Ads 468x60px

.

ශරීරික යෝග්‍යතාව පිළිබඳව නොසැලකීමෙන් විදුහල්පතිවරයා මරුට.

විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දීමේ වැඩ පිළිවෙල යටතේ රන්ටැඹේ හමුදා පුහුණු කඳවුරේදී පුහුණුව ලබමින් සිටි රද්දොළුගම ජාතික පාසලේ විදුහල්පති වරයා මියගොස් ඇතැයි වාර්තා වේ. 

මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි මීගමුව රද්දොලුගම කොටුගොඩ ශ්‍රි පඥ්ඥානන්ද විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස කටයුතු කළ යු.එච්.එස් වික්‍රසිංහ මහතායි. 

හමුදා පුහුණුව  සඳහා තොරාගැනීමේදී  විදුහල්පති වරුන්ගේ ශරීරික යෝග්‍යතාව පිළිබඳව බලධාරීන් නිසි අවදානයක් යොමු කර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරයි. 

බලධාරීන් සතුටු කිරීම සඳහා කරන මෙවැනි පුහු වැඩ පසුපස සිටින අක්‍රමිකතා චෝදනා ලත් රණ හොරෙකු වන ජෙනරාල් ගාමිණී ජයසුන්දර පිළිබඳව අප විසින් හෙළි කොට තිබේ. එම ලිපිය පහත දැක්වේ.

බ්‍රවේ කර්නල්  වියාපෘතිය පසුපස සිටි ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර ගේ පැටිකිරිය හෙළිවේ   
දේශපාලන අල්ලස් වශයෙන් දවස් දහයේ පුහුණුවකින් පසු විදුහල්පති වරුන්ට බ්‍රවේ කර්නල් තනතුරු ලබා දීමේ වියාපෘතිය පසුපස සිටි ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර ගේ පැටිකිරිය ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීහු හෙළි කරති.

ජෙනරාල් ගාමිණී ජයසුන්දර විසින් ජාතික ශිෂ්‍යභට බලකායේ මුදල් සහ සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව චෝදනා ලබා ඇති පුද්ගලයෙකි. 

ජාතික ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන් පෙන්වා දෙන අන්දමට මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී උතුරේ සිවිල් වැසියන්ගේ නිවෙස් වල තිබු රුපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා බඩු භාන්ඩ නීති විරෝධී ලෙස කොලඹට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබු අයෙකි. 


ඔහු විසින් මෙසේ අයතා ලෙස ප්‍රවාහනය කරමින් සිටි උතුරේ සිවිල් වැසියන්ගේ භාන්ඩ තොගයක් වරක් කන්කසන්තුරේ ජැටියේදී යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

මෙම භාණ්ඩ ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්ගේ නිවස්නයේ ප්‍රයෝජනය සඳහා බව අසත්‍ය ප්‍රකාශ කරමින් එම සිද්ධිය යටපත් කිරීමට ඔහු සමත් වී ඇත. එසේම පරීක්ෂණ පැවැත්වුවහොත් ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ ද්‍රවිඩ වැසියන්ගේ භාණ්ඩ කොල්ලකන බවට ලැබෙන වැරදි ප්‍රචාරය ගැන සලකා එවකට සිටි හමුදාපති එම සිද්ධිය යට ගසා තිබේ. 

තවද මන්නාරම් ප්‍රදේශයේ තම ඒකකයේ සොල්දාදුවන් යොදාගෙන හොරෙන් හරක් ප්‍රවාහනය කිරීමද මොහු විසින් සිදු කරන ලදී. යුද්ද කිරීමට වඩා සුද්ද කිරීමේ දක්ෂතාව නිසා ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් විසින් ජෙනරාල් ගාමිණී ජයසුන්දරව හදුන්වන ලද්දේ සුද්දෝදන යන විසුළු නමිනි.

ගාමිණී ජයසුන්දරගේ වංචනික ක්‍රියා නිසා ජෙනරාල් නීල් ඩයස්, ජෙනරාල් ජනක පෙරේරා, ජෙනරාල් සරත් ෆොන්සේකා යන නිලධාරීන් ඔහුව කිසිදු ප්‍රධාන මෙහෙයුම් වලට සහබාගි නොකරගත්තා පමණක් නොව ඔහුට කිසිදු ගරුත්වයක්ද නොපෙන්වන ලදී. 


ගාමිණී ජයසුන්දර කර්නල්වරයෙකුව සිටි කාලයේ ජෙනරාල් නීල් ඩයස්ට ඉමහත් බියක් දැක්වීය. උතුරේ සිවිල් වැසියන්ගේ භාන්ඩ සොරකම, හොරෙන් හරක් ප්‍රවාහනය කිරීම වැනි ක්‍රියා නිසා ජෙනරාල් නීල් ඩයස් ගාමිණී ජයසුන්දරව පිළිකුල් කළේය. ජෙනරාල් නීල් ඩයස් එන විට ඔහුව මග හැර යාමට ගාමිණී ජයසුන්දර පුරුදුව සිටින ලදී.

ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති වන විට ජෙනරාල් ගාමිණී ජයසුන්දර හමුදාවේ සිටියේ නම් ඔහුගේ අක්‍රමිකතා යලි විභාගයට ගැනෙනු නියත බව ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ උසස් නිලධාරියෙකු පවසයි. නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති වීමට සුළු කාලයකට පෙර ඔහු විශ්‍රාම ගියේය.  


ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක ධුරයට පත්වීමත් සමගම එම බලකායේ සේවය කල අවංක නිලධාරීන් වෙනත් ඒකක වලට අනියුක්ත කොට වංචනික ක්‍රියා සඳහා අනුබල ඇති වංක නිලධාරීන් කණ්ඩායමක් ජාතික ශිෂ්‍ය භට බලකායේ වැදගත් තනතුරු වලට පත් කරන ලදී. 

එසේම පාබල හමුදාවේ ඔහුගේ අක්‍රමිකතා වලට සහය දුන් නිලධාරීන් කිහිප දෙනෙකුද සහායකයන් ලෙස පත් කර ගන්න ලදී. මෙය නීති විරෝධී හා ජාතික ශිෂ්‍ය භට පනතට පටහැනි බව බලකායේ හිටපු කර්නල්වරයෙකු පෙන්වා දෙයි. 

වංචනික ක්‍රියා සඳහා එකගතාවය ඇති නිලධාරීන් කණ්ඩායම මාර්ගයෙන් මාසයකට වරක් පැවැත්වෙන ශිෂ්‍ය භට පුහුණු කඳවුරු වලින් මුදල් ගසා කෑමට ජෙනරාල් ගාමිණී ජයසුන්දර පුරුදු විය. මෙසේ ගසා කන්නේ ශිෂ්‍ය භටයනට නියමිත ආහාර හෙවත් රැෂන් වලට වෙන් කල මුදල්ය. 

ශිෂ්‍ය භටයන්ට නිසරු ආහාර දෙමින් වියාජ බිල්පත් ඉදිරිපත් කරමින් මසකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර සොරකම් කරන බව බව රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අවංක නිලධාරීන් පවසති. 

තවද හර්මන් ලූස් වැනි විශාල කඳවුරු පැවැත්වෙන විට යටිමඩි ගැසෙන රැෂන් මුදල් කන්දරාව අති විශාලය. මේ හැර විශේෂ කඳවුරු පැවැත්වෙන දින වල ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ බිරිඳ වන ප්‍රියන්ති ජයසුන්දර මහත්මිය ශිෂ්‍ය භටයන්ට වෙන් කල කුකුල් මස්, බල මාළු වැනි ආහාර වර්ග බලකායේම කැබ් රියක පටවාගෙන කොළඹ ගෙනියන බව ප්‍රසිද්ද රහසකි. 

ප්‍රියන්ති ජයසුන්දර කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ගුරුවරියකි. ඇය ජාතික ශිෂ්‍ය භට බලකායේ සේවා වනිතා සංගමයේ සභාපතිනිය ලෙසටද ක්‍රියා කරයි. ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ සුනාමි කන්ටේනර් වංචාව ප්‍රකට එකක් නමුත් එය ගොඩින් බේරා ගැනීමට ඔහු සමත් විය. 

සුනාමි සහනාධාර යටතේ ජාතික ශිෂ්‍ය භට බලකායේ මේජර්වරයෙකුද සහබාගිකරවාගෙන ගෙන්වන ලද කන්ටේනරයක් ජාතික ශිෂ්‍ය භට බලකායේ කොළඹ මුලස්ථානයේ තබාගෙන පිටකොටුවේ තොග වෙළදුන් කිහිප දෙනෙකුට විකුණා මුදල් කිරීමට ඔහු ක්‍රියා කළේය. 

මෙම සුනාමි කන්ටේනර් වංචාව පිළිබඳව එක්තරා සති අන්ත පුවත් පතක් විසින් හෙළි කරන ලදී. මේ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමත් පෙර ඔහු සුනාමි සහනාධාර කන්ටේනරයේ තිබු වටිනා රෙදිපිළි කොටසක් ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුට හා ගණකාධිකාරී වරයෙකුට තිලින කළේය.

එසේම දකුණු පළාතේ ශිෂ්‍ය භට බලකා සිටින පාසල් වලට කන්ටේනරයේ තිබු බඩු බෙදු බවට තම ගෝලබාලයන් මගින් දිවුරුම් පෙත්සම් ලබාගත්තේය. සුනාමි කන්ටේනර් වංචාව සම්බන්දයෙන් විමර්ශනය කල ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාද ජෙනරාල් ගාමිණී ජයසුන්දර සමග එකට කුඩු කෑ නිසා ගලේ පැහැරූ බළලෙකු මෙන් නිහඩ විය. 

තමාගේ පැවැත්ම සඳහා ආරක්ෂක අමාත්‍යයංශය හොදින් තබා ගැනීම වැදගත් නිසා ජෙනරාල් ගාමිණී ජයසුන්දර ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන් හමුවේ නිතරම ඔලුව නැමුවේය, ඔවුන්ව ඇමතුවේ සර්, ඔබතුමා, මැතිතුමා යන වදන් වලිනි. 


එසේම ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන්ගේ ගෙදරක දානයක් පිරිතක් තිබුනේද ශිෂ්‍ය භටයන්ගේ රැෂන් ආහාර, කුකුල් මස් මාළු කැබ් දෙක තුනක පටවා ජාතික ශිෂ්‍ය භට බලකායේ කනිෂ්ඨ නිලධාරීන් දෙතුන් දෙනෙකු සමග යැවීමට ඔහු පුරුදු විය. 

ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල අයට රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානය නිවාඩු නිකේතනයක් මෙන් භාවිතා කිරීමට ඉඩ දුන්නේය. 

ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන් ඔවුන්ගේ භාර්යාවන් ළමා ලපටින් ශිෂ්‍ය භටයන්ගේ රැෂන් ආහාර අනුභව කරමින් බලකායේ වාහන වලින් දඹාන වැනි ප්‍රදේශ සංචාර කළහ. මේ හැර දඩ මස් වලට අසා කරන ආරක්ෂක අමාත්‍යයංශයේ උසස් නිලධාරීන් සඳහා ඔහු රන්දෙනිගල රක්ෂිතයේ වල් ඌරන්, ගෝනුන් මස් කිරීමට තම ගෝලයන්ට අණ දුන්නේය. 

පසුගිය වසරේ වල් ඌරු මස් කිලෝ 30 නීති විරෝධී ලෙස ත්‍රීවීලයකින්  ප්‍රවාහනය කරමින් සිටි ජාතික ශිෂ්‍ය භට බලකායේ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර විසින් සිදු කරන අක්‍රමිකතා වලට විරෝධය දැක්වූ මේජර් පී.එස්.සෙනෙවිරත්න නමැති ජාතික ශිෂ්‍ය භට බලකායට අයත් නිලධාරියා කිසිදු විශ‍්‍රාම වැටුවක්, පාරිතෝෂිතයක් හා අවි භාරදීම පිළිබඳව නිෂ්කාශන ලබා ගැනීමටද අවස්ථාවක් නොදී යුද හමුදා සක‍්‍රීය සේවයෙන් ඉවත්කිරීමටද කටයුතු කොට තිබේ. මේ සම්බන්ධයෙන් මේජර් පී.එස්.සෙනෙවිරත්න කොළඹ අභියාචනා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකොට ඇත.

මීට පෙර ජාතික ශිෂ්‍ය භට බලකායේ සිටි අධ්‍යක්ෂවරු ආචාර පෙළපාලි ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන්ට, හමුදාපතීන්ට නමුදු ජෙනරාල් ගාමිණී ජයසුන්දර තම පුටුව ආරක්ෂා කර ගැනීමට කැබිනට් ඇමැතිවරුනට පමණක් නොව පළාත්සභාවල මන්ත්රීන්ටද ආචාර පෙළපාලි ලබා දෙමින් ජාතික ශිෂ්‍ය භට බලකායේ ගරුත්වය පහල දැමු බව නම හෙළි කිරීමට අකමැති නිලධාරීයෙක් අප හා පැවසීය. 


2008 වසරේදී එවකට හමුදාපති වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට ආචාර පෙළපාලියක් ලබා දී ඔහුව ශේප් කර ගැනීමට ගාමිණී ජයසුන්දරට අවශ්‍යව තිබුනද ජයසුන්දරගේ අතීතය දැන සිටි සරත් ෆොන්සේකා එම ආරාධනය ඉවත දැමිය. 

මීට පෙර සිටි සෑම හමුදාපතිවරයෙකුම ශිෂ්‍ය භට බලකායේ සම්මාන ආචාර පෙළපාලි වලට සහභාගීවී ඇති නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා කිසි දින ඊට සහභාගී නොවීය. ජෙනරාල් ගාමිණී ජයසුන්දර මාධ්‍යකරුවන් (විශේෂයෙන් ආණ්ඩුවේ ) ගෙන්වා ගනිමින් ඔවුනට නිතරම මදුවිත සාද දමයි. තම ප්‍රතිරූපය ඉහල යන මාධ්‍ය වාර්තා පල කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.  

තම පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා පාසල්වල විදුහල්පති වරුන්ට කර්නල් තනතුරු පිරිනැමීම පසුපස ජෙනරාල් ගාමිණී ජයසුන්දර මුලික වී ක්‍රියා කරන බවත් මෙය සහමුලින්ම ජාතික ශිෂ්‍යභට බලකායේ නීති රීති වලට පටහැනි බව එම බලකායේ කර්නල්වරයෙකු වන නන්දන වීරකෝන් මහතා පෙන්වා දෙයි.

- අමිල ගුණරත්න 


ඒ පිලිබඳ දෙරණ වීඩියෝව පහතින්
 
Related Posts with Thumbnails