Ads 468x60px

.

සරසවියේ 5 වැනි මහලින් පැන්න ශෂීප්‍රභා ගැන අක්කා කතා කරයි...

‘කෙමිස්ට්‍රි ඩික්ෂනරිය’ විභාගවලට බය වුණේ ඇයි

පායන්නට පෙර බැසගිය පොසොන් සඳ ශෂිප්‍රභා ගුණවර්ධන...

මේ රටම කැළඹූ තවත් එක් කඳුළු කතාවක්. විශ්ව විද්‍යාල සිසුවියක් විශ්ව විද්‍යාලයේ දේශන ශාලාවේ 5 වන මහලෙන් බිමට පැන දිවිනසාගත් බව පසුගියදා විවිධ ජනමාධ්‍ය ඔස්සේ රටපුරා ප්‍රචලිත වුනා. 

සියලු බාධක ඉවසා සරසවි වරම් ලැබූ මේ සිසුවියට තමා ආදරය කළ සරසවි බිමේ තට්ටු ගොඩනැගිල්ලකින් බිමට පැනීමට තරම් මානසික ව්‍යාකූලතාවක් මතුවීද? 

ඇය පැන්නාද? වැටුණාද? 5 වන මහලෙන් බිමට පනිනු කිසිවකු ඇසින් දුටුවේද? පළමු මහලේ දේශන කාමර පවතිද්දී කිසිවකු නොයන 5 වන මහලට ඇය ගියේ කුමකටද? 

මෙවන් අටෝරාසියක් ගැටළු ඉතිරි කළ මේ සිදුවීම සරසවි ඉතිහාසය තුළ පිළිතුරු සොයා ගත නොහුණු තවත් එක් සිදුවීමක් වූයෙන් එම අවාසනා වන්ත ඉරණමට ගොදුරුවුණු තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර ශෂිප්‍රභා රන්දිමාලි ගුණවර්ධන සිසුවියගේ නිවසේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ සිසුහු තමා හැරගිය සොහොයුරිය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට කළ හැකි බොහෝ කාර්යයන්හි නියැළී සිටියා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු කේ.ඒ. ගුණවර්ධන මහතාටත්, ලුණුගම්වෙහෙර රජයේ රෝහලේ උපස්ථායිකා රංජනී මහත්මියටත් සිටියේ දියණියන් දෙදෙනෙකි. වැඩිමල් දියණිය අමාලි රන්දිමා වූ අතර බාල දියණිය 22 වියැති ශෂිප්‍රභා රන්දිමා විය. 


වයස මුහුකුරා ගියද අම්මාගේත් තාත්තාගේත් ඇකයේ තවමත් නිදන මේ සොහොයුරියෝ කුඩා දරුවන් සේ කීකරු, පොතපතට ලැදි දරුවන් වූහ. අප හා කථාවට එක්වුණු ශෂිප්‍රභාගේ එකම සොයුරි අමාලි රන්දිමා ට වචන ගොනු කරන්නට තරම් නිරවුල් මනසක් නොවී ය.

“ශිෂ්‍යත්ව විභාගය පාස් වෙනකල් නංගි ඉගෙන ගත්තෙ දෙබරවැව ජනාධිපති විද්‍යාලෙ. 2001 අවුරුද්දෙ ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 166 ක් අරගෙන අම්බලන්ගොඩ ධර්මාශෝකෙට ගියා. 


ඒ වෙනකොට මම ඉගෙන ගත්තෙ අම්බලන්ගොඩ දේවානන්දෙ. තාත්තගේ නෑයො අම්බලන්ගොඩ හිටි නිසා අපි දෙන්නා එහේ ඉස්කෝලෙ ගියෙ. නංගි වෛද්‍යවරියක් වෙන්න හරිම ආශාවෙන් හිටියෙ. එයාගෙ ඉලක්කෙ තිබුණෙම ඒකට. 

ජීව විද‍්‍යා අංශයෙන් උසස් පෙළ කළේ ඒ නිසා. පළමුවර විභාගෙන් එයාට මෙඩිසින්වලට යන්න ලැබුණෙ නෑ. ජීව විද්‍යා අංශයට තේරුණා. ඒකට නොගිහින් කොහොම හරි දෙවන වර යනවා කියලා පාඩම් කළා. දෙවෙනි වතාවෙත් තේරුණේ ජීව විද්‍යාවලටමයි. 

දෙවෙනි වතාවෙත් කැම්පස් නොගිහින් තුන්වෙනි වතාවටත් විභාගය කළා. ඒත් නංගිගෙ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නෑ. තුන්වෙන සැරේ තේරුණෙත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලෙ ජීව විද්‍යා අංශයට. මේ ගැන නංගි සෑහෙන දුකකින් හිටියෙ. 

තුන් පාරට වඩා විභාගෙ කරන්න බැරි නිසා එයා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලෙට ගියාට කැමැත්තකින් නෙවෙයි ගියෙ. පස්සෙ අභියාචනයක් දාලා කොළඹ විශ්ව විද්‍යාලයට ගිහින් මේ වෙනකොට මාසයක් විතර වෙන්නෙ. නංගි ඉගෙන ගන්න හරිම දක්ෂයි. එයාගෙ යාළුවො එයාට කියන්නෙ ‘කෙමිස්ට්‍රි ඩික්ෂනරිය’ කියල. 

ඒ තරමට එයා දක්ෂයි. යාළුවො බොහෝ දේවල් අහගන්නෙ නංගිගෙන්. ඒ වුණාට නංගිගෙ විභාග ප්‍රතිඵල එයා බලා‍පොරොත්තු වුණු මට්ටමට තිබුණෙ නෑ. නංගි විභාගවලට හරිම බයයි. අපිට හිතාගන්න බෑ. ඇයි එහෙම වුණේ කියල.

අපේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි මමයි නංගියි විතරයි. අපි හතර දෙනාම තවමත් එකට නිදාගන්නෙ. ඒ තරම් අපි එකටමයි ගතකළේ. නංගිගෙ කිසිම වැරැද්දක් තිබුණෙ නෑ. හරිම කීකරුයි. මේ සිද්ධියට කලින් සතියෙ ගෙදර ඇවිත් දවස් දෙකක් ඉඳල ගියෙ.

පහුගිය සඳුදා දවල් 11 ට විතර අපිට කැම්පස් එකෙන් පණිවිඩයක් ආවා නංගිට තුවාල වෙලා කියලා. අපි ඒ ගමන්ම ගියා. අපි යනකොට හොඳටම හවස්වෙලා. ලුණුගම්වෙහෙර ඉඳන් යන්න පැය 6 ක් විතර ගියා. යනකොට නංගි දැඩි සක්කාර ඒකකයෙ හිටියෙ”

ඇයට එතැනින් එහාට යමක් කියා ගන්නට බැරිවිය.

ශෂිප්‍රභාගේ අම්මා සහ තාත්තා විලාප දෙන හඬ කෙසේ අසා සිටින්නද? තම ඇකයේ වයස 22 ක් හැදී වැඩුණු බාල දියණියගේ වියෝව මේ දෙමහල්ලෝ කෙසේ දරාගන්නද?

ශෂිප්‍රභා කොළඹ විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ දේශනවලට අවසන් වරට සහභාගි වුණේ 17 සඳුදා ය. දේශන ශාලාවේ බිම් මහලේ පැවැති දේශන දෙකකට සහභාගි වූ ඇය තුන්වන දේශනයට පෙර දේශන ශාලාවෙන් පිටතට යන්නේ තමාගේ හිස රිදෙන බව යෙහෙළියට පවසමිනි. එහෙත් ඇය නැවත දේශන ශාලාවට පැමිණියේද යන්න සෙවීමට තරම් අවශ්‍යතාවක් යෙහෙළියට නොතිබුණේ එය සාමාන්‍ය සිදුවීමක් වූ හෙයිනි.

ශෂිප්‍රභා සමග දේශනවලට සහභාගි වී සිටි තිස්සමහාරාම දෙබරවැව පදිංචි සරණි රත්නායක සිසුවිය අප හා මෙසේ පැවසුවාය.

“අපේ බැජ් එකෙන් තිස්සමහාරාමෙන් ඉන්නෙ මමයි ශෂිප්‍රභායි විතරයි. ඒ නිසා එයා ගැන මං විශේෂයෙන් දන්නවා. එයා කැම්පස් එකට ඇවිත් තාම මාසයක්වත් නැති තරම්. අපි දෙන්නා ඉන්නේ බෝඩිම් දෙකක. අපේ පැකල්ටියෙ නවක වදයක් නෑ. 


අනික ශෂිප්‍රභා පරක්කු වෙලා ආව නිසා එයාට ඒ ගැන කිසිම ගැටළුවක් තිබුණෙ නෑ. හරිම හොඳ එක්කෙනෙක්. දවසෙ වැඩ එදාම කොහොමහරි ඉවර කර ගන්නවා. මේ සිද්ධිය වුණු දවසෙ හවස උද්භිද විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණයක් තියන්න නියමවෙලා තිබුණා. 

ශෂිප්‍රභා ඒකටත් හොඳින් සූදානම් වෙලා හිටියෙ. ඉරිදා රෑ බෝඩිමේදී ෆිල්ම් එකකුත් බලලා හොඳ සැහැල්ලුවෙන් හිටියෙ කියල බෝඩිමේ යාළුවා කිව්වා. සඳුදා තුන්වෙනි දේශනය අතරේ මැඩම්ලා ඇවිත් උදේ දේශනවලට හිටිය. 

මේ වෙනකොට නැති අය ගැන අහනවා ඇහුණා. පස්සෙ තමයි දන්නෙ ශෂිප්‍රභා 4 වෙනි මහලෙන් බිමට වැටිල කියලා. අපේ දේශන ඔක්කොම තියෙන්නෙ බිම් මහලෙ. පළමු වසරෙ අපි කවුරුවත් තවම දෙවෙනි මහලෙන් උඩට ගිහින් නෑ. 4 වෙනි තට්ටුව අපිට කොහෙත්ම සම්බන්ධයක් නෑ. 

අපිට හිතාගන්න බැරි ශෂිප්‍රභා ඇයි හතරවෙනි තට්ටුවට ගියේ කියලා. ශෂිප්‍රභා බිමට පනිනවා කවුරුවත් දැකලා නෑ. ඒත් ජනෙල් සහිත ඒ තට්ටුවෙන් කෙනෙක් වැටෙන්න හේතුවකුත් නෑ. අපිට තවමත් හිතාගන්න බෑ මොකද වුණේ කියල”

සරනි ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලෙ විද්‍යා පීඨයෙ සිසු සිසුවියන් තම යෙහෙළියගේ මළගමට ලුණුගම්වෙහෙරට ඇවිත් හිටියා. ඒ සේරටම තිබුණු ප්‍රශ්නය ශෂිප්‍රභා 4 වෙනි තට්ටුවට ගියේ ඇයිද යන්නයි.

හවස් වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ උද්භිද විද්‍යා පරීක්ෂණයට ශෂිප්‍රභා බයවුණාද කියල හිතාගන්න බෑ. එයා වැඩිය කථා කරන කෙනෙක් නෙවෙයි. යාළුවො එහෙම කියනවා.

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන නවක සිසුන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට ඒවා හමුවේ සාර්ථකව මුහුණ දෙන ආකාරය කියල දෙන්න ඉස්සර වගෙ ක්‍රමවේදයක් නෑ. ඉස්සර නම් පැරණි ශිෂ්‍යයො සහ නවක ශිෂ්‍යයො අතර පුදුම බැඳීමක් තිබුණෙ. දැන් ඒ සම්බන්දෙ දුරස්වෙලා. ඒක එහෙම වුණේ ඇයි කියල කියන්න අපිට තේරෙන්නෙ නෑ. එහෙම කිවුවෙ තවත් සරසවි සිසුවෙක්.

කොළඹ විද්‍යා පීඨය ශෝක පණිවිඩයෙන් කියන විදියට “පායන්නට පෙර බැසගිය පොසොන් සඳ” “සමු නොගත් සොයුරිය” ශෂිප්‍රභා ගුණවර්ධන දස දහසක් දෙනාගේ හදට සෝ සුසුම් සමග නොවිසඳුණු තරුණ ගැටළුවක් ඉතිරි කරමින් බ්‍රහස්පතින්දා පොසොන් සඳ පායා එන හැන්දෑවෙදි ලුණුගම්වෙහෙර දී මිහිදන් වුණා.


එහි තවත් විස්තර පහතින්


 
Related Posts with Thumbnails