වැනිදා අලුයම 1.45 ට පමණ පැමිණි මැර පිරිසක්‌ විශ්වවිද්‍යාල ගේට්‌ටුව ඉදිරියට පැමිණ අහසට වෙඩි තබා පලාගොස්‌ ඇත.

ඒ සම්බන්ධව විවිධ මාධ්‍ය ඔස්‌සේ පුවත පළවිනි. මම එම සිදුවීම්වලින් ඇතිවිය හැකි අනාගත භයංකාර ප්‍රතිඵල පිළිබඳව මනා ලෙස වටහාගෙන සිටියෙමි. මේ හේතුව නිසාම සිසුන්ගේ ඉල්ලීම මත විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගිය 31 වැනිදා ශිෂ්‍ය නායකයන් හට සම්මුඛවීමට අවශ්‍ය කටයුතු සැලැස්‌වීය.

එම සාකච්ඡාව නිමවා පැය 24 ක්‌ යන්නටත් මත්තෙන් මා වෙත දැනගන්නට ලැබුණේ හමුදාව හා පොලිසිය යොදවා කඳුළු ගෑස්‌ හා බැටන් පොලු ප්‍රහාර එල්ල කර සරසවි සිසුන් මර්දනය කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ වන විට ශිෂ්‍ය නායකයන් දෙදෙනකු ඇතුළු ශිෂ්‍යයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් සිසුන් 27 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් දැනගන්නට ලැබී තිබේ.

රජය මේ ගමන් කරමින් සිටින්නේ රාජ්‍ය ත්‍රස්‌තවාදය කරා දැයි සමාජය තුළ සාධාරණ සැකයක්‌ හටගෙන ඇත. මෙවැනි සිදුවීම් හරහා දිනෙන් දින ගිලිහී යන රජයේ ජන ප්‍රසාදය තව තවත් පිරිහෙනවා හැර වෙනත් යමක්‌ සිදුවන්නේ නැත. සිසුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට රජයක්‌ ලෙස විසඳුම් සපයනවා වෙනුවට රජය උන්මත්තකයන් සේ හැසිරීම මම දැඩි ලෙස හෙළාදකිමි.
 
Related Posts with Thumbnails