Ads 468x60px

.

තනිය මකන්න තවම කවුරුත් හම්බ වුණේ නෑ - ආශා එදිරිසිංහ

වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානයට හිමිකම් කීමට ලැබීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. 

ඇය රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ රූපවාහිනී නිවේදිකාවකද වන්නීය. ඇය ආශා එදිරිසිංහ. 

ආශාට ලැබුණු මෙම අගනා සම්මානය පිළිබඳවත් ඇයගේ නවතම කලා තොරතුරු පිළිබඳවත් අපි ඇයගෙන් විමසා සිටියෙමු.

ජනප්‍රියතම නිළියවිමේ සතුට දැන් ඔබට දැනෙන්නේ කොහොමද?

මේ මගේ කලා ජීවිතයේ ලැබුණු පළමු සම්මානය, හදවතින් ම නැඟෙන ඉතාම අහිංසක සතුටක් මම දැන් විඳිනවා.

මෙම සම්මානය ලැබෙයි කියන විශ්වාසයත් බලාපොරොත්තුවත් තිබුණාද?

ඇත්තෙන් ම එහෙම කිසිම විශ්වාසයක් බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. ජනප්‍රියම නිළියන් තිදෙනා අතරේ මම ඉන්න බව මට දැනගන්න ලැබුණේ කතරගම ප්‍රදේශයේ ‘අළු බඳුන’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වල යෙදිල ඉන්න විටයි. ඒ සති දෙක මම ගතකළේ කතරගම.


සම්මානය ගන්න වේදිකාවට ගොඩ වනවිට ඔබට දැනුණු හැඟීම...?

මට මේ දැනුත් ඒ සිදුවීම මතක් වෙනවා. විශාල සතුටකින් මගෙ හිත පිරිල තිබුණා. ඒ වගේ ම පුංචි තැති ගැම්මකුත් තිබුණා.

මෙම සම්මානය ඔබට හිමිවීම පිළිබඳ ඔබ ස්තුතිවන්ත වෙන්නෙ කාටද?

මම පළමුවෙන් ම ස්තුතිවන්ත වෙන්නෙ මගෙ අම්මටයි තාත්තටයි. ඒ මොකද ඔවුන් මට රංගනයට එන්න ඉඩ දුන්නට. විශේෂයෙන් ම මගේ තාත්තා කැමැති වුණේ නෑ මම රංගනයට එනවට. ඒ වගේම මගෙ මේ සම්මානයේ අයිතියෙන් වැඩි කොටසක් ස්වාධීන රූපවාහිනියට හිමියි. ස්වාධීන රූපවාහිනියේ ජනප්‍රියත්වය නිසාම තමයි මට මේ සම්මානය හිමිවුණේ. ඒ නිසා ස්වාධීන රූපවාහිනි ආයතනයේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම මට එස්.එම්.එස්. මනාප ලබාදුන් මගේ රසික පිරිසටත් මම ස්තුතිවන්ත වෙනවා.

මේ ලැබුණු සම්මානය ඔබට බරක් ද? කොහොමද ඔබ මේ ලැබුණු ජනප්‍රියත්වය ආරක්ෂා කරගන්නේ?

මේ ලැබුණු සම්මානය මගේ හිතට බරක් කියල මම හිතන්නේ නෑ. මම හිතන්නේ ඒක මගේ හිතට විශාල ශක්තියක් කියලයි. ඒ වගේ ම මෙය මාව තව තවත් ධෛර්යට පත් කරන සම්මානයක්. ඒ වගේ ම ප්‍රේක්ෂකයින් මාව ජනප්‍රියම නිළිය ලෙස අභිෂේක කිරීම මට විශාල අභිමානයක්. මම විශ්වාස කරන දෙයක් තමයි ‘අළු බඳුන’ ටෙලිනාට්‍යයේ මගේ රංගනය මේ සම්මානයට හේතු වුණා කියන එක. ඒ නිසා ඉදිරියේදීත් මම ගුණාත්මක හොඳ නිර්මාණවල රැඳෙන්න ඕන කියන හැඟීම මට තියෙනවා.

ඔබ දැන් ජනප්‍රියම නිළිය වුණා. දක්ෂතම නිළිය වෙන්න බලාපොරොත්තුවක් නැති ද?

රංගන ශිල්පියෙකුගේ හෝ ශිලිපිනියකගේ එකම බලාපොරොත්තුව තමයි දක්ෂතම නිළියට හිමි සම්මානයට හිමිකම් කීම, ඒ සඳහා දක්ෂතාව වගේ ම වාසනාවත් තියෙන්න ඕන. ඒ සඳහා මම මගේ ජීවිතයට තව තවත් විශාල වශයෙන් අත්දැකීම් එකතුකර ගන්න ඕන. එම සම්මානය සඳහා මම තවම ඉන්නේ පළමු අදියර කියලයි මම හිතන්නේ.

ඔබ මොනවද මේ දිනවල කරන්නේ?

අපේ නිෂ්පාදනයක් වන ‘අළු බඳුන’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ ‘හීන හතයි’ වැඩසටහන ඉදිරිපත් කරන්න දායක වෙනවා.

ඔබේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන ආයතනයෙන් ඇයි ‘අළු බඳුන’ වැනි ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න තීරණය කළේ.

ගොඩක් දෙනෙක් අහන කතාවක් තමයි, දැන් සෑම නාළිකාවකම පෙන්වන එක රැල්ලට නිෂ්පාදනය කර ඇති ආකාරයේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කළේ නැත්තේ ඇයි ද කියන කතාව. අපේ පළමු නිෂ්පාදනය 'සුළඟ'. අපට ඕන වුණා ‘සුළඟ’ ටෙලිනාට්‍යයෙන් පසුව වෙනස්ම ආකාරයක් ගත් උසස් නිර්මාණයක් කරන්න. එහිදී වැයවන මුදල පිළිබඳ අපි හිතුවේ නෑ. අපට ඕනෑ වුණේ හොඳ දෙයක් කරන්න. ඒ නිසයි අපි ‘අළු බඳුන’ නිර්මාණය කළේ.

දැන් ඔබ නිවේදන කටයුතුවලින් දුරස්වෙලා ද?

'හීන හතක්' වැඩසටහනට පමණයි මම දැනට දායක වෙන්නේ. ඒ රංගනයට වගේ ම නිර්මාණකරණයට වැඩි කාලයක් ගත කරන්න සිදුවෙලා තියෙන නිසා. නමුත් මම නිවේදන කටයුතුවලින් සම්පූර්ණයෙන් ම දුරස් වෙලා නෑ.

දැන් තනිවම හිටිය ඇති නේද?

ඔව් ඒක නම් එහෙම තමයි. ඒත් තවම තනිය මකන්න කවුරුත් හම්බ වුණේ නෑ.
 
Related Posts with Thumbnails