Ads 468x60px

.

මළ ගෙදර ගිය ඔරුව පෙරළී පියා-පුතු දියණි මරුට

මිහිටියේ ඛේදවාචකයෙන් මීගමුවට කඳුළු ගලයි...

රත්නපුර, මල්වල, ඇල්ලවත්ත, මිහිටිය ප්‍රදේශයේ දී කළුගඟේ දී ඊයේ (2 දා) ඔරුවක්‌ පෙරළී යැමෙන් මීගමුව අක්‌කර පනහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ පියා, දියණිය හා පුතා එම ගං දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අපට වාර්තා වෙනවා.

මෙම ඔරුවේ ගමන්ගත් කුඩා දරුවකු ඇතුළු අට දෙනකු දියේ ගිලීමට යැමේදී එම ප්‍රදේශවාසී තරුණයන් පිරිසක්‌ විසින් මහත් පරිශ්‍රමයක්‌ දරා බේරාගෙන
තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ මීගමුව දෙහිමල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පියාවන විල්බට්‌ ලක්‍ෂ්මන් (48), පුතා වන චරිත් (19) හා දියණිය වන රේණුකා (14) යන තිදෙනා බවට හඳුනාගෙන
තිබෙනවා.

මියගිය පියා, දියණිය හා පුතු තවත් පිරිසක්‌ සමඟ මීගමුව සිට රත්නපුර මල්වල ප්‍රදේශයට පෙරේදා (01 වැනිදා) සවස පැමිණ ඇත්තේ ඥාතියකුගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීම සඳහාය. 


ඔවුන් පැමිණීමෙන් පසු ඔරුවකින් කළුගඟෙන් එගොඩ වී මිහිටිය එගොඩමල්වල ප්‍රදේශයේ අවමඟුල් ගෙදරට ගොස්‌ තිබේ. එයට සහභාගි වූ එම පිරිස නැවත මීගමුවට යැමට මිහිටියට පැමිණීමට කළුගඟෙන් මෙගොඩට ඒම සඳහා ඔරුවට නැගී ඇත.

අඛණ්‌ඩව ඇදහැලෙන වැසි හේතුවෙන් කළු ගඟද ජලයෙන් පිරී තිබී ඇත. ජල පහරද ඉතා සැරව තිබී ඇත. මේ අවස්‌ථාවේ මේ පිරිස ඔරුවේ ගමන් කරමින් සිටියදී ඔරුව දිය සුළියකට හසුවී කරකැවී පෙරළී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවිය.

ඊයේ (2 වැනිදා) දහවල් වනවිට දියේ ගිලී මියගිය දියණියගේ හා පියාගේ මළ සිරුරු එම ප්‍රදේශවාසීන් විසින් සොයාගත් අතර අතුරුදන් වූ පුතුගේ සිරුර සෙවීමේ කටයුත්තද සිදුවෙමින් තිබිණි.

සබරගමුව පළාත් සමාජ සේවා අධ්‍යක්‍ෂිකා විජයානි රත්නසේකර මහත්මිය සඳහන් කළේ මෙම තොටුපළ තරණය කිරීම සඳහා සබරගමුව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ඔරුව ලබාදී ඇති බවය.

මෙම ඔරුවෙන් එගොඩ මෙගොඩවන මගීන්ගේ ජීවිත ආරක්‌ෂාව සඳහා පැළඳිය යුතු ආරක්‌ෂිත පළඳනා 13 ක්‌ ආපදා කළමනාකරණ ඒකකය විසින් සපයා ඇතත්, ගමනෙහි හදිසිය සඳහන් කරමින් විපතට පත්වූවන් ඒවා පැළඳීම මඟහැර ඇතැයි හෙළිවූ බව ද සබරගමු පළාත් සමාජ සේවා අධ්‍යක්‍ෂිකා විජානි මහත්මිය කීවාය.

සිද්ධිය සැලවීමත් සමඟ සබරගමු වැඩබලන මහ ඇමැති රංජිත් බණ්‌ඩාර මහතා ද එම ස්‌ථානයට ගොස්‌ ඇත.
 
Related Posts with Thumbnails