Ads 468x60px

.

සනත් නොගැලපෙන පේ‍්‍රමෙක පැටලිලාලු...

තනිකඩව කල්ගෙවන ප්‍රවීණ නළු සනත් ගුණතිලක සිය අතීත ප්‍රේම කතා දිග හරින්නට වීමත් සමග සිනමාවෙ පැරණි තාරකා වලට දැන් අතීතය යළි මෙනෙහි කරන්නට සිදුව තිබෙනවා.

කලා ලොවේ දේශපාලනයේ කැපී පෙනුණ මේ කඩවසම් නළුවාට විවාහ වන්නට තවම බැරිව ති
බෙන්නේ ඇයි? ඔහු අද සති අන්ත පුවත්පතකට ඒ ගැන කරුණු පහදා තිබෙනවා.

මෙතෙක් හෙළි නොකළ මේ අපූරු තොරතුරු සනත් කියා තිබුනේ පහත පරිදිය. "කුමරී ඔබේ සිනහාවේ කොහේදෝ මුලාවේ" සනත් ගුණතිලක ලියූ ඒ ගී පද ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චිය. සනත්ගේ තනිකඩකම ගැන අපි එතැනින් කතාවට පිවිසියෙමු. 


මේ මිහිරි ගීතය ඔබ රචනා කළේ කා වෙනුවෙන්ද?

අර්ථය සරල වුවත් සනත් එයට පිළිතුරු දුන්නේ ගැඹුරු හුස්මක් ගනිමිනි.ඔහුගේ සිනහවට බරපතළ කමක් ද ඒ සමග එක්විය. ඔබ මේ ගැන මගෙන් අහන කොට, මට කිසි දෙයක් හංගන්න අවශ්‍ය නැහැ. ඔය ගීතය ලයාන්විත ගීතයක්. මේ ගීතයේ තියෙන්නේ යම් ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙලා, නැතිවෙලා,යළිත් ඇතිවීමක් ගැන.

මම මිල්ටන් අයියට කිව්වා ඔයාගේ හැම ගීතයකම විරහවල වියෝව තමයි තියෙන්නේ. සමහර සම්බන්ධතා නැතිවෙලා ආයිත් ඇතිවෙනවා.ඒ නිසා ඒ ගැන ගීතයකුත් ඊළග කැසට් එකට දාන්නකො කියලා.එතකොට මිල්ටන් අයියා මට කිව්වා, ඒ ගැන අත්දැකීම් තියෙන්නේ ඔයාටනේ, ඉතින් ඔයාම ලියලා දෙන්න කියලා. 


ඒ ගොල්ලන්ගේ ගෙදර ගෙනිහිල්ලා බලෙන්ම වාගේ තමයි ඕක ලියවා ගත්තේ.මේ ගැන මගෙන් ඔබ අහන්නේ ඇයි කියලා මම දන්නවා.ඒත් ඔබ හොඳින්ම දන්නවා මට ඇයව අද හිමි වෙලා නැහැ. මේවා මේ වෙලාවේ ඔබ ලියයි. මම කියයි. එයා ගැනත් අපි බලන්න ඕනනේ. ඒ නිසා මේක ලිව්වේ කා ගැනද කියලා මම නම කියන්නේ නම් නැහැ.

ඔබ එයා කියන්නේ අර ප්‍රසිද්ධ එයාටද? ගාමිණී මාලනී,විජය මාලනී වගේ සනත් කියන කොට කියවෙන එයාද මේ?

 
එහෙම කිව්වොත් එක්කෝ නැහැ කියන්න ඕනේ. නැත්නම් ඔව් කියන්න ඕනේ. එහෙම අහන්න එපා. මොකද මම මුලදිම කිව්වනේ මම බොරු කියන්නෙත් නැහැ කියලා.

ඔබ පාසල් කාලයේත් කඩවසම් තරුණයෙක්. ඔබ ටියුෂන් ගුරුවරයෙක් ලෙසයි වෘත්තීය ජීවිතයට පිවිසෙන්නේ. නාඹර වියේ සිට සිනමාවට පැමිණෙන්නට පෙර,ඔබගේ ප්‍රේමය පිළිබඳ අත්දැකීම් ගැන කතාකළොත්


ඒ ප්‍රශ්නයට අප යොමුවන විටම සනත් ගුණතිලක සැහැල්ලු ලෙස අසුන මත යළිත් වාඩිලා ගත්තේය. මගේ මව හා පියා ඉතාම හොඳින් විවාහ ජීවිතය ගත කළ දෙදෙනෙක්. මේ දෙදෙනාගේ විවාහය සිද්ධ වෙලා තියෙන්නේ යෝජනාවකින්.එහෙම වුණත් ඒ දෙදෙනා ඉතාම කිට්ටු හිතවත් කමකින් බැඳී ජීවත් වුණා.


මාව හම්බවෙන්නේ මව හා පියා විවාහ වෙලා වසර දොළහක් දාහතරක් ගියාට පස්සේ. අපි අතර විශාල වයස් පරතරයක් තිබුණා.ඒ නිසා අපි අතර තිබුණේ ගෞරවනීය බැඳීමක්.පියා නීතිඥවරයෙක්. මව ගුරුවරියක්. ඒ නිසා බාහිර ප්‍රේම සම්බන්ධතාවලට අපිට ඉඩ කඩ තිබුණේම නැහැ. 

මගේ මුල්ම ප්‍රේම සම්බන්ධය ඇතිවෙන්නේ, මගේ නංගිගේම ඉස්කෝලේ හිටියල අපේ පවුලටත් බොහොම හිතවත්, තවත් ගුරුවරියක ගේ දියණියක් සමග. ඇත්තම කියනවා නම් ඒ පැත්තෙන් තමයි බලපෑම මුලින්ම ආවේ.

මම ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් ගියේ නැහැ. මේවා නුසුදුසුයි කියලා හිතපු නිසා. වයස අවුරුදු දහසයක් විතර ඇති මට ඒ කාලේ.මාස තුනක් විතර යනකොට අපේ ගෙදරින් ලෝක යුද්ධයක් වගේ විරෝධයක් ඒකට ආවා.අන්තිමට අපි ඒක නැවැත්තුවා. ඒ ප්‍රථම ප්‍රේමය.

සිනමාවට එන්න ඉස්සෙල්ලා ප්‍රේම සම්බන්ධකම් කීයක් විතර පවත්වලා තියෙනවාද?

 
ඔබ මේ ප්‍රශ්නය මගෙන් අහන්නේ ලෝකයේ වැඩිම ප්‍රේම සම්බන්ධකම් තිඛෙන කෙනාගෙන් අහනවා වගේනේ. මට වඩා ප්‍රේම සම්බන්ධකම් තියෙන සිනමාවේ අයත්,සිනමාවේ නැති අයත් ඕනෑ තරම් ඉන්නවා. ප්‍රධාන වශයෙන් දෙකයි තිබුණේ. එකක් ගොඩක් සීරියස් විදියට ගියා.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ ලේකම්වරිය සමග මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඒක හුගක් දුර දිග ගියා. ඒත් අපේ ගෙදරින් ඒකට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. නිසි කලට, විවාහ වෙන්න කිට්ටු වෙලා කරනවා මිසක පාඩම් කරන, ඉගෙනගන්න කාලෙ ඒවා කරන්න එපා කියන මතයෙයි ඒ අය හිටියේ.

ඒ අයගේ බැඳීම ප්‍රේම සම්බන්ධයක් වුණත් නැතත් හොඳ බැඳීමක් තිබුණු නිසා ඔවුන් හිතුවේ අපගේ විවාහයත් සිදුවිය යුත්තේ ඒ වගේ කියලා තමයි මම හිතන්නේ.එහෙම සාර්ථක විවාහ ජීවිත ඕනෑ තරම් රටේ තියෙනවා.

මගේ මිත්‍රයෙක්ගේ පියා මියගිහිල්ලා,මම ඒ මළ ගෙදරට ගියා.එතනදී ඒ අම්මා සිය සැමියාගේ දේහය අත ගාපු හැටිල ළග හිටපු හැටි මම දැක්කා. ගමේ අය ඒ යුවළ ගැන කියපු කතා මට ඇහුණා. එතකොට මට අපේ අම්මාල තාත්තාගේ විවාහ ජීවිතය මතක් වුණා. ඒ ඔබේ මාධ්‍ය සගයෙක් වුණු හේමන්ත රන්දුනුගේ පියාගේ මළ ගෙදරදී. ඒ වගේ වැඩිහිටියන් අප අතර තාමත් ඉන්නවා.

මගේ අම්මයි තාත්තයි තමයි තාම මට තියෙන ආශිර්වාදේ. ඒ දෙන්න එකම වළකයි මිහිදන් කරලා තියෙන්නේ. තාම මාව බලාගන්නේ ඒ දෙන්නා. මම ඒ වළ ගාවට යනවා. ගිහිල්ලා වැඳලා එනවා. ජීවත් වෙලා හිටිය දෙන්නාටත් වඩා ඒ දෙන්නා දැනුයි මාව රකින්නේ කියලා මට හිතෙනවා.ඒ වුණත් ඒ දෙන්නා මගේ මුල් කාලයේ ප්‍රේම සම්බන්ධතා සඳහා ඉඩක් දුන්නේම නැහැ.

මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නෙවෙයි. ඇයත් වෛද්‍ය ශිෂ්‍යාවක් නෙමෙයි. නමුත් වෛද්‍ය පීඨයේ ඕනෑ තරම් කඩවසම් වෛද්‍ය ශිෂ්‍යයෝ ඉන්නවානේ. ඒ එක්කෙනෙක් මෙයාට ඕනෑනම් යාළුකර ගන්න පුළුවන්නේ. මං වගේ ටියුෂන් ගුරුවරයෙක් ඕනෙ නැහැනේ. 


මේ නිසා මම කළේ ඒ වෛද්‍ය ශිෂ්‍යයන් යාළු කර ගත්තා. අපේ අම්මා හදන අග්ගලා එහෙම ඒ අයට මම දුන්නා.ගෙවල් පැත්තෙන් බෝඩිං හවුස් හොයලා දුන්නා. වෛද්‍ය අතුල කහඳලියනගේ, වෛද්‍ය සරත් පරණ විතාන වගේ අය තාමත් මගේ හිතවතුන්.මම යාළු වෙලා ඒ අයට කිව්වේ ඕගොලලෝ ඕන මාළුවෙක් අල්ල ගන්න මගේ මාළුවා ඇර කියලා.

ඒ කාලේ පේරාදෙනිය හරි සුන්දරයි. විශ්වවිද්‍යාලය ලවර්ස් ලේන් එකේ යන්න අපට පුළුවන් කම තිබ්බා. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුත් නොවී, ඇය ශිෂ්‍යාවකුත් නොවී ඒ අවස්ථාව මට ලැබුණේ මම විශ්වවිද්‍යාලේ තරුණයන් සමග ඒ තරම්ම සමීප නිසා. 


මේ නිසා මගේ අම්මටයි තාත්තටයි ඒක හොයාගන්න බැරි වුණා. මොකද අපි හම්බුවෙන්නේ විශ්ව විද්‍යාලයේදී නිසා. මම ඇයව අවතක්සේරු කරනවා නෙවෙයි. ඒ කතන්දරය නැවැත්තුවේ ඇය.

ඇය ඊට පස්සේ රජයේ මාධ්‍ය ආයතනයක ලේකම් ධුරයක් දැරුවා. ඒ කාලේ මං ජනාධිපති මාධ්‍ය උපදේශකග එතකොට මට ඇයව නිතරම හමුවෙනවා. නමුත් එහෙම ආශ්‍රයක් අපේ ගොඩ නැගුනේ නැහැ. දැන් ඇය විවාහ වෙලා.ඇගේ දරුවොත් විවාහ වෙලා.

ඔබ සිනමාවට එනවා. එතකොට කල වයසත් හරි. රිදීතිරයේ දී ඔබ නිළියෝ සමග රගපානවා. ඒ මුල් කාලයේ ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනවාද?

 
ඔබ දන්නවානේ,මගේ සිනමා ජීවිතයට ගෙදරින් කැමැත්තක් තිබුණේ ම නැති වග. නමුත් නළුවෝ වේව් නිළියෝ වේවා, කාර්මික ශිල්පි හැම දෙනාටම අපේ ගෙදරින් පුදුමාකාර ආගන්තුක සැලකීමක් කළා.මගේ මව අන්තිමට හිතුවා,මේ ක්ෂේත්‍රයේ කවුරු හරි එක්ක මෙයා එකතු වුණොත් හොඳයි කියලා.


එතැනදී මම කියන විදිහට නෙමෙයි, ඔබ හිතන විදියට නිළියක් සමග මගේ සම්බන්ධයක් තිබුණා නම් ඒ සඳහා අපේ අම්මගේ තාත්තාගේ ආශිර්වාදයමයි තිබුණේ. නම් ගම් නම් අහන්න එපා.මට වඩා ඒ අයට සැලකුවා.අපේ ගෙදර එනවා කියලා කිව්වාම මගේ පියා ටවුමට ගිහිල්ලා සුවිශේෂී පලතුරු ගෙනහල්ලා තියෙනවා කන්න. නිළියන් කන්නේ ඉතිං පලතුරුනේ.

ඔබ හංගන දේ හැමෝම දන්නවානේ.අපි ප්‍රශ්නය අසන විට සනත් මැදිහත් වීමක් කරයි ඒ නාමය ඔහුගේ කටින් කියවීමේ වෑයමට ඔහු දක්වන විරෝධයක් සේ එය හැගී යයි. සනත්ගේ මැදිහත්වීමට හේතුව ඔහු පවසන්නේ මෙසේය.


මම හංගන්නේ නැහැ. මට හංගන්න වෙලා තියෙන්නේ ඇයි කියලා මම කිව්වනේ. මම තාම ඒ ගෞරවය තියෙනවා. මම කැමති නැහැ මේ සාකච්ඡාවෙන් තුන්වැනි පාර්ශ්වයකට අබමල් රේණුවකවත් හානියක් වෙනවට. ඒ නිසා ඔය ගැන දිගටම අහන්න එපා කියලා මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබ අද වෙනකන් තනිකඩ වෙලා ඉන්නේ ඒ දැනිච්ච වියෝව නිසාද?

 
ඒක වෙන්න පුළුවන්.සමහර අය හිතන විදිහට කෙල්ලෝ දුසිමක්, එක හමාරක් විතර යාළු කරගෙන ඉන්න ඕනේ කාඩයෙක් නෙවෙයි මම.මට නංගි කෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක් හිටියා.අපේ මව පියාගේ බැඳීම මම දැක්කා. ඒක මම තව දැක්කේ ලෙස්ටර් - සුමිත්‍රා යුවළ අතරේ.


තව මම ඒ වගේ දැක්කා.ඇන්ටන් - චන‍ද්‍රිකා සිරිවර්ධන. ඒවා තමයි විවාහය ගැන මගේ පූර්වාදර්ශ වුණේ. ඒක විවාහය ගැන මගේ මානසිකත්වය වෙනවා. මම මෙච්චර අවංකව ඉඳලත් මෙහෙමද වුණේ කියන එක ඒ ප්‍රේමය බිඳ වැටුනාම මගේ හිතට එනවා.

ඒ පැත්තෙන් මට පොඩි රිදවීමක් කළොත්, මගේ රිටන් එක ඩබල්. ඒ වගේ දේවල් නිසා මේක නැවතුනාද දන්නේ නැහැ.නැත්නම් මගේ පූරුවේ කරුම නිසා වුණාද දන්නෙත් නැහැ. කොහොම වුණත් විවාහ වෙන්න ඔන්න මෙන්න කියලා ගිහිල්ලා නැවතුනු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. 


මට කොහොම වුණත් ඒ අයට හොඳක් වේවා. ඔය එක එක්කෙනා කියනවා වගේ මම මගදී අතඇරලා දැම්මේ නැහැ. එහෙම කියලා කාටවත් කියන්න බැහැ. මට කරුණු සහිතව ඒ ගැන කියන්න පුළුවන්. ඒත් ඒ ගැන මම කවදාවත් කියන්නෙත් නැහැ.

ඔබ කියන්නෙ ඇය යන්න ගියා මැකිලා කියලද.ඔබව අත හැරියේ ඇය ද?

 
අතහැර යැමම නෙවෙයි.සම්බන්ධයක් තියෙන කොට ඒක ඒකාකාරීවම තියෙන්නේ නැහැ. අඩු වැඩි වෙනවා. ඒ වගේ වෙලාවල්වල මගේ හිත රිදෙනවා වැඩියි.ඇයි මෙයා මට මෙහෙම කළේ කියලා මම හිතෙනවා. කිසිම කෙනෙකුට මං ගැන දොසක් කියන්න බැහැ. මං අභියෝගයක් විදියට ඒක කියනවා.කෙනෙකුට ඇවිල්ලා කියන්න පුළුවන්නම් මමයි වැරදි කියලා මම කියනවා පුළුවන්නම් එහෙම කියන්න කියලා.

ඔබව තනිකඩකමේ රඳවා තියෙන ඇයගෙන් පසුව ඔබ නිළියන්ට ප්‍රේම කරලා තියෙනවාද? 


ප්‍රශ්නයත් සමග සනත් සිනහ වෙමින්ම නොසන්සුන් වෙයි. ඇය කියන්නේ ඇයි? අපි අදහස් කරන්නේ අර ප්‍රසිද්ධ ඇය ගැන රටම දන්න කෙනා ගැන. මේකට අහිංසක දරුවෙක්ව අල්ල ගන්න එපා.

සිනමා නිළියන්ට තිරයෙන් එහාදී ප්‍රේම කරලා තියෙනවාද?

 
ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒගොල්ලේ අනුමාන කරගන්න ඒවා කරගන්න. මම තාම ඒ ළමයි එක්ක රගපානවා. මම ඒ ළමයින්ට ආදරෙයි. ඒ ළමයි එක්ක ඉදිරියේදී රගපාන්න මම බලාගෙන ඉන්නවා. සමහර අය මාත් එක්ක දැං රගපාන්න බැහැ කිව්වත් ඉදිරියේදී රගපාන බව මම දන්නවා.

තනිකඩ ජීවිතය ගැන අපි ඔහුගෙන් අසන විට, ඔහුගේ අතීත ප්‍රේමය ගැන අපි අසන විට ඔහු තනි අලියකු සේ සොඳුරු ලෙස කෝප වෙයි. ඒ කෝපය ඔහු අපට හගවන්නේ හඬ තුනී කර පිළිතුරු දෙමින් සිනහ නගමින්ය.

ඔබේ විවාහය ගැන කේන්දරේ තියෙන්නේ මොනවාද?

 
කේන්දරේ කියලා තියෙනවා විවාහයක් සිද්ධ වෙනවා.පරක්කු වෙනවා කියලා. ඒ ගොල්ලෝ කියන්නේ බැලූ බැල්මට නොගැළපෙන කෙනෙක් එක්කයි විවාහ වෙන්නේ කියලා. ඒ කියන්නේ වයසින් ගොඩාක් අඩු, ජාතිය වෙනස්, ආගම වෙනස් වගේ බැලූ බැල්මට වෙනස් කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලයි. ඒ නිසා නොගැළපෙන මොකක් හරි එනකොට මම ටිකක් විමසිලිමත් වෙනවා.

රටේ ප්‍රසිද්ධ චරිත, රටේ හිටපු ප්‍රධාන අය සමගත් ඔබට සම්බන්ධකම් තිඛෙන බවට කතා පැතිරුණා. ඒ කියන්නේ කේන්දරේ සිකුරා හොඳටම පිහිටලා ඉන්නවා වගේනේ.

ඒක කොහොමද ප්‍රේම සම්බන්ධයක් වෙන්නේ. ඒක රාජකාරි සම්බන්ධයක්නේ. වෘත්තීයමය සම්බන්ධයක්. අපි වෘත්තීමය අතින් වැඩ කරද්දී විශ්වාසයක් කියලා එකක් ගොඩනැගෙනවා. ඒ විශ්වාසය තුළ ගොඩාක් දේවල් කතා වෙනවා. ඒවා රාජ්‍ය රහස්. ඒ ගැන ඊට වඩා මං මොකුත් කියන්නේ නැහැ. මට සිකුරා හොඳට තියෙනවා වෙන්න පුළුවන්. ඒත් කතා හදන අයට රාහු ඊට වඩා හොඳට ඉන්නවනේ.

ඔබ ජීවිත කාලය පුරාවට ම තනිකඩයකු වෙලා ඉන්නද කල්පනා කරන්නේ. නැත්නම් විවාහයක් ගැන තවමත් බලාපොරොත්තු තියෙනවාද?

 
මම දැක්කා මේ ළගදී මහාචාර්ය සුනිල් ආරියරත්න කියලා තියෙනවා එතුමා විවාහය ප්‍රතික්ෂේප කරනවා කියලා. මම එතැන නැහැ. ඒ කියන්නේ අනේ මාව කවුරුහරි විවාහ කර ගනී කියලා මම බලාගෙන ඉන්නවා නෙමෙයි. නමුත් විවාහ වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි.

මේ දිනවල ඔබට ප්‍රේම සම්බන්ධයක් තියෙනවාද?

 
තවම ප්‍රේම සම්බන්ධයක්ම කියන්න බැහැ. අවබෝධයක් තියෙනවා. ඊට එහා නම් ඒ ගැන අහන්න එපා. ඔබේ කේන්දරයෙත් කියලා තියෙනවා වගේ ඒක බැලූ බැල්මට නොගැළපෙන එකක්ද? ඔව්.....නොගැළපෙන එකක්.

ඔබ යන එන ඕනෑ තැනක එදිනෙදා තොරතුරු, සිනමා පැන අහලා ඊළගට අහන දේ තමයි බඳින්නේ නැද්ද.... නැත්නම් කවදද බඳින්නේ කියලා. ඒ කියන්නේ ඔබ තනිකඩව බොහෝ කලක් සිටින එක ලෝකයා තේරුම් ගෙන තිඛෙනවා.තනිකඩ ජීවිතය ගැන මොකද හිතෙන්නේ?


මට විවාහය එපා වෙලා නෑ වගේම තනිකඩ ජීවිතයත් එපා වෙලා නැහැ. මම ඒකත් රස විඳිනවා.

සැමියාගේ චරිතය ඔබ රගපානවා. ඒත් ෂූටින් ඉවර වුණාට පස්සේ ඔබ යන්නේ තනිකඩ නිවහනකට.සෙනෙහස දැල්වුණු නිවසක් ඔබට නැහැ.වළලු දාපු අතකින් තේ එකක් බොන්න, කෑම ටිකක් කන්න වරම් නැහැ. නිදියහනට ගියාම තනිකමයි පාළුවයි ඔබ සමග සිටින්නේ. මේ ගැන පසුතැවීමක් එහෙම නැද්ද?


එහෙම නැහැ. ජීවිතය සම්පූර්ණ නැහැ කියලා කියන එකේ සත්‍යතාවක් තියෙනවා. ඒ සත්‍යතාව වරදින්න හොඳ නැහැ කියන තැනයි මම ඉන්නේ. කොහොමටත් මම හිතන්නේ මට වරදින එකක් නැහැ කියලා. හැබැයි වළලු දාපු අත් වලින් නම් කෑම හම්බුවෙනවා.


මේ වෙනකොට විරාගයේ අරවින්දව සනත් ගුණතිලකට තවත් හොඳින් දැනෙනවා ඇති නේද?

අරවින්ද ගැන මට ඉස්සරටත් වඩා විචාරශීලීව අදහස් දැන් තියෙනවා. අරවින්ද වගේ තනිකඩව මැරෙන්න වුණොත් මම දුක්වෙන්නෙත් නැහැ. අරවින්ද පරාජිතයෙක් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මට අරවින්ද කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

අරවින්ද බතීට ආදරේ කළාද? බතීගේ හිත ඇතුළේ අරවින්ද ගැන එහෙම අදහසක් තිබුණාද?


අරවින්දට බතී ගැන විශාල අදහසක් තිබිලා තියෙනවා. අරවින්ද ඒ ගැන තමන් ජීවිතයේ ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරපුල ආදරය කරපු සරෝජිනීගෙන් අවසාන මොහොතේ කියලා අහනවා,

බතීයි මායි අතර තිබුණු සම්බන්දේ ගැන ඔයා මොකද හිතන්නේ?

 
ඒ ගැන ගම්මු කියපු කතා ඔයා විශ්වාස කරනවාද? කියලා. එතකොට සරෝජිනී කියනවා නෑ..... මම ඒවා විශ්වාස කරන්නේ නැහැ කියලා.
එතකොට අරවින්දම පාපොච්චාරණය කරනවා ,බතී ඩ්‍රැයිවර් එක්ක යාළුවෙලා ඉන්න කොට මට ඊර්ෂ්‍යාවක් ඇතිවුණා කියලා. ඒක සාධාරණයි කියලා සරෝජනී කියනවා.

ඒක සාධාරණ වෙන්නේ කොහොමද? බතී මගේ දුවෙක් නෙවෙයි.එයා කවුරු එක්ක ගියත් මට මොකද? කියලා අරවින්දම කියනවා.
අරවින්ද දයාවෙන් ස්නේහයෙන් බතී දිහා බලනවාට අමතරව කිසියම් ආකාරයක ආදරයක් තිබුණාය කියන එක, කිසියම් ආකාරයක තෘප්තියක් තිබුණාය කියන එකල කිසියම් ආකාරයකට තමා සමීපයේ ම ඇය සිටිනවාට කැමැතියි කියන එක ගැන අරවින්ද හිතලා තියෙනවා.

බතී තුළත් අරවින්ද ගැන එහෙම ආදරයක් තිබුණා කියලා ඔබ හිතනවාද?


සනත් ඊට දුන් පිළිතුර සරලය. අරවින්ද පරාජිතයකු නොවුණද,තමන්ට අරවින්ද කෙනෙකු වීමට අවශ්‍ය නැති බව සනත්ගේ අදහසය. අරවින්ද සනත්ගේ රිදී තිරයේ චරිතයකි. බතී ද එසේය. තනිකඩ අසපුවේ සනත් සමග සිටින විට අරවින්ද සනත්ගේ ජීවිතයේ සැබෑ චරිතයම දැයි සිතෙයි.එසේ සිතන විටම සනත් තුළින් විරාගයේ අරවින්ද මතු වී පෙනෙයි. නමුත් බතී පෙනී නොපෙනී යයි.ඩ්‍රැයිවර්ට පෙම් බැඳි බතී නික්ම ගොසිනි.තනිකම සමග අරවින්ද මිය ගොසිනි.

සනත් තුළින් මතු වී ආ අරවින්ද අතහැර යළි සනත් දෙස බැලීමි.ඔහු මිල්ටන් මල්ලවආරච්චි ලියූ ගීයේ අවසාන පේළිය මතකයට නැගීය.


අපගේ පැතුම් විමානේ වෙන්වීලා එක් වුණේ භවයෙන් භවේ පැතූ අපගේ ආදරේ නිසා කාලේ ළගා වුණා ආයේ වේදනා නිවා
 
Related Posts with Thumbnails