Ads 468x60px

.

මමත් සෝමේත් හදන චිත්‍රපට ආයෙත් බලන්න බැරිවේවි - රේණුකා බාලසූරිය

ඇවිත් "සිරිපැරකුම්" නරඹන්න...

මේ අපේ අන්තිම චිත්‍රපටය වේවි. ඒ නිසා ඇවිත් බලන්න...

සිනමා කර්මාන්තයේ උන්නතිය සඳහා වානිජ සිනමාවක්‌ අත්‍යාවශ්‍යය. එහිදී විශාල වියදමක්‌ දරා ගුණාත්මක මට්‌ටමින් නිර්මාණය වන වාණිජ චිත්‍රපට ප්‍රේක්‍ෂකයා සිනමා ශාලා වෙත ගෙන්වා ගැනීමට විශාල පිටිවහලක්‌ ලබාදේ.

සරෝජා, සමනල තටු, සූරිය අරණ, සිරිරජසිරි, බිංදු, සංකාරා, කුසපබාවතී, සිරිපැරකුම් එවැනි චිත්‍රපටය.මේ චිත්‍රපට සියල්ලේ නිෂ්පාදක කටයුතු සිදුකළේ රේණුකා බාලසූරියය."සිරි පැරකුම්" තිරගතවන මේ මොහොතේදී රේණුකා බාලසූරිය සමඟ කල කතා බහක්.

"සිරිපැරකුම්" ගැන මේ වෙද්දී නිෂ්පාදිකාව ලෙස ඔබට මොනවද දැනෙන්නේ.

ඇත්තටම ලොකු සතුටක්‌ දැනෙනවා. අපි නොදන්නා අය පවා අපේ දුරකථන අංක හොයාගෙන දවසකට ඇමතුම් විසිපහ තිහ දෙනවා. ඒ අය කියනවා අපේ රට ගැන ආඩම්බර වෙන්න අවස්‌ථාවක්‌ දුන්නාට පිං කියලා. 


"සිරිපැරකුම්" බැලුවාම ශ්‍රී ලංකාවෙ ඉපදුනු එක ගැන ආඩම්බරයක්‌ දැනෙනවා කියා ඒ අය කියනවා. මේ වගේ ප්‍රතිචාර ලබද්දී අපි චිත්‍රපටයට වූ මහන්සිය වෙහෙස අමතක වෙනවා. රුපියල් සතවලට වඩා අපිට මේ වගේ ප්‍රතිචාර වටිනවා.
සිරිපැරකුම් බලන්න වඩාත් උනන්දු දරුවොද වැඩිහිටියෝද?

දෙපාර්ශ්වයම එක හා සමානව බලනවා. දවස්‌ ගණනක්‌ තුළ තැබූ වාර්තා අනුව නම් වැඩිහිටි ප්‍රවේශපත්‍ර තමයි වැඩිපුර අලෙවි වෙලා තියෙන්නේ.

මේ වෙද්දී තැබූ වාර්තා මොනවද?

දින එකොළහක්‌ තුළ වැඩිම පිරිසක්‌ නැරඹූ චිත්‍රපටය ලෙස වාර්තා තබා තියෙනවා. දින එකොළහක්‌ තුළ ලක්‍ෂ තුනකට වැඩි පිරිසක්‌ සිරිපැරකුම් නරඹා තිබෙනවා. ඒ වගේම මංගල දර්ශනයදා හැර තිරගත කළ පළමු දින තුන තුළ රුපියල් කෝටියක ආදායමක්‌ ඉක්‌මවූ චිත්‍රපටය ලෙසත් "සිරිපැරකුම්" වාර්තා තබා තිබෙනවා. 


ඒ වගේම සතියක්‌ තුළදී රුපියල් කෝටි දෙකහමාරක්‌ ඉපයූ චිත්‍රපටය ලෙසත් වාර්තා තැබුවා. මේවා වාර්තා වුණත් ඊට වඩා අපට වටින්නේ ප්‍රේක්‍ෂකයින් සිනමාශාලා වෙත පැමිණීමයි. ඒකම අපිට විශාල සතුටක්‌.

සිරිපැරකුම් සිනමාවට අලුත්ම දරු පිරිසක්‌ හා තරුණ තරුණියන් කිහිප දෙනෙකු හඳුන්වා දෙනවා. මේ අයගේ රඟපෑම් ගැන තෘප්තිමත්ද?

ඔව්. ඇත්තටම මේ දරුවො තෝරා ගත්තේ පරීක්‍ෂණ සහ වැඩමුළුවලින්. ඒ අය සැබෑම දක්‍ෂයන්. ඒ ඒ චරිතවලට ගැලපෙන අය. සුදුසුකම් මත ක්‍ෂේත්‍රයට ආ අය නිසා මේ දරුවන්ගේ අනාගතයටත් එය හොඳයි. චිත්‍රපටය සාර්ථක වෙන්නේ එයාලා දක්‍ෂ නිසානේ.

මේ චිත්‍රපටය ජාත්‍යන්තරය නියෝජනය කරනවද?

මෙහෙමයි. අපි කළ අනෙක්‌ චිත්‍රපටවලට වඩා සිරිපැරකුම් වෙනස්‌. ජාත්‍යන්තරය බලන්නේ විශ්වයටම පොදු මාතෘකා. ඒත් "සිරිපැරකුම්" ප්‍රධානකොටම අපේ ඉතිහාසය ගැන කියන කතාවක්‌. ඒත් ජාත්‍යන්තර උළෙල කීපයකටම ඉදිරිපත් කරල තියෙනවා.

චිත්‍රපටයක පහසුම කොටස මොකක්‌ද. රූගත කිරීමද තිරගත කිරීමද?

මට නම් අමාරුම ප්‍රදර්ශනය කිරීමයි. රූගත කිරීම් අපිට ඕනෑ ආකාරයට, සැලසුම් කළ විදිහට සිදුකරන්න පුළුවන්. එය අපේ සැලසුම් සහගත බව මතයි තීරණය වන්නේ. ඒත් ප්‍රදර්ශනය කරද්දී පාර්ශ්ව කීපයක්‌ සමග වැඩකරන්න වෙනවනේ. ඉතින් අනෙකාගේ අවිධිමත් භාවය නිසා අපේ සැලසුම් සියල්ල අඩාල වෙනවා. රූගත කිරීමේදී ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.

මේවා විසඳගන්න බැරිද?

පුළුවන්. විසඳුම් තියෙනවා. ඒත් අපිට කිසිම තැනක හරි ක්‍රමවේදයක්‌ නෑ. චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය කරද්දී ඊට එකතුවන බෙදා හැරීමේ ආයතන, ශාලා හිමියන් සහ චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්‍යක්‍ෂවරයා පොදුවේ චිත්‍රපටය ගැන හිතන්න ඕනෑ. ඒත් අද මේ පාර්ශ්ව හිතන්නේ තමන් ගැන විතරයි. 


සියලු දෙනා එකතුවෙලා සාමුහිකව කටයුතු නොකළොත් චිත්‍රපටය සාර්ථක වෙන්නේ නෑ නේද කියලා හිතන්නේ නෑ. චිත්‍රපට හැදුවොත්නේ ප්‍රදර්ශන ශාලා පවත්වාගෙන යා හැක්‌කේ. ප්‍රදර්ශන ශාලා නිසා චිත්‍රපට හදනවා නොවෙයිනේ. මේ දෙපාර්ශ්වයටම අෙන්‍යාන්‍ය වශයෙන් වාසි සැලසෙන්නේ චිත්‍රපටය සාර්ථක වුණොත් විතරයි. 

ඒත් දැන් සිද්ධවෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරයා පමණයි වෙහෙස මහන්සි වෙන්නේ. චිත්‍රපටය එක්‌ක නිෂ්පාදකවරයා නට නටා ඉන්න ක්‍රමයක්‌ පිටරටවල නම් නෑ. ශ්‍රී ලංකාවේ බෙදා හැරීමේ සමාගම් තිබුණට ඔවුන් කරන්නෙත් අතරමැදි සේවයක්‌ විතරයි.

ඔබේ මීළඟ චිත්‍රපටය සූදානම්ද?

මීළඟට අපි චිත්‍රපට හදයිද කියන එක ප්‍රශ්නයක්‌. සිරිපැරකුම් අපේ අන්තිම චිත්‍රපටය විය හැකියි.

ඇයි එහෙම කියන්නේ?

දැනට රටේ පවතින පිටපත් සීමාවේ ප්‍රශ්නය නිසා. නිර්මාණයක්‌ වගේම මේක අපේ ව්‍යාපාරයක්‌. අපිට ගොඩඑන්න බැරි ව්‍යාපාරයකට දායක වෙන්න බැහැනේ. අනෙක තත්ත්වයට නොගැලපෙන නිර්මාණ අපිට කරන්නත් බෑ. ඒ නිසා නිහඬව සිටීම තමයි හොඳ?

මේ වගේ දැවැන්ත චිත්‍රපට නොකර අඩු වියදම් චිත්‍රපට කරන්න බැරිද?

නැහැ... චිත්‍රපටයේ දැවැන්තද නැද්ද කියලා තීරණය වෙන්නේ තෝරාගන්නා කතාව අනුවයි. අපි මීට කලින් කළ නිර්මාණ එක්‌ක බලද්දී ඔබ ඔය කියන ආකාරයේ චිත්‍රපටවලට උත්සාහ කරන්න බෑ. අපි කළේ අසීරු කතා චිත්‍රපටයට නැගීම. ඉදිරියට මම දන්නේ නෑ තව ටික දවසක්‌ යද්දී වියදම තවත් වැඩිවේවි. 


මුලදී පිටපත් මුද්‍රණයට වැයවුණේ ඉතා අඩු මුදලක්‌. ඒත් දැන් අපි එක පිටපතකට රුපියල් 168,000 ක්‌ වැය කරනවා. ඉදිරි කාලයේදී මෙය රුපියල් ලක්‍ෂ තුන දක්‌වා ඉහළ යා හැකියි. එහෙම තියෙද්දීත් මේ වගේ සීමා පැනවීමෙන් හරි අමාරුයි චිත්‍රපටයක්‌ කරන්න.

නිර්මාණයක්‌ කරද්දී නිෂ්පාදකවරයා සියයට සියයක්‌ වැය කළත් චිත්‍රපටය තිරගත වෙද්දී ඔහුට ලැබෙන්නේ ආදායමෙන් පහෙන් එකයි. මේක මහා විශාල අභියෝගයක්‌. අඩු පිරිවැයකින් චිත්‍රපට කරලා හරියන්නේ නෑ. ගෙදරට වෙලා ඉන්න කෙනෙක්‌ ශාලාවට කැඳවාගෙන එන ආකාරයේ නිර්මාණයක්‌ කළ යුතුයි. 

අද නොයෙක්‌ හේතූන් නිසා ප්‍රේක්‍ෂකයා සිනමා ශාලාවෙන් ඈත්වෙලා. එනිසා තමයි හොඳ නිර්මාණ කළ යුත්තේ. හොඳ වාණිජ චිත්‍රපටයක්‌ කරන්න බෑ අඩු මුදලකින්. ඒත් ඉතින් මේ පනවන සීමා යටතේ කොහොමද එවැනි චිත්‍රපට කරන්නේ.

ඔබ යළිත් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තෝරා ගන්න සූදානම්ද?

නෑ. ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයෙත් විශාල අර්බුද. එතනත් ලොකු ප්‍රශ්නයක්‌. අපි කලාව කරන්නේ ජීවත්වෙන්න නොවේ. එනිසා අපිට කරන්න බැරි දේ නොකර නිහඬව ඉන්න එක තමයි හොඳ. අපි මේ වෙද්දී ජනතාවට රටට මතක හිටින නිර්මාණ කීපයක්‌ ඉතිරිකර දී තිබෙනවා ඒ ඇති.

ක්‍ෂේත්‍රයෙන් ඉවත්ව ඉන්න දුක නැද්ද?

දුකයි. ඇත්තටම දුකයි. ඒත් අපි මේ කර්මාන්තයට වුවමනා නැති නිසා වෙන්න ඇතිනේ පිටපත් සීමා පනවන්නේ. සූරියඅරණ, සිරිපැරකුම්, කුසපබා වැනි නිර්මාණ ඉදිරියේදී බිහි නොවීම ගැන අපිට වඩා දුකක්‌ දැනිය යුතුයි අනෙක්‌ අයට.

අවසන් වශයෙන් ප්‍රේක්‍ෂකයාට කියන්න යමක්‌ තියෙනවද?

ඔව්. ඇවිත් "සිරිපැරකුම්" නරඹන්න. මමත් සෝමේත් (සෝමරත්න දිසානායක) හදන චිත්‍රපට ආයෙත් බලන්න බැරිවේවි. මේ අපේ අන්තිම චිත්‍රපටය වේවි. ඒ නිසා ඇවිත් බලන්න.



රේණුකා බාලසූරියගෙන් තවත් වාර්ථාවක්...
 
Related Posts with Thumbnails